හැරවුම් ලක්ෂ්‍යය

 ඡායාරූපය:

හැරවුම් ලක්ෂ්‍යය

ජීවිතේ කියන්නේ ගමනක්. ගමනක් යන්නේ මාවත් දිගේ. ඉතින් මෙහෙම යන ජීවන ගමනට අපිට හරි කෙළින් මාවත් ලැබෙන්නේ නැහැ. කන්දක් නැඟලා පල්ලමක් බැහැලා, ඇළ දොළ ගංඟා පහුකරගෙන යන්න තියෙන ගමනක්. අධිවේගී මාර්ග වගේම දුර්ග මාර්ගත් අපට හමුවෙනවා. ඉතින් අපේ ජීවන ගමනත් මේ විදියටම විටෙක සුමටවත් තවත් කලෙක හරිම කර්කශ ගමනකත් යෙදෙනවා.

පාර පුරුදුනම් යන එන ගමන ඇස් පියාගෙන වුණත් යන්න පුළුවන්. එහෙම වුණාට කවදකහරි අපිට නුපුරුදු පාරක යන්න සිද්ධවෙනවා. පාසලෙන් විශ්වවිද්‍යාලයට, විශ්වවිද්‍යාලයෙන් රැකියාවකට එහෙමත් නැත්නම් රැකියා ස්ථානයෙන් වෙනත් තැනකට වගේ විදියට අපේ සුපුරුදු ගමන තවත් නුපුරුදු මාවතකට හරවන්න සිදුවෙනවා. අපි හැමෝම කැමති, පුරුදු පාරේ පියමන් කරන්න. වෙනස් වෙන්න වෙනස් පාරක යන්න අමාරුයි කියලා හිතට තදින් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් කොහොමද මෙහෙම දැනෙන වෙනස හසුරුවා ගන්නේ කියලා හරි අවබෝධයෙන් හිටියොතින් අපිට ඉන් විපුල ඵල නෙළාගන්න පුළුවන්.

ඇත්තෙන්ම මෙහෙම වෙනස් වෙන්න තියෙන අකමැත්තට කියන්නේ අවස්ථිතිය කියලා. පවතින ස්වභාවය වෙනස් කරන්න අකමැති හෝ අපහසු අයගේ අවස්ථිතිය වැඩියි. අවස්ථිතිය වැඩි අය වෙනසකට එරෙහිව ඔවුන්ගේ ඇතුළාන්තයේ තියෙන කැමැත්ත මේ විදියට එළියට දානවා.

"මේ කරන් ඉන්න විදිය හොඳයි"

"ඉන්න තත්වේ හැටියට අවදානමක් ගන්න අමාරුයි."

"නොදන්න කෙරුවාවට ගිහිල්ලා වරිගේ නහගන්න බැහැ"

අන්තිමේ කාල ඇඳලා ඉන්න තියෙන පෙන්ෂන් එකටත් තට්ටුවෙයි" යනාදී ලෙස විවිධ හේතු විදියට එළියට එන්නේ මේ අකමැත්තයි.

"යමෙක් ඔබට පුදුමාකාර අවස්ථාවක් දුන්නොත්, එය ඔබට කල නොහැකියැයි පසුබට නොවී භාරගන්න. පසුව එය කළ හැකි ආකාරය ඔබ අපූරුවට ඉගෙන ගන්නවා සත්තයි" වර්ජින් සමූහයේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් වරෙක ප්‍රකාශ කළෙත්, වෙනසකට තියෙන අකමැත්ත ජය ගැනීමේ වටිනාකමයි.

ගමන වෙනස් කරන්න සිදුවෙන තැනට කියන්නේ හැරවුම් ලක්ෂ්‍යය කියලා. අපි කාගෙත් ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යයන් තියෙනවා. සමහරවිට කිහිපයක්. සමහර පාරවල් අපිට මඟහැරිල තියෙන්නෙත් අපේ නොසැලකිල්ල හින්දයි. එකට ගමනක් ඇවිත් මෙහෙම හැරවුම් ලක්ෂ්‍යයකින් තමන්ගේ ජීවන ගමන වෙනස් කරගෙන ඉන්න මිතුරන් ඔබට ඇති. විමසා බැලුවහොත් ඔවුන් සියල්ලන්ම වෙනසක් බාරගන්න හරිම ආශාවකින් ඉන්න අය කියලා ඔබටම දැනගන්න පුළුවන්.

හැරවුම් ලක්ෂ්‍යයෙන් ඔබේ ගමන හරවන්න නම් නොසංසිඳෙන ආශාවක් සහ උනන්දුවක් තිබිය යුතුයි. ඒ වගේම යමක් උකහාගන්න, අලුත් දෙයක් ඉගෙනගන්න කැපකිරීමක් තිබිය යුතුයි.

හැරවුම් ලක්ෂ්‍යයක් කියන්නේ කෙටි මාර්ගයක් ලෙස ඔබ මෙතැනදී වරදවා වටහා නොගත යුතුයි. මොකද අපි කෙටි මං හොයන්න හරිම උනන්දුයි. අනෙක් මාවත්වලට වඩා දුර ගමනක් නිරුප්‍රද්‍රිතව යන්නත්, ස්ථාවර වෙන්නත් ඉඩක් ලැබෙනවා.

මිනිස්සුන්ට නොසිතූ මොහොතක එල්ලවෙන තර්ජනයකින්, පීඩනයකින් ඔහුගේ ගමනේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් කරන්නත් පුළුවන්. මේ කියන්න යන්නේ ලෝකයේ ගමන වෙනස් කළ ජීවිතයක හැරවුම් ලක්ෂ්‍යයක සනිටුහන්වීමයි.

1893 මැයි මාසයේ දිනෙක දකුණු අප්‍රිකාවේ දුම්රියක තමයි මේ සිදුවීම ඇති වුණේ. දුම්රියේ පළමුවන පංතියේ අසුනක සුවපහසු විදියට තරුණයෙක් අසුන්ගෙන සිටියේ තමන්ගෙ ගමනාන්තය වන ප්‍රිටෝරියා නගරයට යන්න.

"ඒයි කල්ලා උඹ කොහේද මේ යන්නේ" සුදු ජාතිකයෙක් ඔහු අසලට ඇවිල්ලා ප්‍රශ්න කළා.

"මම ප්‍රිටෝරියාවලට යන්නේ" තරුණයා ඉවසිලිවන්තව පිළිතුරු දුන්නා.

"උඹලට මේවයේ යන්න බැහැ. පලයන් යන්න බැහැලා"සුද්දා තර්ජනය කරන්න පටන් ගත්තා.

"මහත්තයා. මම නීතිඥයෙක්. මට පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක් තියෙනවා" තරුණයා තමන්ගේ ටිකට් පත පෙන්නුවා.

"මේව උඹලා වගේ අයට යන්න නෙවේ තියෙන්නේ. පලයන් පස්සේ ගැල් රියට." සුද්දා මොරදුන්නා.

අවසානයේ මේ තරුණයාව දුම්රියෙන් එළියට ඇදලා දාන්න තරම් සාහසික සිදුවීමක් දක්වා එය දුර ඇදිලා ගියා.

සීතලේ ගැහෙමින් තමන්ගේ සූට්කේසයත් එක්කාසු කරගෙන ඉන්න සිදුවුණු එදින රාත්‍රිය තමන්ගේ ජීවිතය වෙනස්කරපු මහා සිදුවීම කියලයි ඒ තරුණයා සිහිපත් කළේ.

ඒ වෙන කිසිවෙක් නොවෙයි. තරුණ නීතිඥයෙක් ලෙසින් දකුණු අප්‍රිකාවේ රැකියාවකට ගියපු මහත්මා ගාන්ධි මුහුණ දීපු අනපේක්ෂිත සිදුවීම. ඔහු එදා තමන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තමන්ට එල්ලවුණු පීඩනය සහ තර්ජනය ඔස්සේ සනිටුහන් කළ බව පසුව සඳහන් කරනවා.

බය නැතුව ධෛර්යයෙන් යුතුව අලුත් පාරක් සනිටුහන් කරන්න උත්සාහ කරන්න. හැරවුම් ලක්ෂ්‍යය ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කරන්න තරම් එය ප්‍රබල වේවි!!!

[මේනක මදුජිත්]

 

මාතෘකා