සුවාමීනී......!

 ඡායාරූපය:

සුවාමීනී......!

අපේ නිමලෙ හද්දොහකින් කැඳක්වත් බීවෙ නැති එකෙක් වාගෙ මහ හයියෙන් ඈනුමක් ඇරියා.
"නෙද්දකිං පළාතම පාළු වෙනවා"
අබිලිංට ඌරු ජුවල්.
"උඹ හොඳ වෙලාවට මෙතන ඕක ඇරියෙ. උසාවියෙදි එහෙම  ඇරිය නං දඩයක් ගහනවා. දඩේ ගෙවාගන්ඩ පිච්චිය නැතුව හිරේ යනවා." යකඩ මරං කීවා.
"දෙයියෝ සාක්කි. ඈනුමක් වැරැද්දක් වෙන්නෙ කොහොමද? ඒක හිතල අරින්ඩ පුළුවන් දෙයක් යැ."
නිමලෙ කීවා.
"උඹ දන්න ඉටිගෙඩිය. යකඩො ඈනුම අරින එකෙං නඩුකාර  හාන්දුරුවන්ට පේන්නෙ එහෙම එකක්වත් නවත්තගන්ඩ හික්මීමක් නැති කාලකන්නියෙක් බවයි. එහෙම උං සැකසහිතයි. අනික් එක කොච්චර විසබීජ එළියට එනව ඇද්ද? උසාවිය කියන්නෙ සුද්ද බූමියක්. සුද්ද බූමි කෙලෙසන එවුන්ට දඬුවං කොරන එකේ වැරැද්දක් නෑ.‍
හැබැහැට යක මරනුත් දන්න දේවල්.
"මට තේරෙන්නැති පුරස්නයක් තියනවා."
අබිලිං කියපි.
"ඒ මොකද්ද?"
"කමිසෙ උඩ බොත්තම නොදා හිටියම, බුලත් විට කෑවම දඩ ගහන්නෙ ඇයි?"
"බොත්තං ඇරියම පපුවෙ ඉළ ඇට පේනවා. උසාවියට ඇවිත් ඉන්න අබ්බකාත් නෝනලට දුක හිතිල ඇස්ඔලිං කඳුළු ඇවිත් නඩු අවුල් වෙනවා. සමහර නෝනලට මෙහෙම හිතෙනවා. "නොදකිං අපේ ගෙදර කාලකන්නිය මෙහෙම හිටියනං බලන්ඩ කැතේ බෑ. මේ මිනිහගෙ පපුවෙ අඩුගානෙ මයිල් ගහක්වත් තියනවා.  
"එහෙම හිතුණම නඩුව නෙමෙයි වෙන මගුල්ඔලට හිත යනවා. නඩු කටයුතු අවුල් වෙනවා.
ඔන්න ඔය කාරණා කල්පනා කොරලා නඩුකාර හාමුදුරුවො උසාවිය මගුල් මඩුවක් වෙන්ඩ කලිං බොත්තම ඇරගෙන හිටපු අලුගුත්තේරුවට දඩ ගහනවා. උසාවි බූමියෙ ගවුරවේ ආරස්සා කොරගන්නවා."
"එතකොට බුලත් විට කෑම?
ඒක වරදක් වෙන්නෙ කොහොමද? පන්සලේ හාන්දුරුවොත් දැහැත් විට කිය කියා කෙළින්නෙ බුලත් විටනෙ. දායකයොත් ගෙහුං බුලත් විට කකා මිදුලෙ කෙළ ගගහා හාමුරුවොත් එක්ක බජනෙ වැටෙනවනෙ. කෝ එතන පුරස්නයක්"
"නොදකිං උඹේ මොළේ. යකඩො පන්සලේ හාන්දුරුවොයි නඩුකාර හාමුදුරුවොයි කියන්නෙ දෙන්නෙක්. තේරුණාද? පන්සල් සෙල්ලං උසාවියට හරියන්නෑ. ඒක පවිත්තර බූමියක්. උඹල ඒකවත් දන්නැද්ද? පන්සල නඩු අහන තැනක් නෙවෙයිනෙ. හැබැයි පන්සල් සෙල්ලං හින්දා උසාවියට නානාප්පරකාර නඩුනං එනවා."
"එතකොට රාජ්ජ දේපළ කොල්ල කෑම උසාවියෙ දි වරදක් නොවෙන්නෙ කොහාමද?"
"රාජ්ජ දේපළ කියන්නෙ මහජන දේපළ. මහජන දේපළ ගෙදර ගෙනියන්නැතුව මහජනයටම දෙනව නං ඒක වැරැද්දක් වෙන්නෙ කොහොමද?"
"අනේ මන්දා එතකොට ඔය මාද්යවේදියො මරපු. ළමයි උස්සලා අතුරුදහන් කොරපු අය බේරිලා ඉන්නෙ කොහොමද?"
"අපරාදකාරයො අල්ලන්ඩ කියලා නඩුකාර හාන්දුරුවො පොලිසියට කියනවා."
"ඊට පස්සෙ?"
"ඊ ළඟ නඩු වාරෙදි පොලිසිය මෙහෙම කියනවා"
"කොහොමද?
"ස්වාමිනී. අපි මෑන් අල්ලන්ඩ යනකොට පන්සලේ දරුම සාකච්චාවකට ගෙහුං. හාන්දුරුවො කීවා මෙයා අල්ලන එක බුද්දාගමට විරුද්ද කුමන්තරණයක්ලු."
"ඒක නිදහසට කාරණයක් නෙවේ. ඊ ළඟ දවසෙ පන්සලේ නැතිවෙලාවක ගෙහුං අත්අඩංගුවට ගන්නවා."
"ස්වාමිනී, අනික් වෙලාවල්ඔල රණවිරු සැමරුම් උස්සවඔල. ඒවට ගියාම රණවිරුවන්ට එරෙහි කුමන්තරණයක් කියල එතන ඉන්න හාන්දුරුවො කියනව හාන්දුරුවනේ"
"ඊ ළඟ දවසෙ එතනින් එළියට ඇවිත් ගෙදර ගියාම අල්ලගන්නවා"
"එහෙම ගියා නඩුකාර හාමුදුරුවනේ. ඒ වෙලාවෙ ටොයිලට් ගෙහුං.."
"එනකං හිටියෙ නැත්තෙ මොකද?"
"ආවෙම නෑ. දිගටම ටොයිලට් එකේ. එහෙම ඉද්දි ඇල්ලුව නං මානව හිමිකම් නඩුවක් දාලා අපේ පොලිස් නිල ඇඳුමත් ගලවනවා."
"ඊට පස්සෙ දවසෙ ගියා. එදා ගෙවන වාට්ටුවකට ඇතුළු වෙලා බේත් ගන්නවා. ලෙඩාට අසාද්යයි කියලා ඇතුළට යන්න බෑ කීවා. අපි පොලිසියෙන් කීවා. පොලිසිය නෙමේ අම්මගෙ මිනිහ ආවත් බෑ කිව්වා."
"ඔන්න ඔහොම පොලිසිය නඩුකාර හාන්දුරුවන්ට වග උත්තර බඳිනවා. නඩුකාර හාන්දුරුවො නඩුව ඊ ළඟ අවුරුද්දට කල් දානවා. කල් දාලා ඊළඟ නඩුව අහන්ඩ පටං ගන්නවා. නඩු කෝටියක් නෙවැ"
අබිලිංගෙ කඩේට ආපු උදවිය බඩු ගැනිල්ල පැත්තක තියලා උසාවිය ගැන දැනුවත් වෙනවා.
ඔය අව්අස්සෙ නිමලෙට ඈනුමක් ඇවිත් යන්ඩ නොදී අතින් තර කර ගත්තා.
"හා හා මලේ මේක අබිලිංගෙ කඩේ. බයවෙන්ඩ කාරි නෑ"
මං නිමලෙගෙ අතින් ඇද්දා.