අපිටත් යන්න දෙන්න!

 ඡායාරූපය:

අපිටත් යන්න දෙන්න!

මෑතකදි අන්තර්ජාලයේ දැක්ක කතාවක් මේ දවස් කිහිපයේම ඔළුවේ තදින් වැඩ කරනවා. ඒ කතාව මෙහෙමයි.

දවසක් කාන්තාවන් සහ පුරුෂයන් දෙගොල්ලොම ඉන්න සම්මන්ත්‍රණයකදී දේශකයෙක් මෙහෙම ප්‍රශ්නයක් අහනවා.

" මට දැන් අපේ පුරුෂ පාර්ශ්වයේ අය පමණක් මේකට පිළිතුරු දෙන්න. ඔබ පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරද්දි හෝ ඕනෑම විටක ඔබට සිද්ධ වෙන ලිංගික හිරිහැර වළක්වගන්න අනුගමනය කරන පියවරයන් මොනවද?"

මුලින්ම බොහෝමයක් පිරිමි හිනාවෙනවා. පසුව ඔවුන් කල්පනා කරනවා. කට සැර විහිළුවට බර එක් තරුණයෙක් කියනවා "කරන දෙයක් අහුනොවෙන්න කරන්න පරිස්සම් වෙනවා" කියලා. සභාවට හිනා යනවා. අදාළ පාර්ශ්වයෙන් පිළිතුරු දෙකක් වගේ ලැබෙනවා.

"කල්පනාවෙන් ඉන්නවා"

"වෙන තැනකට යනවා ගොඩක් කරදරනම්"

ඔවුන්ට ස්තූති කරලා දේශක මහත්තයා ඒ ප්‍රශ්නයම කාන්තාවන්ට යොමු කරනවා. අධික වේගයකින් ඔහුට පිළිතුරු ලැබෙනවා.

"මුළු වෙලාවම අවධානයෙන් ඉන්නවා"

"හයියෙන් බනිනවා"

"අාය කටුවකින් අනිනවා"

"කුඩේ ළඟ තියාගෙන ඉන්නෙම ඕකට"

"වැලමිටෙන් ගහනවා"

"මුකුත් කරගන්න අමාරුයි. අප්පිරියාවට ඇඬෙනවා"

"බැහැලා වෙන බස් එකකට නඟිනවා. ඒ තරම් එපා වෙලා ඉන්නේ."

"හැමෝටම ඇහෙන්න කෑ ගහනවා. ලැජ්ජාවට උන් යනවා එතකොට"

"මම ටක්ගාලා ෆොටෝ එකක් ගහගන්නවා එහෙම ලෙඩ්ඩුන්ගේ. උන් බයයි"

මේ විදිහට පුදුම වේගයකින් ඔහුට පිළිතුරු ලැබෙනවා. ශාලාවේ හිටපු පිරිමින් කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා.... කතාව ඔහොමයි.

විශ්වවිද්‍යාල ගමනේ අවසාන හරියේ ඉන්න නිසා දැන් රැකියාවක් කරමින් ඉන්නේ. ඒ නිසා උදේ හවස සෙනඟ පිරුණු බස් සහ කෝච්චිවල ගමන් කරන එක අනිවාර්යයි. පළමු සතියේ ඉඳන්ම පුදුමාකාර තරම් අප්‍රසන්න බස් සහ කෝච්චි අත්දැකීම්වලට මුහුණ දෙන්න වුණ නිසාම මේ කතාව අන්තර්ජාලයේ දැක්ක ගමන් පුදුමාකාර තදින් ඔළුවට කා වැදුණා. ඒ එක්කම මෑතකදි මගේ යෙහෙළියකට මුහුණ දෙන්න වුණු අත්දැකීමක් මතක් වුණා.

ඇයට සෙනඟ පිරුණු දුම්රියේදී ඇය අසලම හිටපු පිරිමියා අනවශ්‍ය විදිහට ඇගේ ඇඟට තෙරපෙන බව දැනුනත් සෙනඟ පිරුණු දුම්රියක සාමාන්‍ය ස්වභාවය මේක වෙන්න ඇතී කියලා හිතලා ඇය එය දරාගෙන තිබුණා. ඒත් වෙලාව ගත වෙද්දි මේක තමන්ගේ පෞද්ගලික නිදන කාමරයේදි පෙන්නන්න ඕන හැසිරීමක් මිසක් සාමාන්‍ය හැසිරීමක් නෙමෙයි කියලා ඇයට තේරුම් ගිහින් තිබුණා. ඇය මේ බව ඔහුට ඉතා හෙමින් කිව්වම ඔහු බොහෝම උජාරුවට හඬ උස් කරලා මෙහෙම උත්තර දීලා තිබ්බා.

"අනේ මේ අපි හොඳ වැදගත් මිනිස්සු. අනික එහෙම දෙයක් කරන්න ඕනේ නම් සල්ලි ගෙවලම හොඳ එක්කෙනෙක් ළඟට යනවනේ. තමුසෙලා වගේ 2.50 වැඳිරියොන්ගෙන් ආතල් ගන්න එන්නේ නැහැ අපි"

ඇයගේ ස්වභාවයෙන්ම ඇය බොහෝම හෙමින් කතා කරන අහිංසක චරිතයක්. ඇය ඇස්වල කඳුළු පුරවන් උත්තර දීලා තිබුණා ඔහුට මෙහෙම.

"වැඳිරියක් හරි 2.50 හරි වුණාට කමක් නැහැ. මට මගේ අවයව පාලනය කරගන්න පුළුවන්. මහා වැදගත් කියන ඔයාට ඒකවත් කරගන්න බැහැ මදිවට ඒ අවයව අනුන්ගේ ඇඟවල්වල අතුල්ලන්න එනවා. ඔයාගේ වැදගත්කම ඕක නම් ඔයාටම හොඳයි ඕක"

එහෙම කියලා ඇය දුම්රියෙන් බැහැලා ඊළඟ දුම්රිය එනකන් අඬලා තිබුණා. ඇය අදටත් කියන්නේ ඒ මොහොතේ ඇයට දැනුණු ලැජ්ජාව සහ අපහසුතාව ඇයව පුදුමාකාර තරම් බය කරා කියලයි. පෞද්ගලිකව ඒ බයම මම දැන් අත්විඳිමින් ඉන්නවා. මේ වගේ සිද්ධිවලට කොච්චර වාරයක් මුහුණ දෙන්න වුණාද කියනවනම් දැන් සෙනඟ පිරුණු කෝච්චියක ඇඟට තෙරපෙන සාමාන්‍ය මනුස්සයෙක් දිහා වුණත් සැකයකින් තොරව බලන්න හරිම අමාරුයි.

සෙනඟ පිරුණු බස් එකකට නඟිද්දි හිතේ තියෙන එකම බලාපොරොත්තුව "අනේ කොහොම හරි කරදරයක් නොවී බස් එකේ යන්න ඉඩක් ලැබෙන්න" කියන එක. ඒක පෙරළා ආපිට අසහනයෙන් පෙළෙන කෙනෙක්ට බනින්න බැරිකමක් නෙමෙයි. දිගින් දිගටම එවැනි සිදුවීම්වලට මුහුණ දෙන්න වීමෙන් දැනෙන අපුලක්. තෙහෙට්ටුවක්.

මේකේ අසරණභාවය උපරිමයට දැනෙන්නේ සෙනඟ නිසාම ඇඟට තෙරපෙන අහිංසක මිනිස්සුන්ව පවා වෙන් කරගන්න අපහසු බව මනසට දැනෙද්දි ඒ දැනෙන "රෝගීභාවය" අතිශයින් වේදනාකාරී නිසා. සත්තකින්ම පුදුමාකාර ලෙස ගැහැනියක් වීම ගැන ඒ මොහොතේ දුක හිතෙනවා. "පාඩුවේ යන මිනිස්සුන්වත් වැරදියට පෙනෙයිද?" කියන බය බොහෝ වෙලාවට අවශ්‍යම මොහොතෙදි අපිව නිහඬ කරවනවා. ගැහැනුන්ගේ විනීතභාවය ගැන දිනපතා හිතන රටක ඉන්න අපි වගේ මිනිස්සුන්ට ගැළපෙන කතාවක් මෑතකදී රංගන ශිල්පිනි, සමනළී ෆොන්සේකා කියලා තිබ්බා.

"විනීත බව යනු ගැහැනියකගේ සායේ දිග පළල නොවේ. සමාජයක් ලෙස අපි එකිනෙකා කෙරෙහි දක්වන ආදරය හා ගෞරවයයි."

ඉතින් එහෙව් ගෞරවයක් පොදු ප්‍රවාහන සේවාවලදිත් අපිට විඳින්නට ලැබේවා කියන එකයි මේ සතියේ පැතුම! ඒ අපි ගැහැනු නිසා නෙමෙයි, අපි හැමෝටම ගෞරවය අයිති නිසා!

සුබ ගමන්!

[ෂෙනු පෙරේරා]

මාතෘකා