වට්ටක්කත් මාළුවක්ද? 02

 ඡායාරූපය:

වට්ටක්කත් මාළුවක්ද? 02

මං ගමට යනකොට කිතුල්දෝව හන්දියෙ කඩකෑල්ලට වෙලා රැස පත්තරේ බලනවා පේං මාමායි, වික්කරේ මාමයි. රැස බැලිල්ල පත්තියං වෙච්ච ඒ දෙන්නගෙ උප්පැන්නෙ නම් ප්‍රේමදාසයි, වික්‍රමපාලයි. ගමේ අපි කට වහරට නං කෙටි කරගත්ත නෙව.

ඒකනෙ ගුණරත්න මාමට ගුණ්ඩත් මාමා කියලා කියැවුණේ. ඉවිලි ගැන ලියන මං මේ හැම ගෙදරකින්ම බත් කටක් හරි කාලා තියෙනවා. අපි ඉතිං කොස් ඉරුව මිරිස් කරල හිට හුවමාරු කරගත්ත උදවිය නෙව. අවුරුදු තිහකටත් වැඩි කාලයක් උදේ හවා දියතලාවෙ කෑම්ප්පෙකත් ගෙදරත් අතරෙ හැතැක්ම පහක විතර දුරක් පයින්ම කුරගාපු පේං මාමාටත් මහඔය අද්දර බොහෝම ලස්සන බිං තීරුවක ගොවිතැන් කරාන හිටපු හීන් මහත්තයා මාමා ගැන මතකය අවදි වෙලා, අනේ උන්දැ දැන් කොහේ ඉන්නවාද දන්නෙ නෑ යි කියවුණා.

හා ඉතිං මං නිලි බොංචියි, කූර කොළයි එක්ක කාපු තෙල් වට්ටක්කා ගැන කියන්නම් කිව්වා නෙවද? දවසක නිලි බොංචි ගැනම කියන්න තරම් එව්වත් රහයි. අපේ ඇත්තො අද වගේ වෙනම වට්ටක්කා යායවල් වැවුවෙ නෑ ඉස්සර. අනෙක් කොයි බෝගෙත් එක්ක වට්ටක්කා ඇට ඉන්දුවා නියරට වැටට නැත්නම් පැල් පියස්සට වැල් යාන් වෙන්ඩ. බොංචි කොටුවලත් වැඩි පොහොර කා ගෙන සාරෙට වට්ටක්කා පල ගත්තා. ඒවා අද තියෙන මැලේසියන් හුණ්ඩු වට්ටක්කා නෙවෙයි. ගෙඩි ලොකුයි දිග බෙර ගෙඩි නැත්නම් කළ ගෙඩි වගේ. අපේ ඌරුවට එව්වට කිව්වෙ වැලිමඩ වට්ටක්කා කියලා.

ගාණට පිටි තියෙන ඒවයෙ රහට කට නලියනවා. පැහුණු වට්ටක්කා කපන්නෙ පිහියෙ මුවහත නැති පැත්තෙන්. නැත්නං පිටි හිඳෙනවලු. වට්ටක්කා කැපුං මූණත්වල නලියන දාඩිය බිංදු වගේ එව්වා දිහා බලාලා කියනවා ඕං බලහල්ලා මේකෙ පිටි තියෙන තරම් කියලා. ඉතිං නොපැහුණු ළා වට්ටක්කාවල එහෙම නෑ. ඒවයෙ පාටත් සුදට හුරුයි. තෙල් වට්ටක්කා කිව්වෙ එහෙම ඒවට. මේ තෙල් වට්ටක්කා තෙලට ඉව්වම හරිම රහයි. කහ, දුරු තුනපහ යම්තම් මිරිස් දාලා වතුර ටිකකින් තැම්බෙන්න ඇරලා අබ, සුදුලූනු බැදුමක තෙම්පරාදු කරගන්න සරල වට්ටෝරුවක්. කවුරුවත් ළපටි වට්ටක්කා ගෙඩි කැඩුවෙ නෑ. ඌරු තඩියෙක් හරි ඉත්තෑවෙක් හරි වැල් ඇදලා මොකක් නමුත් අබග්ගයක් වුණොත් මිසෙක. අද නම් මොන වට්ටක්කා වැවිල්ලක්ද ඌරොත් එක්ක. තෙල් වට්ටක්කා ලොකු ගෙඩියක් නම් පංගුවක් පෙති ගහලා අව්වෙ වේල ගන්ඩ පුළුවන්. ඊට පස්සෙ කාලයක් තියාගෙන අර පැපොල් පොතු කන්නැහේ තෙලට දාං කන එකයි ඇත්තෙ.

වට්ටක්කා පැහුණම ඉතිං කිරට හරි තෙලට හරි කන එක අරුමයක්යැ. එහෙව් වෑංජනයක් හදාගන්ඩවත් දන්නෙ නැත්තං ඕං ලැජ්ජා වෙන්ඩ ඕනි. මැදපෙරදිග සමහර රටවල තරමක වට්ටක්කා ගෙඩියක් අරන් පරිස්සමට පැත්තක් කපාගෙන ඒකෙ බෙණේට හාල්, මස් එව්වා මෙව්වා පුරවලා කපාපු පෙත්තෙන් කට වහගෙන ලබ්බෙ අස්සෙ තොවිලෙ වාගේ හුමාලෙන් උයාගන්නවා කියන්නෙ.

ඔය මොනරාගල තෙනගල්ලන්දෙ එහෙම එක කාලෙකට වට්ටක්කා හේනවල අස්වැන්න පාරට අදින්නෙ ට්‍රැක්ටර් පෝලිමක. එහෙම වට්ටක්කා ලාබ කාලෙට තම්බලා ලුණු ඉහගෙන පොලුත් එක්ක කෑවත් මොකද? ගුණ කෑමක්නෙ. ඉතිං නිකන්ම උයන් නැතුව වට්ටක්කා පැහියක්වත් උයලා කාලා බලමුද? මේකට ගන්නෙ සාමාන්‍ය ප්‍රමාණයට පැහුණු වට්ටක්කා. එව්වා තරමක කොටු කෑලි කපාගෙන කහ, ලුණු, තුනපහ අවශ්‍ය තරමට දාගෙන ලියා ගත්ත අමුමිරිසුත් එකතු කරලා වතුර ඩිංගක් දාලා තැම්බෙන්න ළිප තියනවා. ඒ අල්ලපනල්ලෙ සුදු ලූනු, කරපිංච, සුදුහාල් මිටක්, ගම්මිරිස් ඇති පදම් ගලේ දාලා හීන් වෙන්ඩ අඹරගන්නවා. මේ ඇඹරුම දියකරගන්ඩ ඕන පොල් මිටිකිරි කෝප්පෙක. දැන් වට්ටක්කා ගාණට තැම්බිලා නම් අර හදාගත්ත අපේ සෝස් එක දාලා කලවම් කරගන්නවා. නියම පදම තමයි මිශ්‍රණය වට්ටක්කා කෑලිවල තැවරෙන්න තියෙන එක. ඕකනං රජෝ බත් මරන කෑමක්.

පැලෙන්ඩ පැහිච්ච වට්ටක්කා නම් ටිකක් කළු පොල් මාළුවක හුරුවට උයාගන්න ක්‍රමයක් තියෙනවා. මේං මෙහෙමයි ඒක උයාගන්නෙ. වට්ටක්කා කෑලි කපාගෙන මිරිස් තුනපහ, කරපිංච, ලොකු ලූනු අරව මෙව්වා ජාති ටිකත් එක්ක පදමට ඇඹුල් වෙන්න සියඹලා, ගොරක නැත්නම් තක්කාලි හරි දාලා වතුරෙන් තැම්බෙන්න තියනවා. ඒ අතරෙ හාල් පොල් කළුවෙන්න බැදලා අඹරා ගන්නවා. මේ කළු කුඩු තැම්බුණු වට්ටක්කාවලට දාලා කලවම් කරගෙන අන්තිමට තෙම්පරාදු කරගන්නවා. උයලාම රහ බලන්නකෝ. ඉතිං මේ වට්ටෝරු දෙක ලියාපං කිව්වට අපේ අම්මට පිං. ගල්ගොඩඋහනෙ ආතා අම්මා අතේ එවලා තිබ්බ දෙළුම් වට්ටක්කත් මතක් වුණා ලියාන යද්දි. ඉස්සර උන්දැලාගේ දුම්මැහිවලත් පැහුණු වට්ටක්කා ගෙඩි රැකලා තිබ්බා ඇට ගන්ඩ. මද වේලිච්ච ඒවට කිව්වෙ පැණි වට්ටක්කා කියලා.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා