අධ්‍යාපන වධය සහ නවකවධය

 ඡායාරූපය:

අධ්‍යාපන වධය සහ නවකවධය

2015 පෙබරවාරියේ දී දිවිනසාගත් සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවිය පිළිබඳ නැවතත් ජනමාධ්‍ය තුළ කතාබහක් ඇති වෙමින් තිබේ. ඒ කල් පසු වී හෝ ඇගේ මරණයට සාධාරණයක් ඉටු කිරීමට උසස් අධ්‍යාපන ඇමතිතුමා නීතිමය පියවර ගැනීමට කටයුතු යෙදීමත් සමඟය.

විවිධ පාර්ශ්ව විවිධ අදහස් ඉදිරිපත් කරන තත්ත්වයක් තුළ, ඇත්තටම සිදු වූ දේ එම අධිකරණ ක්‍රියා මාර්ගයේදී අනාවරණය වනු ඇත. කෙසේ වෙතත් මරණයට පෙර ලියා තැබූ ඇගේ අවසන් ලිපිය පමණක් සලකා බැලුවත් එය පැති කිහිපයකින්ම ජනතාවගේ ඇස් ඇරවන්නකි.

“2007 මගේ ජීවිතය අවලස්සන වුණේ මගේ ආදරණීය අම්මා මට සයන්ස් කරන්න බල කරපු නිසයි. ඒ 2007 O/L විභාගෙන් මම විශිෂ්ට ලෙස සමත් වුණ නිසා මට ආදරේට බව මම දන්නවා අම්මේ. ඒත් සයන්ස්වල තර්කානුකූලභාවය මගේ මොළේට වදයක්.”

එය අපේ රටේ මුළු සමාජයටම එල්ල කරන ලද චෝදනාවක් සේ සැලකීම සුදුසුය. දරුවාට තමාගේ ගමන්මඟ නිදහසේ තෝරාගැනීමට ඉඩ තිබිය යුතුය. දෙමව්පියන් ඊට අනවශ්‍ය මැදිහත්වීම් කිරීම සුදුසු නැත. අධ්‍යාපනය වදයක් වීමට ඉඩ නොතැබිය යුතුය.

මිනිසා සමාජමය සත්වයෙකි. ඔහුට ඔහු අයත් සංස්කෘතිය තුළ සාර්ථකව ජීවත් වීම සඳහා විශාල දැනුමක් සහ පුහුණුවක් අවශ්‍ය වේ. එහෙයින් අනෙකුත් සතුන්ට මෙන් නොව ඉතාමත් දීර්ඝ ළමා වියක් මිනිසාට ලැබී තිබේ. ළමා වියේ පියවරෙන් පියවරට මොළයේ එක් එක් සංවර්ධනයන් සිදුවේ. එම පියවර නොලැබීම හෝ අහිමි වීම කෙනෙකුගේ පෞරුෂත්වයට සහ මානසික සංවර්ධනයට බාධා ඇති කරයි. දරුවන්ගේ සෙල්ලම් ළමා කාලය අධ්‍යාපනය වෙනුවෙන් අහිමි කිරීම නිසා ඔවුන්ගේ මානසික වර්ධනයේ බරපතළ විකෘති තත්ත්වයන් හට ගනී.

නවකවධය ගැන ඇගේ අවසන් ලිපියේ මෙසේ සඳහන්ව තිබේ.

'කැම්පස් සේරගෙන්ම නවකවධය අයින් කරන්න ඕනෑ. ඒක ළමයින්ට මානසික වදයක්. මම දැන් ලෙඩෙක් වෙලා තියෙන්නෙත් නවකවධය නිසාමයි.'

නවකවධය ඇගේ මරණයට කොයි තරම් දුරට බලපා ඇත්ද යන්න තහවුරු වන්නේ අධිකරණ ක්‍රියාමාර්ගයේදී ය. එහෙත් නවකවධය අල්ප මාත්‍රයකින් හෝ ඇගේ මරණයට වගකිව යුතු නම් එය ඉතා බරපතළ ලෙස සැලකිය යුතුය. මන්ද එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන හෙයිනි.

සෑම කෙනෙකුම උපදින්නේ සමාන අයිතිවාසිකම් ඇති නිවහල් මිනිසුන් ලෙසිනි. වර්ගය, සමේ පැහැය, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම, දේශපාලන හෝ වෙන යම් මතවාද නොතකා සෑම අයකුටම සමාන අයිතිවාසිකම් හිමි විය යුතුය. කිසිදු අයකු වදහිංසාවලට, කෲරත්වයට, අමානුෂික ලෙස හෝ පහත් ලෙස සැලකීමට කිසිවකුට ඉඩක් නැත.

අන්‍යයන්ට සමාන ලෙස සැලකීමේ පුරුද්දක් හෝ ඒ ගැන හැඟීමක් වත් බොහෝ අයට නැත. අධ්‍යාපනික ආයතනවල පවතින නවකවධයද එයම තහවුරු කරයි. වර්තමානයේදී ගැහැනු ළමයිද පිරිමි ළමුන් හා හරි හරියට නවකවධය දීමට රුසියන් වී සිටිති. ඔවුන්ගේ සුකොමල දෙතොල් අතරින් පිටවන්නේ තිත්ත කුණුහරුපය. පූජක පක්ෂයේ නේවාසිකාගාර තුළ සිදුවන දෑ අදහා ගන්නටත් නොහැකිය. පේරාදෙණිය සරසවියේ රූපා රත්නසීලි නවකවධය නිසා ඉහළ මාලයකින් බිමට පැන ආබාධිත වී ජීවිත කාලයක් රෝද පුටුවේ සිට අවසානයේ දිවි නසා ගත්තාය. ඉන්පසු ගෙවීගිය දශක කිහිපය තුළ නවකවධය නිසා දිවි නසා ගැනීම් වැලක් සිදු වී ඇත.

සමහර අධ්‍යාපන ආයතන තුළ පරිපාලනයද නවකවධයට රුකුල් දෙයි. ඔවුහු 'බැච්' අතර වෛරය අවුලවමින් සිසුන් පාලනය කිරීම පහසු කරගනිති. නවකවධය මුලිනුපුටා දැමීමට වරින්වර පත් වූ අධ්‍යාපන ඇමැතිවරුන් නොයෙක් ආකාරයේ උත්සාහයන් ගෙන තිබේ. ඒ සඳහා අණපනත් ද පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබේ. එහෙත් මේ පිළිකුල්සහගත නවකවධය නවතන්නට නොහැකි වූයේ ඇයි?

පාලකයන් ඒ සඳහා උත්සාහ කළේ එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමටය. නවකවධය සමඟම ශිෂ්‍ය සංගම්ද මර්දනය කිරීමට පාලකයන්ට අවශ්‍ය විය.

නවකවධය සාර්ථක ලෙස නවතා දැමීමට නම් පළමු කොටම සිසුන්ගේ සහයෝගය ඊට ලබාගත යුතුය. ශිෂ්‍ය සංගම්වල සහයෝගය මෙහිදී ඉතා වැදගත්ය. එසේ නොවුවහොත් ප්‍රසිද්ධියේ කෙරෙන නවක වදයකදී පවා දඬුවම් දීම දුෂ්කර වනු ඇත. සාක්ෂි ලබාදීමට කිසිවෙකු ඉදිරිපත් නොවනවා පමණක් නොව පන්ති තහනම වැනි දඬුවමකදී පවා ඊට එරෙහිව සියලුම සිසුන් උද්ඝෝෂණ පවත්වන තත්ත්වයන් ඇති වේ.

සිසුන්ගේ සහයෝගය ලබා නොගන්නා තාක්කල් නවකවධයද දිගටම පවතිනු ඇත.

[සැම්සන් ගුණතිලක]

මාතෘකා