ඉතිහාසය නිවැරදි කළ කුරුඳු පොලු සටන

 ඡායාරූපය:

ඉතිහාසය නිවැරදි කළ කුරුඳු පොලු සටන

ඒකාධිපති බැසිස්ටා පාලනයට එරෙහිව එල්ල කළ මොන්කාඩා ප්‍රහාරයෙන් පසුව පැවති ඒකපාර්ශවීය නඩුවේදී විත්තිකාර ෆිදෙල් කැස්ත්‍රෝ සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඇත. ඒ "ඉතිහාසය මා නිවැරදි කරාවී" කියාය.

ෆිදෙල්ගේ මේ කියමන අද අපිට සිහිපත් වූයේ 2013 වසරේ ඔක්තෝබර් මාතරදී සිදුවූ කුරුඳු පොලු සටනට පසුගිය පස් වැනිදාට වසර පහක් සපිරෙන නිසාය.

එදා මේ සිදුවීම රාජපක්ෂ රෙජීමය විසින් රටට වාර්තා කරවූයේ "අලින්ගේ ගැටුමක්" ලෙසින්ය. "රනිල් රකින මංගලගේ කුරුඳු පොලු හමුදාව" කියමින් එදා පුවත් සිරස්තල සකස්වූයේද ඒ අනුවය.

මාධ්‍ය මර්දනය උපරිම කර තිබූ ඒ සමයේ මේ සිදුවීම රාජපක්ෂලා කියන ලෙස වාර්තා කිරීම හැර වෙනත් දෙයක් කිරීමට එකල ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට හැකියාවක් තිබුණේ නැත.

කුරුඳු පොලු පුවත පමණක් නොව රාජපක්ෂ පාලන සමය තුළ සිදුවූ බව කියන මිග් යානා ගණුදෙනුව, හෙජින් ගනුදෙනුව, ක්‍රිෂ් ගනුදෙනුව, ගෝල්ෆේස් හි පිහිටි යුද හමුදා මූලස්ථාන භූමිය චීන සමාගමකට විකිණීම, වරාය නගර ගිවිසුම, ග්‍රීක් බැඳුම්කර සිද්ධිය, යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳීම සහ අරුම පුදුම පුහුණුව හා ශිෂ්‍යත්වය, සී.එස්.එන් නාළිකාව ආරම්භ කිරීම, ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සිරගත කිරීම, ජනක සිසිත ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ සදහටම අතුරුදහන් කිරීම, ලලිත් - කූගන් අතුරුදන් කරවීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීපති සූරියආරච්චිගේ රිය අනතුර, වසීම් තාජුඩීන් ඝාතනය, කොමිස් ගනුදෙනු ආදී කිසිවක් පිළිබඳව තොරතුරු හෙළිකිරීමට එදා ප්‍රධාන ධාරාවේ මාධ්‍යන් තුළ ඉඩහසර වෙන්වූයේ නැත.

එම නිසා මාතර කුරුඳු පොලු සටන පිටුපස තිබුණේ රාජපක්ෂ අවතාරය බවත්, රාජපක්ෂගේ මිනීමරු රූකඩ පිල්ලිවල සැබෑ ස්වරූපයත් ජනතාව දැනගත්තේ විකල්ප මාධ්‍ය හරහා පමණය. අනෙක් කාරණා සම්බන්ධයෙන්ද අත් වූයේ එම ඉරණමම පමණි.

සැබවින්ම එදා රාජපක්ෂ රෙජීමයේ සැලැස්ම වූයේ ඒකාධිපති පවුල් පාලනයට ප්‍රබලම බාධාව වී තිබූ රනිල් නම් ප්‍රජාතන්ත්‍රවාදී නායකයාගේ දේශපාලන ගමන නැවත්වීමය. එසේම විරුද්ධ පක්ෂයේ මූලස්ථානයේ බලය තම මිනීමරු රූකඩ යොදවා නතුකර ගන්නටය. ඒ සැලැස්මේ අවසානය නම් මේ රටේ විරුද්ධ පක්ෂයක් කියා දෙයක් නැතිකර ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටියට හොඳ ඇණයක් ගැසීමය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය, රාජපක්ෂලාට දැනුණේ "නයාට අඳුකොළ වගේ" නිසාය. රාජපක්ෂලාගේ ඒ ගතිය තවමත් වෙනස් වී නැත. එදා මෙන්ම අදත් හෙටත් එය නොවෙනස්ව පවතිනු ඇත.

"රනිල් යන්න" කියමින් එන පෙළපාළියට පිස්තෝල රැගත් පිල්ලි එවා තිබුණේ ඒ නිසාය. පක්ෂය දිනවීමට කියමින් රාජපක්ෂගේ මිනීමරු රූකඩ පිල්ලිවලට එදා "රනිල් රකින්න" පෙරට පැමිණි බලවේගය දිරවා ගන්න බැරි වුණේද ඒ නිසාය. මහ දවාලේ පිස්තෝල අතට ගෙන හතර අතේ වෙඩි තබන්න තරම් හයියක් ආවේද ඒ පිස්තෝල රාජපක්ෂලා දුන් ඒවා නිසාය. පක්ෂය රකින්න කියමින් රාජපක්ෂගේ මිනීමරු පිල්ලි නැටූ ඒ නාඩගම නිසා ජාලිය ජයවර්ධන මහතා අදටත් එක්තැන්ය.

එහෙත් එදා මාතරදී රාජපක්ෂගේ මිනීමරු පිල්ලිවලට මුහුණදුන් පිරිස ආරක්ෂා කළේ රනිල් පමණක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය වැළලීම වෙනුවෙන් රජගෙදරදී හදන ලද නින්දිත කුමන්ත්‍රණ පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදයද ආරක්ෂා කර දුන්නේ ඒ ජනතාවය. එදා ඒ පිරිස් වෙත තිබූ ධෛර්යය සහ අධිෂ්ඨානය නිසා අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවී ඇත.

අද රාජපක්ෂගේ මාරක පිල්ලි තනියම නුවර සිට පා ගමන් ගියාට මඟදී ගහන්නේ නැත. එහෙත් පරණ පුරුද්දට තවමත් රාජපක්ෂ රූකඩ පාරේ යන්නේ වාහනවල ගල්, පොලු දාගෙනය. ඒ රාජපක්ෂලාගේ මෙන්ම රාජපක්ෂ ගෝලබාලයන්ගේත් හැටිය. කොටින්ම කීවොත් එය ඔවුන්ගේ ජානගත ලක්ෂණයක්ය.

රටේ ජනතාව යළි සිහි තබාගත යුතු සිද්ධි කීපයක් ඇත. ඒ, පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි උණ්ඩවලින් පිළිතුරු දුන්නේත්, අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සාමකාමී පා ගමනේ පැමිණි ජනක සිසිත ඝාතනය කරනු ලැබුවේත්, භූමිතෙල් මිල ඉහළ දැමීමට එරෙහිව හලාවත පැවැති ධීවර උද්ඝෝෂණයේදී හලාවත ඇන්තනීට වෙඩි තැබුවේත්, නිදහස් වෙළඳ කලාප සේවක උද්ඝෝෂණයේදී රොෂේන් චානක මරා දැම්මේත්, දේශපාලන අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ලලිත් - කූගන් අතුරුදන් කරනු ලැබුවේත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනු ලැබුවේත්, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරුවේත්, පෝද්දල ජයන්තට, කීත් නොයාර්ට, උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේත් රාජපක්ෂ පාලන සමයේදීම බවය.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු එහි ප්‍රජාතන්ත්‍රවාදී ගමනට වළ කපා ජනතාව රවටා රටේ බලය ඩැහැ ගන්නට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් කොතරම් නම් විරෝධතා දැක්වූවාද ? එක් එක් නම් දෙමින් නුගේගොඩින් පටන්ගත් රැලි තවමත් අවසන් කර නැත. එක එක උප්පරවැට්ටි යොදමින් ජනතාව පාරට බැස්සවීම මේ අය දිනපතා සිදුකරමින් සිටී. නමුත් ඒ රැලි නමින් හඳුන්වමින් පැවැත්වූ එකදු රැලියකට හෝ මේ ආණ්ඩුව පහර දුන්නේ නැත. ඒ යහපාලන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට බැඳී සිටින නිසාය.

ආසන්නතම උදාහරණය වන්නේ එකාබද්ධයේ කොළඹ වටලන නාඩගමයි. ඒ නාඩගම පවා නිදහසේ කරගැනීමට පරිසරය හැදුණේ මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය නිසාය. වසර පහකට පෙර සිදුකළ කුරුඳු පොලු සටන ඉතිහාසය නිවැරදි කර ඇත්තේද ඒ ආකාරයටය.

[දිලංක ගුණතිලක]

මාතෘකා