බබාට නමක් කියන්න!

 ඡායාරූපය:

බබාට නමක් කියන්න!

එදින රාත්‍රී වැඩමුරය යෙදී තිබුණෙන් වාට්ටුවේ නේවාසික රෝගී දරුවන් පරීක්ෂා කොට තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිකර්ම ලියා තබා රෑ කෑම ගන්නට කියා සූදානම් වෙද්දී ලැබුණු දුරකථන ඇමතුමෙන් කීවේ, ප්‍රසූතිකාගාරයේ සිටින අම්මා කෙනෙකුගේ කුස තුළ සිටින දරුවාගේ හෘදස්පන්දන වේගය අඩුවෙමින් පවතින බවත්, දැන් දැන් මවගේ ගැබ්ගෙලින් ශ්‍රාවය වන තරලය මෙකෝනියම් පැහැය ගන්නා බවත් ය. මෙකෝනියම් යනු දරුවා කුස තුළදී පහ කරන මල ද්‍රව්‍ය හඳුන්වන නමය.

මෙකෝනියම් තරලයේ පැහැය අනුව නම් දරුවා කුස තුළ සිටීම අවදානම් නිසා සීසර් සැත්කම මඟින් දරුවා එළියට ගැනීම සිදු කළ යුතු විය. දරු ගැබට සති 40ක් පසු වී තිබීම,මවගේ ප්‍රසව අවධියේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, ආසාදන තත්ත්ව හෝ ප්‍රසූතියට වැඩි කාලයක් ගතවීම ආදිය කුස තුළදී දරුවකු හට මළපහ වීමට හේතු කිහිපයකි.

අප රෝහලේ නොමේරූ ළදරු ඒකකයක් නොමැති නිසා අමාරු වන දරුවන් එසැණින් එවැනි ඒකක ඇති රෝහලකට ගෙන යා යුතුය. පවතින තත්ත්වය අනුව මෙම දරුවා මවු කුසේ සිටියදී යැවීමද කළ නොහැකිය.

මා ශල්‍යාගාරය වෙත දිව ගියෙමි. ඒ මහ රෑ කළුවර මැදින් ඇටෙන්ඩන් කෙනෙකු අත වූ ටෝච් එළි පිහිටෙන් මඟ දිගට බුරා හැලෙන බල්ලන්ගෙන් බේරී, ජීවිත බේරාගැනීමට දිව යා යුතුවේ.

මම එහි ගිය විගස මවගේ ටිකට් එක හෙවත් ඇඳ ඉහපත පරීක්ෂා කළෙමි. ඒ අනුව මට අවශ්‍ය කරුණු රාශියක් දැන ගැනීමට හැක. මවගේ රුධිර ඝනයේ සිට මේ මොහොතකට කලින් දරුවාගේ හෘද ස්පන්දනය දැක්වෙන ප්‍රස්ථාර කොළය හෙවත් සී.ටී. ජී සටහන් කොළය මෙන්ම ප්‍රසවයේ විස්තර සටහන් පාටොග්‍රෑම් එක (ප්‍රසූතිකාගාරයේදී සටහන් යොදන වගු සහිත කොළය) දෙන ලද බෙහෙත් වර්ග මම පරීක්ෂා කළෙමි. දරුවාගේ හෘද ස්පන්දන වේගය ගැන නම් සෑහීමකට පත්විය නොහැකිය.

ඒ අතරේ හදිසි ප්‍රකෘතිකරණයට අවශ්‍ය මෙවලම් සූදානම් කළ හෙදියන් හා ඒවා වැඩ කරන්නේදැයි පණ ගන්වමින් බැලුවෙමි.

දරුවා ඉපදුණු විගස මා දුටුවේ කොළ කහ මුසු ඝනකම් තරලයක් ඔහුගේ මුව, මුහුණ සහ ඇඟ වසා ඇති බවයි. දරුවා හුස්ම ගන්නේ නැත. මළ කඳක් මෙනි. මෙවලමක ආධාරයෙන් මුව ඇර තරලය විහිදී ඇති පෙදෙස් නිර්ණය කරගෙන දරුවා ප්‍රකෘති කිරීමට කෘත්‍රිම ශ්වසන දීමට ප්‍රථම මැෂිමක ආධාරයෙන් තරලය ඉවත් කර බැලුමක් ආකාරයේ වාත කුහරය තෙරපමින් ශ්වසනය දුනිමි. හෘදස්පන්දනයද ඇසෙන්නේ අඩුවෙනි. ඒ අතර ඔක්සිජන් ප්‍රතිශතය ආදිය මැන බැලිණි.

කෙසේ හෝ දරුවා කෙඳිරියක් සමඟ නැවත හුස්ම ගැනීම ආරම්භ කළ අතර ඔක්සිජන් නොකඩවා දෙමින් දරුවාට රුධිර නාලිකා ඔස්සේ අවශ්‍ය ඖෂධ රුධිරගත කළෙමු. ඊට සාමාන්‍යයෙන් පෙකණිවැල ඔස්සේ බටයක් දමා (umbilical catheter) පහසු මාර්ගයක් පාදා ගත්තෙමු. මෙකෝනියම් නිසා සංකූලතා ඇතිවිය හැකි නිසා දැන් ඔහුව දැඩි සත්කාර ඒකකයකට කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර පහසුකම් ඇති නොමේරූ ළදරු ඒකකයක් සොයා ගත යුතුය. ඒ සඳහා රට වටේ ඇති රෝහල්වලට දුරකථන ඇමතුම් දිය යුතුයි.

මහ රෑ 12 පසුවන විට සුබාරංචියක් ආ නිසා අපි සැනසුම් සුසුම් හෙළමින් දරුවා එහි ගෙන ගියෙමු. ඉන් දින කිහිපයකට පසු සංකූලතාවලින් තොර වූ දරුවා සහ මව නැවත අප රෝහල වෙත මාරු කෙරිණි. සති කිහිපයකට පසු තරුණ මවුපිය යුවළ සායනයට පැමිණියේ අලුත උපන් පැංචා සමඟය. දරුවා පරීක්ෂා කර බැලූ පසු ඔවුන් මා හට පැවසුවේ දරුවාට නමක් තබන ලෙස ය. මා එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේ ඒ ගැන අවබෝධයක් නැති නිසාමය.

" මගේ වයිෆ් දැක්කා දරුවා නිසා ඩොක්ටර්ලා මහන්සි වෙච්ච හැටි. මගේ දරුවා අද ජීවත් වෙන්නේ ඩොක්ටර් නිසා..." ඔහු කියද්දී ඒ අම්මා වැඳ වැටී නමස්කාර කරන්නට සැරසුණි.

මගේ ඇස් අගට කඳුළු පිරුණි. මම වහා ඇය වළකාලීමි. කෙසේ හෝ ඔවුන් ගෙන ආ අකුරුවලට ගැළපෙන අකුරුවලට නමක් මගෙන් ඉල්ලා සිටියහ. ඒ මව දමිළ වූ අතර පියා සිංහලය. ඉතින් ඒ දෙදෙනාගේ මුල් නම් අනුව මම දරුවාට නමක් තෝරා දුන්නෙමි.

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

මාතෘකා