අපේ හාන්දුරුවනේ!

 ඡායාරූපය:

අපේ හාන්දුරුවනේ!

අපේ නිමලය කාලෙකට පස්සෙ ආයුද පොලිස්සියට පෙන්නන්ඩ යන හොරෙක් වගේ මිදුල අයිනෙ බෝමී පඳුරෙ පොතු ගලෝනවා. කොයි කොයි අංසවල උරච්චි කොරන්ඩද කියල දෙයියො තමයි දන්නෙ.

"මොකෝ මලේ හරකෙක්වත් ඇන්නද? "

මං ඇහුවා.

"හරකෙක් ඇන්නනං ඉවසිහැකි. ගුරෙක්නෙ ඇනල තියෙන්නෙ. ඒකයි දුක."

"දෙයි හාන්දුරුවනේ..! අං තියන ගුරුවරුත් ඉන්නව කියල අදමයි ඇහුවෙ. කොතෙන්ඩද මලේ ඇන්නෙ?"

මං නිමලෙගෙ සරීරාංග පරීක්සා කොරන්ඩ සූජානං වෙද්දිං හුප් ගාගෙන පස්සට පැන්නා ආයිබොවන්ඩ.

"මට නෙමේ. අපේ බාල කොලුවගෙ හොම්බට ඇනලා තියෙන්නෙ"

"හා යමල්ල එහෙනං බලන්ඩ"

නිමලෙ ඉස්සර වුණා. මං පස්සෙං වැටුණා. බල්ලා මයෙ පස්සෙං.

හද්දෙයියනේ! කොලුවගෙ කම්මුල ආප්පයක් වාගෙ පිපිලා.

"කොලුවට ඉස්කෝලෙං රචනයක් ලියන්ඩ දීලා. ඒක බලලා තමයි හොම්බට ඇනලා තියෙන්නෙ."

"මොකද්ද මලේ මාත්තුරුකාව"

"අපේ හාන්දුරුවෝ"

"අම්මට සිරිගජ! ඒකනං ගුටිකන මාත්තුරුකාවක්ම තමා. කෝ ගනිල්ල බලන්ඩ ඕක"

නිමලෙගෙ මායියා චීත්ත පොටෙං කඳුළුයි හොටුයි සූර සූරා රචනා පොත ගෙනත් දුන්නා. අල්ලන්ඩත් මහ මොකද්ද වාගේ... බලමු හෙනං කියෝලා...

අපේ හාන්දුරුවෝ...

හාන්දුරුවෝ යනු එක්කෙනෙක් හිටියත් දෙකක් හිටියත් බහුවචනයකි. හාන්දුරුවෝ කියන වචනේ ඇහෙනකොටම අපෙ අම්මා මිදුල අතු ගගා හිටයත් ඉදල අතෑරලා අද්දෙක උස්සා සාදු කියන කියන හින්දා ඉදල දොහ් ගා බිම වැටෙයි. ටී.වී. එකේ බණ කියන බව මාත් ගෙදර බල්ලාත් දැනගන්නේ ඉදල, පොල් බෑය හෝ මෝල් ගහ බිම වැටෙන සද්දෙනි. එවිටම බල්ලා ටී.වී. එක ළඟට ගොස් කන් දෙක අටවා ඉඳගෙන බණ අහයි. වෙන මොන බල්ලෙක්වත් ඒ බණ නාහයි. ඒ හින්දා මේ විදියට ගියොත් රටේ බල්ලන් ළඟදිම සෝවහන් වනු ඇත.

හාමුදුරුවරු වර්ග කීපයකි.

ඒ මෙසේය...

පන්සලේ හාන්දුරුවෝ, මන්තිරි හාන්දුරුවෝ, දොස්තර හාන්දුරුවෝ, නඩුකාර හාන්දුරුවෝ, ඒජන්ත හාන්දුරුවෝ, බුදු හාන්දුරුවෝ වසයෙනි.

බුදු හාන්දුරුවන්ටත් වඩා අනෙක් හාන්දුරුවරුන්ට රටේ පිළිගැනීමක් ඇත. සල්ලි බාගෙ ඇත.

මන්තිරි හාන්දුරුවෝ වාහන පර්මිට් විකුණා බවුන් වඩා එර්දියෙන් පාර්ලිමේන්තුවට වැඩම කොට රට බෙදන වියස්තාව හා බටහිර උගුල් ගැන දෙසති. ඉන් පසු රූපවාහිනියට වැඩම කොට පිරිත් බලෙන් වහින හැටිත් රණවිරුවන් හිරේ දමන හැටිත් දෙසති.

ඒජන්ත හාන්දුරුවරු හිටියේ ඒ කාලේය.

හිටියත් මේ කාලේ දොස්තර හාන්දුරුවරුන්ට තරම් තැනන් නැත.

දොස්තර හාන්දුරුවරුන්ගේ රස්සාව ඉස්ටැයික් කිරීමය. ඉඳහිට පොරතිකාරද කරති. ලෙඩ්ඩු ඉස්පිරිතාලේ රස්තියාදු වී දොස්තර හාන්දුරුවන්ගේ මෑණින්නාන්සේලා සිහිපත් කොරමින් කුස්වල හාන්දුරුවන්ගෙන් බඩේ අමාරුවට බෙල්ලේ ගාන තයිලේ අරගෙන පානදුරේ විජයවංස හාන්දුරුවන්ගෙන් රහස් වෙදකං අහගෙන කිරිබත්ගොඩ හාන්දුරුවන්ගේ ඒ අමා මහ නිවන්සුව සී.ඩී අරගෙන කෙඳිරිගාමින් ගෙදර යති.

අද අපේ රටේ සැදැහැවත් අහිංසක බුද්ධිමත් ජනතාවගේ වැඩිම ආදරය දිනාගෙන ඇත්තේ නඩුකාර හාන්දුරුවෝය. කොටිම්ම දොස්තර හාන්දුරුවන්ටත් කරන්ඩ බැරි වැඩ නඩුකාර හාන්දුරුවෝ කරන සේක.

ඒ ආණ්ඩු කාලෙ පොලිස්සියට ආයුද පෙන්නන්ඩ ගෙහුං හුටපටයක් වෙලා මැරිච්ච මැරවර උත්තමයන්ගේ මරණය සිදුවූයේ හුස්ම හිරවීමකින්ද නැද්ද යන විත්තිය හරියටම කීවේ මිනිය ළඟටම ගොස් පරීක්සා කර බැලූ නඩුකාර හාන්දුරුවන් විසිනි. ඊටත් වැඩිය උන්නාන්සේලා මොනවා කරන්ඩද? දැං ආයෙත් උන්නාසේලාට මිනී ලැබෙන්නට පටන් ගෙන ඇත්තේ ආයුද පෙන්නන්නට ගොස් මාංචු පිටින් වතුරට පනින පිස්සු හුටංලා නිසාය. මෙතනදී අපෙන්ද ලොකු වරදක් වී තිබේ.

රට පුරා ආයුද හොයමින් රට ජාතිය බේරාගන්නා පොලිස් රණවිරුවන්ට හාන්දුරුවෝ යැයි නොකීමය. කවදාහරි බටහිර කුමන්ත්‍රණයක් වුණොත් හෙම ඔය විදියට හොයා ගන්නා ආයුදඔලිං ඇමරිකාවට වුණත් රෙඹ යන්ඩ දීමේ දස්සකම ඇත්තේ පොලිස් රණවිරුවන්ටය.

ඒ හින්දා ඕ.අයි.සී. හාන්දුරුවෝ, සාජන් හාන්දුරුවෝ, ඩී.අයි.ජී හාන්දුරුවෝ යනුවෙන් අමතන්න පටන්ගන්නැයි බාවනාවෙන් මාර්ගපල ලැබ සිටින පූජිත් ජයසුන්දර පොලිස්පති හාන්දුරුවන්ට පුංචි හිතෙන් යෝජනා කරමි. බුදු සසුන බැබලේවා! සාදු!සාදු!සාදු!

කොලුවගෙ රචනාව කියද්දියි මට තේරුණේ සිස්සත්තෙන් පේල් වෙච්ච කාරණේ. ඔය විදියෙ උත්තර තමා ලියන්ඩ ඇත්තෙ..නිමලයයි මායි රටේ තොටේ විත්ති කතා කොරද්දි කොල්ලා කට ඇරං බලං ඉන්නවා. කොල්ලා ගෙටගං කීවට කවමදාවත් නිමලෙගෙ මායියා ඒක කෙරුවෙ නෑ. ඒ අම්මණ්ඩි හිතාන ඉන්නෙ කෙල්ල ගෙටගත්තම ඇති කියලා....කාට කියන්ඩද ඉතිං මෙව්වා...

මාතෘකා