හුස්ම ඉල්ලද්දී නොදී කොහොමද?

 ඡායාරූපය:

හුස්ම ඉල්ලද්දී නොදී කොහොමද?

එදා බොහොම කලබල දවසක්. හරියට වැඩෙන්නත් කලින්, ඔයා හිත හදන් එන්නත් කලින්, ඔයාට එළියට එන්න වැඩ සිද්ධවෙනකොට, හුස්ම ඉල්ලගෙන ආපු ඔයාට හුස්ම නොදී කොහොමද පුතේ?

අම්මාටත් එපා වුණු ඔයාව හොර ගබ්සා මධ්‍යස්ථානයේදීම පරලොව යවන්නෙ නැතුව හදිසියේම අපි ඉන්න හවසක රෝහලට එන්න අම්මාට සිදුවුණේ දෛවයේ හාස්කම නිසා. ඒක වාසනාවද අවාසනාවද කියලා මම දන්නේ නැහැ පුතේ.

ඔයාව ජීවත් කරවපු එක අපි කළ වැරැද්දක්ද දන්නේ නෑ පුතේ. ඒත් අපිට උගන්වලා තියෙන්නේ ජීවිත ජීවත් කරවන්නයි.

එහෙම අම්මලාට අමාරු වෙනකොට හොර ගබ්සා මධ්‍යස්ථානවලින් රජයේ රෝහවලට තල්ලුකරන එකයි කරන්නේ. ඒ වගේ අම්මලා කී දෙනෙක් මිය පරලොව යන්න ඇතිද? ජීවිත කීයක් අනතුරේ හෙලන්න ඇතිද?

අද අම්මෙක්ට ඒ තත්ත්වෙට පත්වෙන්න හිත හදාගන්න පුළුවන් තරමට සමාජය පිරිහිලා. ගුණ ධර්ම, සාරධර්ම මේ එක දෙයක්වත් හිත්වල නැහැ. ඒ වගේ අම්මලාව ඒ තරම් අසරණ කරපු මිනිස්සුත් කොහේ හරි ඇති. සමහර විට මේ වගේ දරුවෝ බරක් වෙන්න තරම් ඒ දෙන්නම අසරණ ඇති.

ඉතින් මගෙ පුතේ, එහෙම කලබල හවසක අපි ළඟට ආව ඔයාට සති විසි ගාණක් වෙද්දි මෙහෙම කරන්න ඔයාගේ අම්මා හිත හදාගත්තෙ කොහොමද කියලා අපි ඇහුවේ නැහැ. අපේ කලබලය අස්සේ මම දැක්කා ඔයාගේ අම්මා අඬනවා. ඔයා නියමිත කාලයක් අම්මාගේ කුසේ හිටියනම් හොඳ වැඩුණු බබෙක් ලෙස එළියට එන්න තිබ්බා නේද කියලා අපි හිත් ඇතුළෙන් කම්පා වුණා.

ඇම්බෝ, ලැරින්ජොස්කෝප්, ටියුබ් ඔක්සිජන් මේ සියල්ල ළඟට අරගෙන අපි ඔයාව ජීවත් කෙරෙව්වා. ශ්වසන මැෂිමක් තියෙන රෝහලක් හොයාගෙන ඔයාව එහේ අරගෙන ගිහින් ඒ මැෂින් එකට සම්බන්ධ කරනකම් ඔයා හුස්ම ගත්තා තනියම. ඔයා හරි ශක්තිමත් කියලයි අපිට හිතුණේ පුතේ.

ඒ වෙලාවේ ඉඳන් මම හරිම හිතේ මහන්සියෙන් හිටියේ, අපි හරි සංවේදී මිනිස්සු නිසා ලොකු දුකක් දැනෙනවා. පිටට නොපෙන්නුවත් ඇහැ මුලට කඳුළු උනනවා. මට මතක් වෙනවා මගේ යහළුවෝ දරුවෝ නැති නිසා බොහෝ දුක් වෙනවා, නොයෙක් ප්‍රතිකර්ම, යාතිකා පසුපස දුවනවා. එය දරුවෙක් නැති දුකින් ජීවිතයම විඳවනවා.

සමහර විට ඔයාගේ අම්මත් දුක් වෙනවා ඇති. සමහර විට එයාට වෙන කරන්නම දෙයක් නොතිබෙන්න ඇති. සමහර විට එහෙම වෙන්න ඇති, ඒත් මම එයාගෙන් මොකුත් ඇහුවේ නැහැ.

සමහර විට ඔයා මේ සටන ජය ගනීවි. කාත් කවුරුත් නැති ඔයා එතකොට ළමා නිවාසෙකට භාර දෙයි. එහෙම වුණත් ඔයා මේ සමාජෙට වෛර නොකරන කෙනෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ගැහැනු සහ දරුවන් මේ තරම් අසරණ නොවන සමාජයක් බිහි කරන්න ඔයාටවත් පුළුවන් වෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම රටක් හදන්න අපි කරන අරගලයට තව හිතක් හදවතක්, මනුස්සකම තේරෙන මිනිහෙක් එකතුවෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.

දරුවන්ට, තරුණ තරුණියන්ට හරි වයසේදී, නිවැරදි ලිංගික අධ්‍යාපනයක් දෙන්න බැරි වීමේ හිස් තැන අඩුපාඩුව දැක දැක අපි මේ බර පොදි හිතේ ගොඩ ගහගෙන වාට්ටුවේ වැඩ කරන්නේ. සමාජ සේවා ආයතන, රජයේ දෙපාර්තමේන්තු මගින්, තනිවෙන අම්මලාට සහ ඔවුන්ගේ දරුවන්ට හොඳ මඟ පෙන්වීමක්, ශක්තියක් සපයන්න තවම අපේ රටට බැරි වෙලා තියෙනවා. එහෙම අසරණ වෙන අම්මලාට ඒ ලැබෙන්න ඉන්න දරුවා එක්ක මාරාන්තික පිළිතුරු හොයාගෙන යනවා වෙනුවට ජීවත් වෙන්න උත්තර ලැබෙන ක්‍රමවේදයක් මේ සමාජයට අවශ්‍යයි කියලා මම තරයේ විශ්වාස කරනවා. එතකොට ඒ අම්මලාට දරුවෝ බරක් වෙන එකක් නැහැ.

උපදේශනය, දරුවා වැඩෙන තෙක්, බිහිවන තෙක් රැකවරණය මේ අවිවාහක අම්මලාට ලැබෙනවා නම් මේ විදිහට ඒ දරුවන් අසරණ නොවෙන්නත් ඉඩ තිබුණා. අනිසි ගැබ් ගැනීම්, අවිවාහක බව, සමාජ භීතිකා බවට පත් කර, අවජාතකයා යැයි ලේබල් ගසන්නේ නැතිනම් මේ තනිකඩ අම්මලා දරුවන් හදාගන්නත් ඉඩ තිබ්බා. මේ දරුණු ඛේදවාචක දකින මගේ නෙතත්, බොහෝ වෙහෙස හිතත් නිතර දුක් වෙනවා.

මේ බබාට අන්දන්න ඇඳුම්, උණුසුම් කරන්න තුවා සියල්ල අපේ වාට්ටුවල තිබුණේ මගේ යෙහෙළියන් සැරින් සැරේ ගෙනත් දෙන අලුත් ළදරු ඇඳුම්, කොට් ශීට් නිසයි. ඒත් ඒ පුතා ශ්වසන බට, කැනියුලා වටකරගෙන සිටි එයාගේ ජීවන සටන දවස් කිහිපයකින් අත් හැරියා.

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

මාතෘකා