වප් මහේ හීගදු පිපෙන හදවත

 ඡායාරූපය:

වප් මහේ හීගදු පිපෙන හදවත

"පිටාරම් හතක් ගලනකං මේ වැස්ස පායන්නෑ. හැම අවුරුද්දෙම එහෙමනෙ"

කිරිගම්පමුණුවේ සිට වැස්සේ මිරිමිරිය මැදින් මත්තේගොඩ බස් නැවතුම දක්වා යන අතරතුර තුන්රෝද රියෙහි මිතුරා පවසයි. වප් මහේ මහ වැහි මානයේ මගේ නිවස හාත්පස පරිසරය බොර වතුරෙන් පිරෙයි. ඕවිට අද්දරින් මහ වෙල්යායට බැස බොර දිය ඔහේ ඇදී යයි.

මගේ අලුත් ගංතුලානට පිටාරං හතක් ගැලීම යනු හත්කෝරලේ මා උපන් ගමට නම් ගල්ළිංවල මාළු ගොඩ එන වැස්සය.

රාත්‍රියෙහි නින්ද සෙමින් තටුගසද්දී නොනවත්වා ඇදහැලෙන වැසිදියෙහි නාදය මතක සිතුවම් හදෙහි අඳී....

වැස්ස තුනී වී අහසෙහි සුදු පැහැති වලා පෙඳ මැදින් ළා රතු කිරණ පින්සල් පහරක් ගසයි. මගුරුඔය මායිමේ 'පාහිවළ' හා 'කනත්ත හේන' බිම් කඩෙහි සුදු පැහැති පැල්ලම් දහස් ගණනක් හිමිදිරියෙහි තුනී වන තිමිර පටල මැදින් දෑස් අලවයි.

"කොටං පිපිලා"

පන්මලු දෙකක් රැගෙන බිම්මල් කැඩීමට මා සමඟ තරගයට දිව යන මලණුවෝ පවසති.

ඇත්තය. එය සිහින පාරාදීසයක් වැන්න. වැස්සට දලුලන නිල්තණ බිඩංග මැදින් මහපොළොව කොටං දසන් දක්වා සිනාසෙයි.

"සමන් පිච්ච මල් ඉහිරුණු

නිල් තණකොළ පිට්ටනියක්

වගෙයි අහස අන්න බලන්

කොච්චර ලස්සනද රෑට"

එස්. මහින්ද හිමියන් රෑ අහස ගැන කී උදානය මහපොළොවටද ගැලපුණා වැන්න.....

මේ බිම්මල් පිපෙන සමයයි. කොටං, ඉඳලෝලු, වැලි බිම්මල්, රත්කැවිල මාරුවෙන් මාරුවට පිපෙයි. මහ වැස්සෙන් බුරුල් වන තුඹස් පස සිදුරු කරගෙන ඉඳලෝලු සිනාසෙයි. ඇතැම් විට ගෙදරින් ගෙනා මල්ලෙහි ඉඩ මදි වෙයි. ඉක්මනින් පාසල් යෑමට සූදානම් විය යුතු හෙයින් සැතපුම් කාලක පමණ දුර දිව ගොස් නැවත පැමිණීමට කාලය මදිය.

බිම්මල් කැඩීම අතට හිතට සුව දෙන කටයුත්තකි. බිම්මල් සුදු පැහැතිය. මුදු මොළොක්ය. නැහැයට සමීප කළ විට නෑඹුල් සුවඳක් හමයි.

බිම්මල් රසැති වෑංජනයකි. මිරිසට ඉවූ හොද්ද මෙන්ම බැදුමද රසවත්ය. ගුණැතිය. වැඩි හරිය වේළා තබාගත හැකිය...

බිම්මල් පිපෙන සමයෙහි හද පිබිදීමේ රහස එහි රස හෝ ගුණ සිහිපත් වීම නොවේ. පැටි කල ඒ ගැන එතරම් හැඟීමක්ද අපට නොවීය.

අප සිත් පැහැර ගත්තේ එහි පියකරු බවයි. මුදු බවයි. සිහින පාරාදීසයක සැරිසැරීමට කරන සොඳුරු ඇරියුමයි.

ළාහිරු රැස් පතිත වන්නට පටන් ගත් විට සිහින පාරාදීසය සතා සීපාවන්ගේ ඇස ගැටෙන්නට පටන් ගනී. කුඩා කෘමියාගේ හා පණුවාගේ පටන් වඳුරන් රිළවුන් දක්වා රස නහර පිනවන සත්වගහනය විහිදෙයි. හිමිදිරියෙහි අතපතගා බිම්මල් කැඩීමෙහි රහස ඔවුන්ගේ ආක්‍රමණයට ඉඩ නොතැබීමය. සොබා දහම නොමිලේ පිරිනමන සම්පත් උපක්‍රමශීලීව ඩැහැගැනීම අතින් හෝමෝ සැපියන්ලාගේ පරපුරේ අය ඉදිරියෙන් සිටිති.

සිහිනයෙන් බිම්මල් කැඩීම යථාර්ථයක් වන අවස්ථාද තිබේ. වසර දහයක් කිරිගම්පමුණුවෙහි විසීමෙහි ප්‍රතිඵලය ලෙස ඉඳලෝලු පිපෙන තුඹස මගේ නෙත පැහැර ගනී. පෙර මෙන් මලුගණන් නෙළාගත නොහැකි වුවද ඉඳලෝලු හත අටක් මට මගේ අතීත මිහිරියාව යළි දෝතට දීමෙහි කාරුණික වෙයි. සොබා දහමේ හැටි එහෙමය.

කිරිගම්පමුණුවෙහි පදිංචි වැඩි පිරිසක් විවිධ පළාත්වලින් පැමිණ පදිංචිවූවන් වන හෙයින් බිම්මල් ලකුණු හැඳින ගැනීමේ ඉඩ ප්‍රස්තා විරල වීමද මට ඇති අමතර වාසියකි.

මේ දිනවල ඉඳ හිට හත්කෝරලේ සහ රජරට ප්‍රදේශයේ මිතුරකු මා ඇමතීම සිහින විජිතය විවර වීමකි.

"බිම්මල් පිපුණම කඩල ප්‍රිජ් එකේ දාල තියන්නම්. ආ දවසක උයල දෙන්නම්."

මිතුරෙක් දුරකථනයෙන් පවසයි.

"එහෙම හරියන් නෑ."

"ඇයි හරියනැත්තෙ?"

"බිම්මල් රහ බව ඇත්ත. ඒත් කඩන එක ඊට වඩා රහයි"

මිතුරා සිනාසෙයි.

"අපි බිම්මල් කඩල බලාගෙන හිටියා. ඔයා ආවෙ නැහැනෙ"

තවත් මිතුරෙක් පවසයි.

"බිම්මල් පාර්සලයක් එවන්නද? හැබැයි එනකොට නරක් වෙලා"

තවත් අයෙක් සරදම් කරයි.

රාත්‍රිය දිගු වෙයි. වැස්ස නොනවත්වා වසී. පොළොව බුරුල් වෙයි. මෙතෙක් කල් උණුසුම්ව රැකගත් ජීව ගුණය පිබිදෙයි. මම සිහින විජිතයෙහි සරමි. පාවෙමි.

තණපත්, හුඹස් දලු අතරින් බිම්මල් සිනාසෙයි. පෙළොවේ කිරිදත් අතැඟිලිවල මුදු සරින් දැවටෙයි. මගේ සුරතෙහි විශාල ගෝනියක් ඇත. මම බිම්මල් කැඩීමට පටන් ගනිමි. කොපමණ කැඩුවත් ඉවරයක් නැත. මහපොළොව පුරා බිම්මල් පිපී තිබේ.... පරතෙරක් නොපෙනේ... සිහිනයෙහි මිහිරියාවෙන් මිදී හිරුඑළියට දෑස විවර වන බව මට නොදැනේ...

මාතෘකා