බඩගිනි සැඟවීමෙන් නියං රකුසු එළවීමේ කලාව

 ඡායාරූපය:

බඩගිනි සැඟවීමෙන් නියං රකුසු එළවීමේ කලාව

ගෙමැද්දෙහි එළන ලද පැදුරෙහි බත් පිඟන් දෙකකි. මිරිස් වතුරෙන් පිසූ ලෝලු දලු වෑංජනය සමග අල බැදුමක්ද නාඩු හාල් බත් සමඟ එහි විය.

අජිත් සෙනෙවිරත්නත් මමත් පැදුරෙහි වාඩි වී රාත්‍රී ආහාරය ගැනීමට සූදානම් වීමු. එනිවසෙහි රාත්‍රී ආහාරයට සූදානම් කර තිබුණේ දිවා කල අප එහි පැමිණෙන විට රැගෙන ආ සහල්වලින් හා අලවලින් ස්වල්පය බැගින් බව අප දෙදෙනාටම වැටහිණ. අප එහි නොපැමිණියා නම් බොහෝ විට ඔවුන්ගේ රාත්‍රී ආහාරය විය හැකිව තිබුණේ ලෝලු දලු වෑංජනය පමණකි. නිවැසියන් කුස්සියට වී ලෝලු දලු තනනු අපි දුටුවෙමු. වසර විස්සකට පමණ පෙර වූ සිදුවීමක් මෙසේ සිහිපත් වූයේ නියං සාය දැඩිවීමේ ප්‍රතිඵලයක් හැටියට මුරුංගා කොළ අහරට ගන්නා දරුපවුලක් පිළිබඳ සරත් මනුලවික්‍රම ලේඛකයා ලියූ වර්තාවක් විවාදාපන්න තත්ත්වයක් නිර්මාණය කිරීමය.

මාධ්‍යවේදී අජිත් සෙනෙවිරත්නත් මමත් මීට මුහුණ දුන්නේ වත්මනෙහි දිවයිනේ ඇතැම් ප්‍රදේශ ආක්‍රමණය කර ඇති නියං සායට සමාන කළ හැකි තත්ත්වයක් වාර්තා කිරීම සඳහා ඇහැටුවැවට ගිය ගමනේදීය. නියඟය දිගු කලක් බලපවත්වන ප්‍රදේශවල මෙබඳු සිදුවීම් ආගන්තුක නොවේ.

"ගොවි රජවරුත් මේ දවස්වල රජකම පැත්තක තියලා ගමෙන් ගිහින් නගරේ මේසන් බාස්ලට අවැඩ දෙනවා."

මෙසේ පැවසුවේ මහව පදිංචි ප්‍රකට කවියකු වන පොඩිරත්න අඟමලේ ය. මහවිලවිචිය ප්‍රදේශයේ කරවිල පමණක් අහරට ගන්නට සිදු වූ දරුපවුලක් ගැන වාර්තා වූයේ මීට කලකට පෙරය. එහිදීද ආන්දෝලනයක් ඇති විය. පුවත්පත් ලේඛකයා පතුරු ගැසීමටද ඇතැම්හු උත්සාහ කළහ. එයින් සසලවූ හදැති උපුල් සේනාධිරගේ කවියා ඒ සිදුවීම විෂය කරගනිමින් අගනා කවියක්ද නිර්මාණය කළේය.

කීර්තිමත් ලේඛකයකු වන එඩ්මන්ඩ් ජයසූරිය 80 දශකයෙහි පමණ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළේය. නියඟය දැඩිව බලපවත්වන කාලවල නියං සහනාධාර ලබා දීමද ආධාර ලබන්නන් ඒ වෙනුවෙන් පාරවල් සුද්ද කිරීම හා වැව්වල කට්ටි කැපීම යනාදී පොදු වැඩවල යෙදවීමද සම්ප්‍රදායකි.

"නියං කෙටීම"යනුවෙන් හඳුන්වන්නේ එයයි.

ප්‍රාදේශීය ලේකම් හෝ දිස්ත්‍රික් ලේකම් මෙය අධීක්ෂණය කරයි. දිනක් එඩ්මන්ඩ් ජයසූරිය මහතා නියං කෙටීම අධීක්ෂණයට ගියේය. එක් පැල්පතක ළිපෙහි සුදු පැහැති දියරයක් පෙණ දමමින් තිබෙනු ඔහු දුටුවේය. නිවෙස් හිමියා හෘද රෝගියකු බැවින් බිම වැතිර සිටියේය. එහි සිටි යෞවනියගෙන් දැක ගන්නට ලැබුණේ සහනාධාර වශයෙන් ලැබෙන පාන් පිටිවලින් ස්වල්පයක් වතුරෙන් තම්බා අහරට ගෙන පිටි ස්වල්පය අරපරෙස්සම් කරගන්නා බවය.එයින් සසල හදැතිව ඔහු ලියූ ලිපියක් "වැව් බැඳි රාජ්‍යයේ සවාරියක්"කෘතියෙහි අන්තර්ගත වේ. මෙබඳු සිදුවීම් නිරීක්ෂණය කිරීම සහ සුදුසු පියවර ගැනීම රාජ උදහසට හේතුවක් නොවේ. ඔහු රෝහලට කතා කර හෘදයාබාධයෙන් පෙළෙන වයෝවෘද්ධ මිනිසාට උදවු කළේ අඳුරු වෙමින් පැවති යෞවනියකගේ ජීවිතයට කුඩා ආලෝක කදම්බයක්ද වෙමිනි.

1990 දශකයෙහි මුල පොලොන්නරුව ප්‍රදේශයෙහි වගා ණය ප්‍රශ්නය නිසා ගොවීන් දිවිනසා ගන්නා විට එහි සැබෑ තතු වාර්තා කිරීමට අපි උත්සාහ කළෙමු.

"ගොවීන් වහ බොන්නේ ජොලියට"එක් ඇමතිවරයෙක් කීවේය. ජොලියට වහ බොන කතාව නැඟලා ගියේය. 94 ආණ්ඩු පෙරළියෙන් කලකට පසුව වගා ණය ගැටලුව පිළිබඳ පසුවිපරම් කිරීමේදී අපට පෙනුණේ ගැටලුව තව සංකීර්ණ වී ඇති බවය.

"දිවි නහගන්න තරම් හේතුවක් නෑ." යනුවෙන් ජොලියට වහ බීම "අප්ඩේට්" වූයේ අලුත් ඇමතිවරුන් අතිනි.

රටේ මිනිස්සුන්ගේ බැරි අමාරුකම් කතා බහට ලක් වීම මදි පුංචිකමක් යැයි ඇතැම් දේශපාලකයෝ සිතති. දුරාතීතයේ ඇතැම් රජවරු දුප්පතුන් ඇතුළු නුවරින් පිටි නුවරට යැවූහ. එවිට එළියේ දුක් ගැනවිලි ඇතුළට නොදැනේ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා වත්මන් ලෝක ප්‍රජාව එවැනි දුෂ්ටකම් අනුමත නොකරයි.

නියඟය හා ගංවතුර ඇතිවන්නේ සොබාදහමේ නියාමයන්ට අනුවය. මිනිස් ක්‍රියාකාරකම්ද බලපාන බව වෙනම කතාවකි.

සුභාෂිතයෙහි එක් කවියක අරුත මෙසේය. "වැස්ස හා සුළඟ සමානව පවත්නා කල කෙත්වතු සරුවට වැවෙන්නාක් මෙන් සුදුසු නුවණ ඇති රජවරුන් හා මැතිවරුන් නිසා ලෝක සත්වයා ආරක්ෂා වෙයි. ඒ මහත් ගින්න හා සුළඟ නිසා වනය දැවෙන්නාක් මෙන් නරක ගති පැවතුම් ඇති රජවරුන් හා දුෂ්ට ඇමතිවරුන් නිසා හැම තැනම විනාශයට පත් වේ."

මෙය අඩ ඇත්තකි.

දැහැමි රජවරුන්ගේ කාලවලද සොබා විපත් පැමිණේ.

නොදැහැමි රජුන් කලද කලට වැසි වැටී කෙත්වතු සරුවන අවස්ථා තිබේ. දැහැමි රජුන්ගේ ගුණ කී කේවට්ටයන්ගේ කටවල් එවිට අගුල් වැටේ. මිනිස් ක්‍රියාකාරකම් නිසා සොබාදහමේ යම් වෙනස් බලපෑම් ඇති විය හැකි නමුදු මිනිස් ක්‍රියාවලියෙන් බැහැරව සිදුවන සොබාදහමේ ක්‍රියාකාරිත්වයන් වෙනස් කිරීම මොන සක්කරයාටවත් කළ නොහැක. නියඟය නිසා ඇති වන බඩගින්නද එසේය. එදා වේල කෑමට අපහසු ඇති අය සිටින බව වසන් කිරීමෙන් නියඟය නැති නොවේ. එය ප්‍රසිද්ධ වීමෙන් වන සුගතිය නම් කලට වැසි ලැබී කෙත්වතු සරුවන තුරු පීඩාවට පත්වූවන්ට සහන ලබාදීමේ ක්‍රියාවලිය සක්‍රිය කිරීමය.

මුරුංගා කොළ අහරට ගත් දරු පවුලෙන් "කට උත්තර ගැනීම" සඳහා විවිධ වාහන තොග ගණනින් ගිය බව අසන්නට ලැබේ. ගමනේ අරමුණ මුලින් කළ ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධ එකක් ලබාගෙන සරත් මනුල ලේඛකයාට නෙළීම නම් එය දෙකොනින් හිනා යන වැඩකි. මේ සඳහා යන වියදම්වලින්ද එවැනි දරුපවුල්වලට සෑහෙන කලක් වියළි අහර ලබා දී ඒ ගැන ප්‍රසිද්ධියක් ලබා දුන්නා නම් මීට වඩා "දේශපාලන වාසි" ලබාගත හැකිව තිබිණ.

මාතෘකා