රජයේ ගාස්තු ගෙවන එක

 ඡායාරූපය:

රජයේ ගාස්තු ගෙවන එක

"මේ මිනිහට එක එක මගුල්ඔලට වියදං කරන්ඩ ඕන තරං සල්ලි. මං මොනා හරි ගේන්ඩ කිව්වම අතේ පයිසෙ නෑ. නොදකිං. මාත් අහුවුණානෙ මෙහෙම කාලකන්නියෙකුට..."

නිමලෙගෙ මායියා දෙස් දෙවොල් තියනවා.

"මොකෝ නගේ, මිනිහා පාන්දරින්ම කරිඤ්ඤං ගහලද?"

"නෑ බණ්ඩයියෙ. උදේ පොළේ යන්ඩ සල්ලි මදි කිය කියා හිටියා. මං අතදාලා බැලුවා බුලත් මඩිස්සලේට. රුපියල් එක්දාස් පන්සීයක් උන්ඩි කොරල අස්සෙ ගහගන. මඟදි අවඩි කෙනෙකුට දෙන්ඩද කොහෙද. මේ ළඟදි ඉඳල ඕකා හෝටල්ඔලත් යනව කියල ආරංචියි.

මං ඇහුවම කියනවා එක්දාස් පන්සීය රජයේ ගාස්තුලු! යකඩො අපි ආණ්ඩුවට ගෙවන්ඩත් ඕනැද?"

නිමලෙගෙ මායියගෙ අඬවැඩියාව මැද්දෙං අපි දෙන්න විලාකටුපොත පොළට ගෑටුවා. එළෝලු ගණං උනාට පතෝල ලාභයි. පතෝල කිලෝ පහක්ම ගත්තා. නිමලෙ කංකුං මිටි පහකුයි වම්බටු කිලෝ දහයකුයි ගත්තා. දෙයියනේ කියලා තුන්වේලම කන්ඩ පුළුහං.

බඩු මලු කරගහගෙන පයින්ම ආපහු ගාටද්දි අර හෝගාන පොකුණ චිත්තරපටියෙ හීං එවුන්ට වගේ අපහසුවක් දැනෙන්ඩ ගත්තා. ඒක අමතක කොරලා නිමලෙත්තෙක්ක කතාවට වැටුණා.

"ඈ බං මලේ, රජයේ ගාස්තු කියන්නෙ මොනවද?"

"බණ්ඩයිය මොන ලෝකෙද ඉන්නෙ?අපි ගමනක් බිමනක් යද්දි සුළුදිය බාන්ඩ සරම ඩිංගක් ඉස්සුවා කියමුකො"

"ඉතින්?"

"නාහෙට අහන්නැති කොලු නාම්බෙක් පස්ස පැත්තෙ පොටෝ එකක් අරං අර මූණත්තහඩු පොතේ දැම්මයි කියමුකො."

"ඉතින්"

" විලාකටුපොත පොලිසියෙං අල්ලලා පුරාවිද්‍යා පනත යටතේ නඩු දැම්මයි කියමුකො"

"ඉතිං"

"රිමාන්ඩ් එකෙං එළියට දාද්දි වරද පිළිඅරං රජයේ ගාස්තු එකදාස් පන්සීයක් ගෙවන්ඩ වෙනවා."

"දෙයියෝ සාක්කි! සුළුදිය බෑවෙ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඉස්තානෙක කියලා කොහොමද දන්නෙ?"

"මේක අයිතිහාසික බූමියක්. මේකෙ අඟලක් ගානෙ පරණ භාණ්ඩ තියනවා. රජකාලෙ පබළු ඇටයක් නැත්තං ඇටකෝටු කෑල්ලක් හරි තියනවා. මේක පුන්ය බූමියක්. පස්ස හරවන තැනක් නෙමේ"

"දැං එතකොට සුළුදිය බාන්ඩ තැනක් හොයාගන්නෙ කොහොමද?"

අපි දෙන්නට හොඳටම අමාරුයි. පාර දෙපැත්තෙ කූරටියා පඳුරු. හුඹස්. අයිතිහාසික පළු ගස්. නිමලෙගෙ අතේ කොල්ලගෙං ඉල්ලං ආපු ගඩොල් බාගයක් විතර ලොකු සැල්පෝං එකක්. පන්සලේ පොඩි හාමුදුරුවන්ට කතා කොරලා ඉල්ලාගත්තා එල්ලාවල හාන්දුරුවන්ගෙ නොම්බරේ.

"බණ්ඩයියම කතා කොරන්ඩකො. රට තොට දන්න කෙනානෙ.

මං කතාකෙරුවා හාන්දුරුවන්ට.

"අපේ හාන්දුරුවනේ. විලාකටුපොත බණ්ඩා කතා කොරන්නෙ."

"මොකද්ද කෙරෙන්ඩෝනෙ උපාසක"

"අපි මේ පොළේ ගෙහුං එනගමං. සුළුදිය බරක් ආවා. ඒක කොරන්ඩ බයයි. පුරාවිද්‍යා වටිනාකොමක් තියෙයිද දන්නෑ."

"ඔතන බූමියෙ හැටි කොහොමද? පස මොන පාටද? පරණ ගඩොල් කෑලි එහෙම තියනවද?"

"කූරටියා පඳුරකුයි හුඹහකුයි තියනවා. පොඩි අයිතිහාසික ගතියකුත් තියනවා අපේ හාන්දුරුවනේ"

"එහෙම නං පරීක්සාවක් නොකර යමක් කියන්ඩ බෑ. කෝකටත් ගෙදර යනකං ඉවසන එක හොඳයි. ඉතිපිසෝ ගාතාව කියල ගෙදර යන්ඩ. තෙරුවන් සරණයි උපාසක තැනට"

දැං ඉතිං කොරපල්ලකො. බඩ කොරවෙලා. ඔය අව් අස්සෙ ඉලන්දාරියෙක් කලිසම පාත් කොරලා පස්ස දිලිසි දිලිසි හුඹහකට මුත්තරා කොරනවා. නිමලෙගෙ මල පැන්නා. ගැහුව එකසිය දහනවයට. දුන්න පෝන් එක මගෙ අතට.

"හලෝ, ඉස්පෑටර මහත්තය ඉන්නවද? විලාකටුපොත බණ්ඩා කතා කොරන්නෙ"

"මොකද්ද පැමිණිල්ල? කාරණේ ඉස්තානෙ හරියට කියන්න ඉක්මනට. අපට වැඩ තියනවා. බොරු පැමිණිලි කොරන්ඩාවොත් ලකප් කොරනවා."

"විලාකටුපොත පොළ පාරෙ පළු ගහ ළඟ අයිතිහාසික ගොඩැල්ලක් උඩ ඉලන්දාරියෙක් පස්ස එළියෙ දාගෙන මුත්තරා කොරනවා."

"හරි..අපි එවන්නම් කණ්ඩායමක්. අපි එනකං කලිසම පාත් කරගෙනම ඉන්ඩ කියනවා"

ඇමතුම විසන්දි වුණා. මං නිකං විසඥ වුණා වගේ. දෙන්නා පොළොවට නොරිදෙන්ඩ පය තියමින් ගෙදර කිට්ටුවටම ආවා. කියන්ඩත් මහ මෙකද්ද වාගෙ. නිමලෙට සුළුදිය පහවුණා. සරම තෙමුණා.

"ගණං ගන්ඩ එපා මලේ. රජයේ ගාස්තු ගෙවන්ඩ උන්නෑනෙ. පුරාවිද්‍යාවට අපහාස වුණෙත් නෑ. අයිතිහාසික උරුමෙ ආරස්සා වුණා. ගෙදර ගෙහුං සරම හෝදපං. ඒක අව්වෙ දාලා තියන මගුලක් ඇඳගෙන රජයේ ගාස්තුත් අරං වරෙං යන්ඩ සැල්ටොංගෙ බාර්රෙකට. අයිතිහාසික තොරතුරු දන්න හොඳම පණ්ඩිතයො එතනයි ඉන්නෙ. බොරුද හා?

මාතෘකා