රූපවාහිනී ගේට්ටුව වැසීම

 ඡායාරූපය:

රූපවාහිනී ගේට්ටුව වැසීම

කඳුරට සේවයේ වැඩ කරන ගමන් රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් ඉදිරිපත් කළේ ඇත්තටම අප්‍රමාණ තෘප්තියකින්. ඒ කළ ගෙවීම ගමන් ගාස්තුවටවත් ප්‍රමාණවත් වුණේ නෑ. නමුත් ඉදිරිපත් කිරීමේ රටාවේ යම් යම් අත්හදා බැලීම් කරමින් කටයුතු කිරීම තෘප්තිදායක අත්දැකීමක් වුණා. ඒවා එවකට නිෂ්පාදකවරුන් පවා අගය කළා. හැබැයි ආණ්ඩුවේ මාධ්‍යවල තියෙන දේශපාලන බැඳියාව බොහෝ විට අපේ වැඩකිරීමේ තෘප්තිය විනාශ කරලා, මාධ්‍ය ජීවිතයේ ආයු කාලය කෙටි කළා.

1999 වසරේ ආරම්භ කළ රූපවාහිනී පූරක කාර්යය අවුරුදු දෙකක් විතර කරමින් ඉන්න විට බලයේ සිටි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මැතිවරණයෙන් පරාජය වී එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පැමිණියා. මේ බල හුවමාරුවට සාපේක්ෂව ආණ්ඩුවේ මාධ්‍ය ආයතනවල මුල් පුටු වෙනස් වෙන්න පටන් ගත්තා. අලුත් සභාපතිවරු, අධ්‍යක්ෂවරු පරණ පුටුවල ඉඳගත්තා. රූපවාහිනියට පත් වූ අලුත් සභාපතිවරයාටත්, අලුත් වැඩසටහන් අධ්‍යක්ෂවරයාටත් වැඩසටහන් ඉදිරිපත් කරන්නන් අතුරෙන් මම සහ තවත් කිහිප දෙනෙකු ඉවත් කිරීමේ ලොකු උවමනාවක් ඇති බව අපට වැටහුණා. විශේෂයෙන් මම, හිටපු වැඩසටහන් අධ්‍යක්ෂ නිමල් ඒකනායකගේ මිතුරකු වීම. නිමල් පොදුජන එක්සත් පෙරමුණේ හිතවතකු වීම හරහා වක්‍රාකාරව මාව පොදු පෙරමුණේ සාමාජිකයෙක් ලෙස මුද්‍රා තැබුණා.

නමුත් මා වෙනුවෙන් මා එක්ක වැඩ කළ නිෂ්පාදක සහෝදරයන් ඔවුන්ට උත්තර බැන්දා. මම දේශපාලනය මාධ්‍ය ඇතුළේ නොකළ කෙනෙක්. වගකීමකින් හා වගවීමකින් කටයුතු කළ කෙනෙක් කියලා. මම තවදුරටත් වැඩසටහන කරනවා. මාව ඉවත් කරන්න උත්සාහ කරන අය මාව කොටු කරන්න බලනවා. කෙනෙක් පවසා තියෙනවා මගේ රූපය රූපවාහිනියට ගැළපෙන්නේ නෑ කියලා. මේ අතරේ ඉදිරිපත් කරන්නන් සඳහා කෙටි වැඩමුළුවක් කරනවා. මේ වැඩමුළුවේ දේශන කරන්නේ සමන් අතාවුදහෙට්ටි සහ අනෝජා වීරසිංහ. සමන් එහිදී කියනවා රූපවාහිනියේදී වුණත් ඉදිරිපත් කරන්නාගේ රූපය නෙමේ වැදගත්, ඉදිරිපත් කරන දේ කියලා. උදාහරණයට ඔහු ගන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්. මගේ රූපය රූපවාහිනියට නොගැළපෙන වග කියූ කෙනාගේ නළල රැළි වැටෙනවා.

මේ අස්ථාවර බව අතරේ එක අලුත් අවුරුදු කාලයක් උදා වෙනවා. කොහා හඬන අතරේ මම අවුරුද්දට අමතර නිවාඩු කීපයක් දාලා නුවර ගෙදර යනවා. අප්‍රේල් 11 දා දුවට සහලෝලා උණ. මට දුරකථන ඇමතුමක් එනවා රූපවාහිනී නිෂ්පාදක නිපුණ රාජපක්ෂගෙන්..."කපිල, ඩඩ්ලි සේනානායක අනුස්මරණ දිනය වෙනුවෙන් සාකච්ඡාවක් කරන්න තියෙනවා... හැමෝම කියනවා සාකච්ඡා මෙහෙයවන්න උඹ තමයි හොඳ කියලා. හෙට 2ට පටිගත කිරීම... ඩඩ්ලි සේනානායක අනුස්මරණ පදනමේ නිලධාරියෙකුයි ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුයි එනවා. එන්න පුළුවන් නේද?" මම වැඩේ භාර ගන්නවා. උදේම දුවට බෙහෙත් අරන් දීලා. නුවරින් බස් එකකට නැග්ගා උදේ 9.45ට. අලුත් අවුරුදු සාප්පු සවාරි. නිට්ටඹුවේ සිට වාහන තදබදය. යක්කල, කඩවත, කිරිබත්ගොඩ. නිපුණ මගේ ජංගම දුරකථනයට වරින් වර කතා කරනවා... මම තත්ත්වය පැහැදිලි කරනවා. මරදානේ ටෙක්නිකල් එක ගාවින් බහිද්දී 1. 55 යි. මම ත්‍රී රෝද රථයකට නැගලා යන්න පුළුවන් කෙටි පාරවල්වලින් ගිහින් රූපවාහිනියට යද්දි 2.10යි. ආරාධිතයෝ හැරිලා ගිහින්. නිපුණට ප්‍රශ්ණ ගොඩයි. මම නිපුණ දැක්කම කිව්වා වැරැද්ද මගේ පිටට දාලා. “උඹ බේරියන් නිපුණ” කියලා. ඒකට හේතුව නිපුණ ගතකරමින් හිටියේ පරිවාස කාලය වීම. සභාපතිවරයා මට මුණ ගැහෙනවා රූපවාහිනී ලොබියේදී. ඔහු මට බැන වදිනවා..."දන්නවද, ආවේ නියෝජ්‍ය නායක තුමා... ආයතනය ලැජ්ජාවට පත්කළා..." මම ඔහුට පවසනවා මට මුහුණ පාන්න වුණ බලාපොරොත්තු නොවූ තත්ත්වය. ඔහු ඒක පිළිගන්නේ නෑ. පස්සේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා නඩු අහනවා. පුන පුනා අහනවා නිපුණ වේලාසනින් වැඩසටහන ගැන කිව්වද නැද්ද කියලා. මට තේරෙනවා ඔහුට අවශ්‍යයි මා එක්ක නිපුණත් අයින් කරන්න. මම එක වචනයකින් වත් ඔහු පාවලා දෙන්නේ නෑ. වැරැද්ද මගේ. ඒත් එ්ක වළක්වන්න බැරි දෙයක්. අසාමාන්‍ය වාහන තදබදයක්. කවදාවත් නැතිව පැය 4 කටත් වැඩි වෙලාවක් ගත්තා නුවර ඉඳලා කොළඹ එන්න. නඩුව ඉවරයි.

මා පිළිබඳව ලියුමක් යැවෙනවා රූපවාහිනියේ වැඩසටහන් හා ආරක්ෂක අංශවලට. "ඉදිරිපත්කරන්නකු, රචකයකු, සම්පත් දායකයකු ලෙස මොහු රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ කිරීම තහනම්..." රූපවාහිනියේ යාළුවෝ මට කතා කරලා අහනවා "උඹ රූපවාහිනිය ඇතුළේ මිනිහෙක් මැරුවද?" මට හිනා යනවා. ආණ්ඩුවේ මාධ්‍ය ආයතනවල දේශපාලනයේ හැසිරීම තමයි ඒ. එතැන් සිට රූපවාහිනියේ ගේට්ටුව මට වැහෙනවා. කොහා වෙනුවට කණකොකා හඬනවා. දුකකටත් වඩා මට ඇතිවෙන්නේ කලකිරීමක්. නමුත් එකම එක සතුටක් මට ඉතිරි වෙනවා.

ඒ නිපුණට අනතුරක් නොවීම. නිපුණ අදටත් රූපවාහිනියේ වැඩ.

ඒ වගේම නිපුණ අදටත් මා එක්ක වැඩ.

[කපිල එම්.ගමගේ]

මාතෘකා