ඔක්තෝබර් 15ට පෙර...

 ඡායාරූපය:

ඔක්තෝබර් 15ට පෙර...

වසරකට දින 365කි. අධික අවුරුද්දක් නම් දින 366ක් වේ. විශේෂත්වය නම් මේ සෑම දිනයකටම යම් වැදගත්කමක් හිමි වී තිබීමයි. දිනයේ වැදගත්කම් සඳහා යම් විශේෂ කාරණයක් හෝ සිද්ධියක්, පුද්ගලයෙක් වුවද මුල් විය හැකිය. දිනයේ වැදගත්කම් එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුනෙස්කෝ හෝ යුනිසෙෆ් ආයතන විසින් නම් කරන ලද දිනයක් වේ. දිනයේ වැදගත්කම ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ජාතික වශයෙන් වුවද සැමරීමට හැකිය. ඇතැම් දිනවල එක් දිනකට විවිධ හේතූන් මත වැදගත්කම් කිහිපයක් තිබිය හැකිය.

ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් සෑම දිනයකටම වැදගත්කම්, වටිනාකම් ලබාදී ඇත්තේ ඒ ඒ අවස්ථාවට අනුකූලව සුරක්ෂිතභාවය ඇති කිරීම, අයිතීන් සුරක්ෂිත කිරීම, යළි සිහිපත් කිරීම, පසු විපරමක් ලබා ගැනීම සඳහාය. නමුත් මෙය ජාත්‍යන්තර වශයෙන් සාර්ථක වුවද ජාතික වශයෙන් කොතරම් දුරට වැදගත් වී ඇත්දැයි යන්න ගැටලුකාරී වේ.

මේ මස 15 යනු ජාත්‍යන්තර සුදු සැරයැටි දිනයයි. මේ දිනය තුළ ලෝක දෑත් සේදීමේ දිනය, ලෝක සකසුරුවම් දිනයද සමරයි. එහි වූ දුර්වලතාව නම් වටිනාකම් කිහිපයක් එක් දිනක සැමරීම තුළ කතාබහට ලක්විය යුතුම අංශයක් පිළිබඳ කතාකිරීම වැළකී යාමේ ඉඩකඩ වැඩි වීමය.

සුදුසැරයටි දිනය වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරන අතර අප රට තුළද ජාතික මට්ටමෙන් මෙන්ම දෘශ්‍යාබාධිත තැනැත්තන්ගේ හෝ ආබාධ සහිත වූවන් උදෙසා පවතින සංවිධාන මගින් විවිධ වැඩසටහන් සංවිධානය කරයි. එහෙත් මේ සැමරුම් හුදු සැමරීමකින් පමණක් නතර වේ.

සෑම වසරකම අප්‍රෙල් මස 02 ඔටිසම් පිළිබඳ දැනුවත් වීමේ ලෝක දිනය ලෙසත්, දෙසැම්බර් 03 ආබාධ සහිත වූවන්ගේ ජාත්‍යන්තර දිනය වශයෙන්ද සමරයි. මේ සෑම දිනයක්ම අප රට තුළද ජාතික වශයෙන් මෙන්ම ඒ ඒ දිනයේ වටිනාකම අනුව බලපාන කණ්ඩායම විසින්ද සැලසුම් කර සැමරීම මේ වන විට සාමාන්‍ය දෙයකි. පිළිගැනීම්, නැටුම්, ගැයුම් සමරු ඵලකවලින් සමන්විත එවන් දින සෑම වසරක් පාසා උත්සවශ්‍රීයෙන් සැමරීම සුලබය.

ආබාධ සහිත වූවන් තමන් උදෙසා වූ දිනය සමරන්නේ එදිනට හෝ තමන්ට පවතින බාධා, ගැටලු පිළිබඳව රජය හා සමාජය දැනුවත් කිරීමටය. ජාත්‍යන්තර වශයෙන් ගත් කළ විවිධ හැකියා සහිත පුද්ගලයන් දිනා ගත් දෑ බොහෝය. ඔවුන් තම අයිතීන් සුරක්ෂිත කර ගැනීමට බොහෝ අවස්ථාවල මූලික අඩිතාලම දමා ඇත්තේ ජාත්‍යන්තර මට්ටමින්ය. ඉදින් ජාත්‍යන්තර වශයෙන් ගත් විට එම දින සැමරීම සාර්ථක මෙන්ම ඵලදායී වේ.

එහෙත් ජාතික වශයෙන් ගත් විට ලාංකේය ආබාධ සහිත වූවන්ට ගැටලුනම් අපමණය. ඔවුන් පිළිබඳව සමස්ථයක් ලෙස සමාජ දැනුවත් බව හා සැලකිල්ල ඉතා අවමය. ලාංකේය ආබාධ සහිත තැනැත්තන් යම් පමණක හෝ අයිතීන් ලබාගෙන ඇත්තේ වසර ගණනාවක් පුරාවට කළ කැපවීම මතය. නමුත් ඔවුන්ට ලැබී ඇති ප්‍රමාණයට වඩා ලැබිය යුතුය.

ආබාධිත පුද්ගලයන් හට පවතින ගැටලු රාශියකි. කළු අකුරු ඔස්සේ අප එම ගැටලු අකුරු කරන්නේද රජය ඇතුළු වගකීම් ලත් නිලධාරීන් හා සමස්ත සමාජයම දැනුවත් කිරීම උදෙසාය. එය ඵලදායී බව හැඟී යන විට සිතට සතුටක් දැනෙන්නේ ලාංකේය ආබාධ සහිත පුද්ගලයන්ට එයින් අනාගතයේදී හෝ යහපතක් ඉටුවේයැයි යන හැඟීමෙනි.

ඔවුන්ට අධ්‍යාපනික, ආර්ථික, දේශපාලනික, සමාජීය වශයෙන් විවිධ ගැටළු පවතී. රටේ පුරවැසියෙක් වුවත් බැංකු ගිණුමක් තනිව ඇරඹීමට තවමත් හැකියාවක් නැත. රැකියා අවස්ථා ලබා ගැනිම ඉතා දුෂ්කර වේ. ප්‍රවේශ පහසුකම් පවතින්නේ ඉතා පහත් මට්ටමකය. විවිධ ආයතන මගින් ලබාදෙන රක්ෂණ ලබාගැනීමේ පහසුවක් හෝ ඔවුන්ට නැත. අප ආබාධිත තැනැත්තන් වෙනුවෙන් පවතින විශේෂ දිනවලදී කතාබහට ලක්කළ යුත්තේ මේ ගැටලු පිළිබඳවය. පොරොන්දු රැසක් දී, සිහිවටනයක්, ආහාර වේලක් ලබාදීමට වඩා එය ඵලදායී සහ ගැටලුවලට දීර්ඝකාලීනව පිළිතුරු ලබාගැනිමට මං සලසා ගැනීමක් විය යුතුය.

ලොව පුරා පවතින ශෝකජනක සත්‍යය නම් සමාජයේ විවිධ පීඩා විදින, අසරණ මිනිසුන් අතකොළුවක් කරගැනීමය. ලාංකේය ආබාධ සහිත තැනැත්තන් එවන් තත්ත්වයකට පත් නොකර ඔවුනගේ ගැටලු පිළිබඳව සානුකම්පිතව දෑස් හැර බලා පිළියම් යෙදීමට ගත් කාලය ප්‍රමාණයටත් වඩා වැඩි බැවින් එළැඹෙන 15 වන දිනට නියමිත සුදුසැරයැටි දිනයේදී හෝ සුබදායී වෙනසක් වනු ඇතැයි ලාංකේය ආබාධ සහිත පුද්ගලයන්, විශේෂයෙන් දෘශ්‍යාබාධිත තැනැත්තන් බලා හිඳී. රටේ මේ වන විට විවිධ පුද්ගල‍ෙයා් විවිධ හේතු මුල් කරගෙන උද්ඝෝෂණ වැඩවර්ජන, පෙළපාළි පවත්වති. තම ආබාධිත තත්ත්වය මෙන්ම තමන් එදිනෙදා ජීවිතය තුළ මුහුණ දෙන ගැටලුද නිහඬව දරා ගන්නා මේ දෘශ්‍යාබාධිත සහ වෙනත් ආබාධ සහිත තැනැත්තන් ආරක්ෂා කිරීමට රජය පෙරට වඩා මැදිහත් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා