මානසික සුවය රකින්නට ප්‍රචණ්ඩත්වය පිටුදකිමු

 ඡායාරූපය:

මානසික සුවය රකින්නට ප්‍රචණ්ඩත්වය පිටුදකිමු

ඔක්තෝබර් මස දෙවැනිදාට යෙදෙන ප්‍රචණ්ඩත්වය පිටු දැකීමේ අන්තර්ජාතික දිනය සහ ඔක්තෝබර් මස දස වැනිදාට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය අළලා සකස් කරන ලද ලිපියකි.

අවිහිංසාවාදයේ පියා ලෙස සැලකෙන, මහත්මා ගාන්ධිතුමා පැවසූ ආකාරයට, ශක්තිවන්තයා සතු ප්‍රබලතම අවිය අවිහිංසාවයි. නමුත් ප්‍රචණ්ඩත්වය ඇති තැන කවර නම් අවිහිංසාවක්ද? නමුත් අවාසනාවක මහත කෙතරම්ද පවසනවා නම් වර්තමානයේදී මුළු ලෝකයම ගිලගත් අභියෝගයක් බවට ශාරීරික මෙන්ම මානසික වශයෙන්ද ඔඩු දිවූ ප්‍රචණ්ඩත්වය හඳුනා දිය හැකිය.

ප්‍රචණ්ඩත්වය යනු පුද්ගලයකු, පුද්ගල කණ්ඩායමක් හෝ කිසියම් ප්‍රජාවක් අරමුණු කර ගනිමින්, සිතා මතා බලය අනිසි ලෙස යොදාගනිමින්, ශාරීරිකව හානි සිදුකිරීම, බියවැද්දීම, මරණය සිදුකිරීම හෝ මානසික පීඩා ඇතිකිරීමයි. මෙය ශාරීරික, මානසික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වය යන ස්වරූපයන් ගත හැක.

තලු මරමින් රස කරනා පුවත් ස්වරූපයෙන් මෙන්ම චිත්‍රපට, ටෙලි නිර්මාණ ස්වරූපයෙන් ද ප්‍රචණ්ඩත්වය නිරන්තරයෙන් අපගේ ඇස ගැටේ, කන වැකේ. එයිනුදු නොනැවතී මහමඟ, බස් රියෙහි ගමන් ගන්නා විටදී, කාර්යාලයේදී, පාසලේදී මෙන්ම නිවසේදීද ඇතැම් විට අපි ප්‍රචණ්ඩත්වයෙහි ගොදුරු බවට පත්වෙමු.

එපමණක් නොව හැත්තෑව දශකයෙහිදී බිහිවූ ජේවීපී කැරැල්ල, 1983 වසරේදී අවාසනාවන්ත ලෙස නිර්මාණය වූ ‘කළු ජූලිය’ සහ එහි අමිහිරි ප්‍රතිඵලයක් ලෙස දශක තුනක් පුරා ඇවිලුණු යුද්ධයද ප්‍රචණ්ඩත්වයේ සෙවණැලිවලින් අප රට වැසුණු අවස්ථා ලෙස හැඳින්විය හැකිය.

ආකෘතිමය හෝ පද්ධතිමය හේතු පදනම් කර ගනිමින් සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වය හේතුවෙන්, පුද්ගලයකුගේ මානසික සෞඛ්‍ය කෙරෙහි සිදුවන අහිතකර බලපෑම සුළුපටු නොවේ.

ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් බවට ලක්වූ පුද්ගලයකුගේ පෞරුෂ වර්ධනය අඩාල වන අතර ඔහුගේ හෝ ඇයගේ ආත්ම විශ්වාසය පලුදු වීම සහ ඒ නිසා ඇතිවන ඍණාත්මක ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ හෝ ඇයගේ සමාජ සම්බන්ධතාවන්ට හානි පැමිණීම සිදුවේ.

එවැනි පුද්ගලයන්, දෛනික කටයුතු පවත්වා ගැනීමේ සහ තීරණ ගැනීමේ අපහසුතාව නිරන්තරව දුක්මුසුව සහ කනස්සල්ලෙන් සිටීම, සුළු දෙයටත් කඳුළු සැලීම, ඉක්මනින් බියවීම, නිසි පරිදි නින්ද ලැබීමේ අපහසුතාව යන මනෝ භාවයන්ගෙන් කිහිපයක් හෝ ඒ සියල්ල ප්‍රකට කරයි. එමෙන්ම, මානසික ආතතිය, ශාරීරික වේදනාවන්ගේ සහ ආහාර රුචිය නැතිවීමේ ස්වරූපයෙන්ද ඇතැම්විට ඇතිවන නිසා, පුද්ගලයකු මැදිවී ඇත්තේ මානසික ගැටලුවකට නම් ඒ බව හඳුනාගෙන නිසි පිළියම්ද වහා යෙදිය යුතුය.

කිසියම් පුද්ගලයකු මානසික ගැටලුවකට මුහුණ පා එයින් පීඩිත වී සිටින විට, ඔහුගේ හෝ ඇයගේ පවුලේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් මෙන්ම එම පුද්ගලයා සමඟ සමාජ සම්බන්ධතා ගොඩනඟාගෙන සිටින අනෙකුත් පුද්ගලයෝද නිතැතින්ම ඉන් පීඩාවට පත්වෙති.

ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන් මැදිවී ඇති මානසික ගැටලුව නිසි පරිදි හඳුනාගෙන එයට නිවැරදි ප්‍රතිකාර නොකළහොත් ඔවුන් මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වීම සහ සමාජ විරෝධී ක්‍රියාවන්ට පහසුවෙන් යොමුවීම මෙන්ම පසුකාලීනව විවිධ මානසික සහ ශාරීරික රෝගවලට ලක්වීමේ අවදානමක්ද පවතී.

වින්දිතයන් වෙත සහන සැලසීම මෙන්ම එකසේ වැදගත් කරුණක් ලෙස ප්‍රචණ්ඩත්වයට හේතු වන සාධක කෙරෙහි අවධානය යොමුකර ඒවා මුලිනුපුටා දැමීමට කටයුතු කිරීම හඳුනාගත හැක. එහිදී මානව අයිතීන් සහ මහජන සුබ සිද්ධිය සුරක්ෂිත කරන ලද සමාජයක් බිහිකිරීමට උර දීමේ වගකීම අප කාහටත් පොදුය. ප්‍රචණ්ඩත්වයට එරෙහිව පනවා තිබෙන නීති ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම, පාසල් මට්ටමේ සිට අධ්‍යාපනික සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් රාජ්‍ය මට්ටමෙන් මෙකී සද්කාර්යය වෙනුවෙන් දායකත්වය ලැබිය යුතුවේ. ප්‍රචණ්ඩත්වයට ලක් කරන්නා කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔහු හෝ ඇය කවර හේතු නිසා ප්‍රචණ්ඩ සහ හානිකර චර්යාවකට යොමු වී ඇතිද යන්න සොයා බැලීම මගින් එම පුද්ගලයා යහමඟට ගැනීම හා අවශ්‍ය ආධාරද ලබා දීම වඩාත් ඵලදායි වේ.

ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මානසික පීඩනයට ලක්වී සිටින කිසියම් වින්දිතයකු වේද, ඔහුට හෝ ඇයට පවුල් පුනරුත්ථාපන කේන්ද්‍රය මගින් සලසන උපදේශන සේවා සහ ඒ සමග බැඳුණු තවත් සේවා හඳුනාගත් අවශ්‍යතා මත උතුරු පළාතේ, මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවල පිහිටි පවුල් පුනරුත්ථාපන කේන්ද්‍රයේ ශාඛා මගින් නොමිලේ ලබා ගත හැක. එමෙන්ම කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේදීද අවම ගාස්තුවක් යටතේ උපදේශන සේවා ලබා ගැනීමට පහසුකම් පවතී.

ඔබට මානසික ගැටලුවක් පැන නැඟුණු ඕනෑම අවස්ථාවකදී අපව අමතන්න. අපි ඔබගේ සහායට සිටිමු.

කොළඹ 011 -2580166

යාපනය 021 -2261122

මුලතිව් 021 -2290188

මන්නාරම 023 -2251858

කිළිනොච්චිය 021 -2283878

වවුනියාව 024 -2052144

[හංසි සන්දීපිකා]

මාතෘකා