අම්මා!

 ඡායාරූපය:

අම්මා!

මෙ දිය කුස ඇති සමස්ත ආදරය පටන් ගන්නේත් අවසන් වන්නේත් අම්මාගෙනි - රොබට් බ්‍රව්නින්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟම බොහෝ දෙමාපියෝ තම දරුවන් ලබාගත් ජයෙන් ප්‍රමෝදයට පත්ව සතුටු කඳුළු වැගුරූහ. ඔවුන් සේවය කළ කම්හලේ, වැඩපළේ දුම්රියේ නොයෙක් දෙනා සුබපැතූහ. අවිවේක දිවියේ ලද එකම සතුටු මොහොතින් ඔවුන්ගේ සිත උදම් වන්නට ඇත. කඩඉම ජයගත නොහැකි වූ දෙමාපියෝ සෝ සුසුම් වාතයට මුදාහළහ. නමුත් මේ කියන්නට යන්නේ ශිෂ්‍යත්වය ගැන හෝ ඒ සමත් අසමත් ළමුන් ගැන නොවේ.

පොදු වහරට අනුව ශිෂ්‍යත්වය යනු අම්මලාගේ විභාගයයි. මේ කියන්නට යන්නේ එම ළමුන් වෙනුවෙන් කැපවූ අම්මලා ගැනය. ඒ අම්මලාගේ කැප කිරීම් පිළිබඳය. ඒ අම්මලා අතර දලු කොළමිටිය වෙ‍ෙළන් නෙළා විකුණාගත් සොච්චමෙන් දරුවාගේ පන්ති ගාස්තු ගෙවූ අම්මලා සිටින්ට ඇත. නිදන්ගත රෝග සඳහා ප්‍රකිකාර ගැනීම සඳහා ලැබෙන සහනාධාරය එකතුකොට තම දරුවා පන්ති යැවූ අම්මලා සිටින්නට ඇත. ඇතැම් අම්මලා එසේ කළත් ආර්ථික අපහසුකම් නොමැති වුවද රැකියා දඬුකඳට බැඳ දැමීම නිසා තම දරුවා නියමානුකූලව විභාගයට සූදානම් කිරීමට නොහැකි වූ අම්මාලද සිටින්ට ඇත. ඒ සියලු අම්මලා අම්මලාය. ජීවන දුක් පිරිපත ගැන නොතැවෙමින් හා තම දරුවන් පිළිබඳ ස්මරණයෙන් පමණක් සහනයට පත් වනු ඇත. ඔවුන් මේ දිවිකතර තුළ දකින එකම මිරිඟුදිය දරුවන්ම වෙයි. නමුත් ඒ අම්මලාගෙන් කීදෙනෙක් ඒ විඩාවෙන් ඉසුඹු නොලබාම ඒ දරුවන්ට සදාතනික වේදනාවක් ඉතිරි කර දිවිකතරින් සමුගන්නවා ඇතිද?

මා විඳි ආසන්නතම අත්දැකීමක් මතක් කරමි. හදිසියේ කළ යුතු ශල්‍යකර්මයක් නිසා රෝහල්ගත කළ මගේ අම්මා සතිදෙකක පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේ තැබීමට සිදු විය. දැඩිසත්කාර ඒකකයේ ශ්වසනය පහසු කිරීමට සහ අන් ශරීර ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සඳහා සවි කළ පරිගණක තිරවල දුවන තරංග රේඛා පමණක් ඇය ජීවත්ව සිටින බව ඉඟි කළේය. මම ඇගේ පපුව දෙස බැලිමි. ඇය ශ්වසනය කරන්නේ අපහසුවෙනි. මගේ හදද ඒ රිද්මය හා ඒකතානමය ලෙසින් ගැහෙන්ට පටන් ගත්තේය. ඇටමිදුලු සියල්ලක්ම දියව කඳුළු බවට පත්ව ඇස් අග්ගිස්සේ හිරවිණි. මේ ඇය අසල සිටගෙන සිටින්නේ ඇගේ කුස තුළ ම මස්වැදැල්ලක්ව වැඩී බිහි වුණු ඇගේම කොටසක් නොවේද යන සිතිවිල්ලත්, දරාගත නොහැකි වූ වරදසහගත හැඟීමත් සමඟම මට ඇය අසල දණ ගැසිණි. එය කෙලෙසකවත් දරාගත නොහැකි අත්දැකීමකි. ඔබ බොහෝ දෙනෙක් එම අත්දැකීම විඳ ඇතිවාට සැක නැත. අප කුමන රැකියාවක නියැළුණත් අප කුමන තරාතිරමක සිටියත්, අප කුමන මතවාද දැරුවත් අපට අපගේ අම්මලා පිළිබඳ ඇති හැඟීම එකක්ම වනු නියතය. එහෙත් විස්තෘත පවුලක් පිළිබඳ සිහිනය සිහිනයක්ම බවට පත් ජීවන පැවැත්මක් තුළ අපට ඒ අම්මලා වෙනුවෙන් කැප කිරීමට තත්ත්පරයකුදු ඉතිරි වී ඇතිද? රැකියා කිරීමට දුර රට ගිය දරුවන් කී දෙනෙක් මෙවන් වරද සහගත හැඟීමෙන් මඩනා ලද්දේද?

අප ඇය බැලීමට එන බව දන්නා සෑම විටකම කොතෙකුත් අපහසුකම් තිබුණත් අම්මා අප කැමතිම කෑම වේල සාදා ගෙන මඟා බලා සිටිය අතීතයක් අප සියල්ලන්නටම ඇති බවට සැක නැත. එන බව කලින් කියා තිබුණත් කාර්යබහුලත්වය නිසා යන්නට බැරි වූ අවස්ථාවල එය උපේක්ෂා සිතින් දරාගෙන ඇය රහසින් හඬවැටෙන්නට ඇත. අම්මලා එසේය.

අම්මා මුරණ්ඩුය. කායික මානසික අපහසුතා කොතෙක් තිබුණත් එය සඟවාන අප පැවැත්ම ගැනම සිත වෙහෙසයි. රෝබිය පැමිණියහොත් ඇය රහසේ ගොඩවෙදකමේ සහාය පතයි. දියවැඩියාවට වල්කොත්තමල්ලි තම්බා බොයි. නැතිනම් කොතලහිඹුටු කෝප්පයක වතුර පල් කර බොයි. ඒ මුරණ්ඩු සිත කෙදිනකවත් නොනැවෙයි. දුව පුතා දොස්තර වුවද ඔවුනට කම් නැත. ඒ අම්මාලාට තවමත් ඔවුන් හය හතර නොතේරන දරුවන්ය. ඒ මුරණ්ඩුකම කෙළවර වන්නේ හෘදයාබාධයකින් නැතිනම් නිදන්ගත වකුගඩු රෝගයකින් වුවද, ඒ සියල්ලක්ම කෙළවර අත්පා විච්ඡේදනය කර රෝහල්ගත කර සිටින මොහොතක පවා ඒ අප්‍රමාණ වේදනාව මඬිමින් අම්මලා සිතන්නේ දරුවන්ගේ සුඛවිහරණය පමණකි. සිහි මඳකමින් වුව මතුරන්නේ ඔවුන්ගේ දියුණුව ගැනය. අම්මලා එසේය.

අප පසු කරන දුෂ්කර, ආපත්ති බහුල දිවිකතර තුළ අප සැනසුවේ ඒ අම්මාය. ආලෝකය ඇති දාවලේදී අප සමඟ සිට අප සමඟ ප්‍රීති වූ සියල්ල ගන අන්ධකාරය පැමිණෙද්දී අප හැර දමා යයි. ඒ රාත්‍රී ගන අන්ධකාරයේදී අප තනි නොකර නොයන සඳපහන වන්නී අම්මාය. විශ්වාස කළ සියල්ල අප ඉදිරියේ ගරා වැටෙද්දීත් අප තනි නොකර සිටි එකම සවිය අම්මාය. සියල්ල කෙරෙහි උකටලී ආතුර සිතට දිරිය දුන්නී අම්මාය. සැබවින්ම අසූචි වළක් මෙන් ගඳ ගසන මේ දියකුස තුළ ඇති එකම සුගන්ධය අම්මාය. විශ්වාස කළ හැකි එකම දෙය ඒ අකුරු තුනය. නිම නොවෙන ගාධ පතුළක් වැනි වූ අම්මාගේ හදවතේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇත්තේ දරුවන් වෙතම එරුණු මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ෂාව විය යුතුය.

මේ මොහොතේත් මැෂින් ගොඩක් මැද ගිලන් ඇඳක නිදන අම්මා ළග ඉඳන් ඇය ගැන හැර වෙන කිසිවක් ගැන ලියන්නද...?

ආයු දීගං වස්සසතං මාතු පාදං නමාමී...!

[දිනේෂ් දේවගේ]

මාතෘකා