නූතන අධ්‍යාපන විකෘතිය

 ඡායාරූපය:

නූතන අධ්‍යාපන විකෘතිය

නමට පමණක් ශීඝ්‍රගාමී හා අර්ධ සුඛෝපභෝගී වූ දුර ගමන් සේවා බස් රථය හෝල්ට් එකෙන් හෝල්ට් එකට නවතමින් ගමනේ යෙදෙයි. මා සිටින්නේ අසුන්ගෙනය. මේ කියන්නට යන්නේ බසයකදී ඇසුණු කතාවකි. කතාව ශිෂ්‍යත්වය සමත් දරුවකුගේ මවක් සහ හතර ශ්‍රේණියේ සිටින දරුවකුගේ මවක් අතරය.

“එතකොට ඔයා කියන්නේ ළමයාගේ විභාගෙට ඉස්කෝලෙන් ලොකු වැඩක් කෙරුණෙ නැද්ද?”

“නෑ අනේ. ඉස්කෝලෙ නිකන් කාලෙ කනවා. ක්ලාස් ගියේ නැත්නම් කොල්ලා ගොඩ යන්නේ නෑ. හැබැයි ඉතිං බබාගෙ ක්ලාස් ටීචර්ගෙ පන්තියටත් යවන්න වෙනවා. පන්තියෙ ළමයි හැමෝම යනවා. යැව්වෙ නැත්නම් ඉස්කෝලෙ ගිහින් ඉවරයි.”

“දරුවා කාගෙද ක්ලාස් ගියේ?”

“පේපර් ක්ලාස් එකට ගියා බණ්ඩාර සර්ගේ, පවිත්‍රා ටීචර්ගේ තියරි ගියා.”

“ඒ දෙන්නා හොඳයිද?”

“හොඳයිද අහන්නේ, හොඳ නැත්නම් අපේ දරුවෝ පාස් වෙයිද? ගණිත ගැටලු විසඳීම් කියලා දෙන්න නම් ඒ සර් හැර වෙන සර් කෙනෙක් ලංකාවේ නෑ. අපිත් අහගෙන ඉන්නවානේ, සර් ඒවා විහිළුවෙන්ම කියලා දෙනවා. අපිටත් අහගෙන ඉන්න ආස හිතෙනවා.”

“නෑ?”

“ඔව් අනේ. ළමයින්ගේ වේගෙ හොඳට හදනවා. ළමයි අතර තරගකාරිත්වය හදනවා. අපි අම්මලා හැමෝම එක්කත් හරිම සුහදව කතා කරනවා. ඔයා අනිවාර්යෙන්ම දරුවා යවන්න පේපර් ක්ලාස් එකට.”

“එතකොට ටීචර්ගේ ක්ලාස් එක?”

“ඒක තියරි. ව්‍යාකරණ, රචනය, එහෙම කරනවා. රචනෙ හොඳට ලියන්න නම් ටීචර්ගේ යන්නම වෙනවා.”

“මට ඔයා ඒ ක්ලාස් දෙක සම්බන්ධ කරලා දෙනවද? ”

“අනිවාර්යෙන්ම මං ඔයාට නම්බර් එක දෙන්නම්. මං කිව්වේ කියලා කතාකරන්න. මං කලින් කියලා තියන්නම්. ”

ගුරුවරු ගැන විස්තර කියනා මව එකී ගුරුවරුන්ගේ අ‍ෙලවි ප්‍රවර්ධන නිලධාරිනියක් වැන්න. ඇය සිය මිතුරිය ඇයට අවැසි පරිදි මෙහෙයවයි. ඇයට අනුව සමත්වූ දරුවන්ගේ ප්‍රතිඵල දරුවන්ගේ නොවේ. තවත් අතකට සමත් වී තිබෙන්නේ ගුරුවරයා මිස දරුවන් නොවේ. ශිෂ්‍යත්ව විභාගයට වෙනම පේපර් ක්ලාස් යැවිය යුතුය. වෙනම තියරි ක්ලාස් යැවිය යුතුය. මවුවරුන්ද, ගුරුවරුන්ද, බලධාරීන්ද එක්ව මෙරට අධ්‍යාපනය තුළ නිර්මාණය කර ඇති විකෘතියේ තරම ඒ අම්මා නිරූපණය කරයි.

පහේ ශිෂ්‍යත්වය දරුවන් තළන පෙළන පීඩාකාරී ක්‍රියාවලියක් වී ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ පාසල්වල සම්පත් සහ පහසුකම්වල පවතින ඉතා දැඩි විෂමතාවය හේතුකොටගෙන පිටිසර ගමක දරුවකුට සම්පත් සුලබ පාසලකට ඇතුළුවීමට ඇති එකම මඟ වන ශිෂ්‍යත්ව විභාගය ජීවිත රැසකට ආලෝකයක් සපයන බව සැබෑය. උදැල්ල සිරවිය යුතුව තිබූ මගේ අතැඟිලි අතර පෑන, හා කීබෝඩය සිර වූයේ ශිෂ්‍යත්ව විභාගය හැරවුම් ලක්ෂ්‍යක් වූ නිසාය.

අපේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ආවේ දෙසැම්බර් මාසයේය. එකී දෙසැම්බරයේ පාසල් නිවාඩුවට ඥාති ගෙදරක ගොස් නිවාඩුව අවසන් වී ආපසු නිවස බලා එමින් සිටියදී බස් නැවතුම්පලේදී හමු වූ පාසලේ ගුරුවරයෙක් විභාගය සමත්වී ඇති බව මට කියනතුරුම, ප්‍රතිඵල ඇවිත් සති ගණනකුත් ගෙවී ගොස් තිබුණද මගේ සාමාර්ථය ගැන කිසිත් දැන නොසිටියෙමි. ටියුෂන් පන්ති ගැන නොදැන සිටි අපේ අමතර පන්තිය තිබුණේ කුඹුරේය, තාත්තාගේ එළවළු කොටුවේය. නිවාඩු දිනවල පැය පහ හයක් ගෙවා දමන මහ ඇළේය. අපේ ඔළුවේ නියුරෝන නියමාකාරයෙන් ප්‍රෝග්‍රෑම් වූයේ සොබාදහමේ රටාවන් මඟින්ය.

ශිෂ්‍යත්වයට ටියුෂන් නොගියද අපි උසස් පෙළට ටියුෂන් ගියෙමු. අප ලද නිදහස් අධ්‍යාපනයේ මහිම කෙසේදයත් උසස් පෙළ සියලු විෂයයන් සඳහා ටියුෂන් යාම අනිවාර්යය. රිවිෂන් යාම එලෙසම අනිවාර්යය වේ. ඒ අනුව අතිශය තරඟකාරී කඩඉමක් තරණය කරන්නට මගපෙන්වන්නෙක් ලෙස ඔහු එකල අපගේ වීරයෙක් විය.

උපකාරක පන්ති හෙවත් ටියුෂන් ව්‍යාපාරයේ සිසු දරුවන් වඩාත් ඛේදනීය ඉරණමකට මුහුණපාන්නේ පාසල් ගුරුවරුන් පිටියට පිවිසි විටය. පාසලේදී කොන් වීම වළක්වා ගැනීම සඳහා මාසිකව මුදල් ගෙවා දරුවා පන්ති යැවීමට සිදුව ඇත. ඈත වැව්ගම්පත්තුවේ එදා වේල සොයාගැනීම දුෂ්කර ගැමි දරුවාටද පාසලේදී ගුරුවරයාගේ හිත හොඳවීම සඳහා මුදල් ගෙවා පන්ති යයි. මෙය පැහැදිලිව අල්ලසකි. පාසලේ සිසුන් පන්තියට සහභාගී නොවන්නේ නම් උග්‍ර මානසික පීඩනයකට ලක් කරයි. ලකුණු අඩු කරයි. රවයි. ඔරවයි. නැති වැරදිවලට වැරදි හදමින් දඬුවම් දෙයි. ගුරුකමට පමණක් නොව මිනිස්කමටද නොගැළපෙන භූමිකාවන්ට පණ දෙමින් ටියුෂන් අල්ලස් දෙන ලෙස බල කරයි. මේ ම්ලේච්ඡ බලපෑමෙන්,මෙරට දරුවන් තුළ ඇතිවන මානසික පීඩනය හා ඇද වැටීම කිසිවකු හෝ අධ්‍යයනය කර නැත.

[කමල් නෙත්මිණි]

මාතෘකා