'යෝග' නම් කලාත්මක විද්‍යාව

 ඡායාරූපය:

'යෝග' නම් කලාත්මක විද්‍යාව

තමා විසින්ම තමාම සොයා චාරිකා කිරීම යෝග ලෙස භගවත් ගීතාවේ සඳහන් වෙයි. සෞඛ්‍යසම්පන්න ජීවිතයකට මඟපාදන කලාත්මක විද්‍යාවක් ලෙස යෝග ව්‍යායාම හඳුන්වන්නේ ඒ නිසාය. මනස සහ සිරුර අධ්‍යාත්මිකව හික්මවන ඉතා සියුම් විචක්ෂණශිලී විද්‍යාවක් ලෙසත් යෝග ව්‍යායාම නිර්වචනය කළ හැකිය. යෝග යන වචනය බිදී තිබෙන්නේ YOG හෙවත් එක් වීම යන අරුත දෙන සංස්කෘත වචනයෙනි.

යෝග ව්‍යායාමවල අරමුණ වන්නේ Self Relation හෙවත් තමා විසින් තමාව අවබෝධ කර ගැනීමයි. යෝග ව්‍යායාමවල ඉතිහාසය ක්‍රි.පූ. 2,700 වැනි ඈත අවධියකට දිවයයි. අදින් වසර 5,000 කට පෙර ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආශ්‍රිතව බිහි වූ අධ්‍යාත්මික සුව සදන විද්‍යාවක් ලෙසිනි එය සැලෙකෙන්නේ. සුවදායි ශරීරයකට ෙමන්ම සන්සුන් සහනදායී මනසකටත් යෝග ව්‍යායාම මගින් හිමි වන්නේ අපමණ අගයකි.

යෝග ව්‍යායාමවල යෙදීම සිරුරේ රුධිර සංසරණය ක්‍රමවත් කරන අතර අධික රුධිර පීඩනය පාලනය කරයි. මෙමගින් අත් වන තවත් යහපත් ප්‍රතිඵලයක් ලෙස ඇඩ්රිනලින් හෝමෝනය ඇතුළු සෙසු හෝමෝන ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කර සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම හඳුන්වන්නට පුළුවන්. මීට අමතරව යෝග ව්‍යායාමවල නිරත වීම සිරුරේ නම්‍යශිලීභාවය වැඩිදියුණු කරන අතර මස්පිඩු සහ අස්ථිද ශක්තිමත් කරවයි.

යෝග ව්‍යායාම මනස එක අරමුණක පවත්වා ගන්නට අපව හුරු කරන අතර ආතතිය, ක්ලමතය මෙන්ම නොසන්සුන් බව දුරු කරවා යහපත් මානසික සෞඛ්‍යයකටද මඟපාදයි. සිරුරේ සමබර බව වැඩිදියුණු කරන්නට හේතු වන යෝග ව්‍යායාම ඔබට සුවබර නින්දක් ලබා දීමටද හේතු වෙයි.

යෝග ව්‍යායාමවලදී ආශ්වාස ප්‍රශ්වාස කරන ආකාරය අනුව ශරීරය වඩාත් පිරිසිදු වී සිරුරේ අභ්‍යන්තර අවයවයන්ගේ ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරවයි. ඉන් ලැබෙන යහපත් ප්‍රතිඵලයක් ලෙස ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු වී සිරුරේ අනවශ්‍ය මේදයද දහනය වේ.

මේ නිසාම අධික තරබාරු බවටද සාර්ථක පිළියමක් ලෙස යෝග ව්‍යායාමවල ක්‍රමවත්ව නිරත වීම හැඳින්විය හැකියි.

සම පැහැපත්ව තබා ගැනීමට මෙන්ම තරුණ බව ආරක්ෂා කර ගැනීමටද යෝග ව්‍යායාමවල නිරත වීම හේතු වෙයි. ඒ හිසේ සිට මුහුණ ආශ්‍රිත ප්‍රදේශ දක්වා රුධිර සංසරණය ක්‍රමවත් කරවන නිසාය. සියලු ආකාරයේ ප්‍රතිලෝම යෝගාසන ආශ්‍රිත ව්‍යායාමවල නිරත වීම නිසා රුධිර සංසරණය ක්‍රමවත් වන අතර පැහැදිලි නිරෝගී සමක් ඔබට ලබා දීමට සමත් වේ.

කාන්තාවන්ට හිසරදයක්ව පවතින කුරුලෑ මෙන්ම ඇක්නි වළකා ගැනීමටද යෝග ව්‍යායාමවල නිරත වීමෙන් හැකි වේ. යෝග ව්‍යායාමවල ඉගැන්වෙන ක්‍රමවත් අශ්වාස-ප්‍රශ්වාස කිරීමේ ක්‍රමවේදයන් තෙල් සහිත සමක් හිමි කාන්තාවන්ගේ සමට සිසිලසක් ලබා දීමට සමත්ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කුරුලෑ සහ ඇක්නි පාලනය වීම සිදු වේ.

සූර්ය නමස්කාරය වැනි යෝගාසන පුහුණු කිරීම ස්වාභාවිකවම සිරුරේ ඇති විෂද්‍රව්‍ය ඉවත් කර පැහැදිලි දිදුලන සමක් ඔබට ලබා දීමට මග පාදයි.

සූර්ය නමස්කාර යෝගාසනය, වීරබද්‍රාසනය, ත්‍රිකෝණ ආසනය, පූර්වෝතන්ආසන ආදී විවිධාකාර යෝගාසන යෝග ව්‍යායාමවලදී ප්‍රගුණ කෙරෙන අතරම නිසි පිළිවෙළට අශ්වාස ප්‍රශ්වාස කිරීම මෙන්ම භාවනාවද මෙහිදී එක සේ වැදගත් වෙයි.

නිවැරදිව යෝග ව්‍යායාමවල යෙදෙන යෝගියා සෑම විටම නිර්මාංශ පිළිවෙතෙහි සිටී. මේ හේතු කොටගෙන රුව මෙන්ම සෞඛ්‍යසම්පන්නබව ආරක්ෂා වීමද නිරායාසයෙන්ම සිදු වන්නකි.

වර්තමාන කාර්ය බහුල ජීවන ගමනේදී යෝග ව්‍යායාම සඳහා ඔබගේ කාලයෙන් බිඳක් වෙන් කර ගන්නට හැකි නම් ඉන් ඔබගේ දිවියට වැදගත් ප්‍රයෝජන රැසක්ම ලබාගත හැකිය.

[හංසි සංදීපිකා]

මාතෘකා