මනෝ උපදේශනයට උපදේශනයක්

 ඡායාරූපය:

මනෝ උපදේශනයට උපදේශනයක්

වර්තමානයේ ලොව පුරා පවතින සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික ගැටලු මුල් කරගෙන විවිධ මානසික ගැටලුවලින් පෙලෙන පුද්ගලයාට තම ජීවිතය තුළ බලපාන පෞද්ගලික ගැටලු මෙන්ම සාමාජීය ගැටලු පවා යම් යම් බලපෑම් එල්ල කරයි. එයින් සිදුවන්නේ පුද්ගලයාගේ මානසික සුවතාව බිඳී යාමය. එය පුද්ගල මනසට මෙන්ම කායික සුවතාවටද සෘජුවම බලපායි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා අවධානය යොමු කර තිබෙන්නේ පුද්ගල මානසික තත්ත්වය යහපත් මට්ටමක පවත්වාගෙන යෑම සම්බන්ධයෙනි. මනෝ උපදේශනය, මනෝ ප්‍රතිකාර ආදී මනෝ විද්‍යාවට අදාළ විෂයන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින්ද ප්‍රචලිත වී ඇත. සමාජය තුළ පවතින විවිධ අංශ කෙරේ ඒ ඒ අංශවලට උචිත පරිදි මනෝ උපදේශනය වෙන් වී පවතී. නමුත් අප රට තුළ මනෝ උපදේශන ක්‍රියාවලිය තුළ එක් අංශයක් මඟහැරී ගොස් තිබීම අද ඔබගේ අවධානයට යොමු කිරීමට සිතුවෙමු.

ලොව බහුතරයක් රටවල මනෝ උපදේශනය තුළ ආබාධ සහිත වුවන් සඳහා විශේෂ වූ උපදේශන ක්‍රියාවලියක් පවත්වාගෙන යයි. ඔවුන්ද ඔබ අප මෙන්ම සමාජය හා ගැටෙන මිනිස්සු වෙති. සමාජයේ පුද්ගල ජීවිතයේ පවතින ගැටලු ඔවුනටද පවතින අතර, තම ආබාධිත තත්ත්වය මුල් කරගෙන ඇතිවන විවිධ බාධාකාරී තත්වයන් මත එම ගැටලු විවිධ සහ විෂම විය හැකිය.

පෙර කී ලෙස මනෝ උපදේශනය, මනෝ ප්‍රතිකාර විවිධ අංශවලදී ක්‍රියාත්මක වේ. එය අනාබාධිත පුද්ගලයාට ගැටලුවක් නොවේ. නමුත් ආබාධිත පුද්ගලයෙකු ලබන අද්දැකීම් වෙනස් බැවින් ඔවුන්ට ඇති මානසික ගැටලුද වෙනස් වූ ස්වරූපයක් ගන්නා ඒවාය. ඒ පිළිබඳ අවබෝධ කරගැනීමට සහ මනෝ උපදේශනය ක්‍රියාත්මක කිරීමට ආබාධ සහිත වූවන් සඳහා ලොව පුරා මනෝ විද්‍යාත්මක වැඩසටහන් ක්‍රියාත්මක වේ. එහිදී ඇමරිකාව, ජපානය, එංගලන්තය ආදී රටවල් ප්‍රධාන වේ. රටක ආබාධිත ප්‍රජාවට ඇති මානසික ගැටලු විසඳීම සඳහා ඔවුන්ටම සුවිශේෂ වූ මනෝ උපදේශන ව්‍යාපෘති සහ ආයතන පවා ක්‍රියාත්මක වේ.

එහෙත් අප රට තුළ ඇති තත්ත්වය මීට වඩා වෙනස් වේ. ආබාධ සහිත වූවන්ට විශේෂ වූ මනෝ උපදේශන ක්‍රියාවලියක් පවතීද යන්න දන්නා අය පවා ඇත්තේ ඉතාමත් අඩු ප්‍රමාණයකි. ඒ වෙනුවෙන් කිසිදු ආයතනයක් හෝ නැත. වෙන එකක් තබා, ආබාධ සහිත වුවන්ට මනෝ විද්‍යාව විෂයක් වශයෙන් හැදෑරීම පවා සීමා කරන අවස්ථා අසන්නට ලැබේ. ඔවුන් එල්ල කරන ප්‍රධාන කාරණය නම්, දෘශ්‍යාබාධිත අයෙකු උපදේශනයේදී ඊට අවැසි අක්ෂි සබඳතා පවත්වාගෙන යාමය. නමුත් දෘශ්‍යාබාධිත අයෙකුට සහ කථනාබාධ ඇති පුද්ගලයෙකුට උපදේශනය පහසු වන්නේ එවැනිම වූ කථනාබාධ සහිත 'සංඥා භාෂාව' දන්නා කෙනෙකුට පමණි. නමුත් මේ සඳහා වැඩපිළිවෙලක් රට තුළ නැත. ආබාධ සහිත වූවන් සඳහා පර්යේෂණ ආයතනයක් පවා දැනට පවත්වාගෙන යන්නේ කැලණිය වෛද්‍ය පීඨය මඟින් පමණි.

ආබාධ සහිත වුවද ඔවුනටද කාන්සාව, මානසික ආතතිය, විශාදය වැනි තත්ත්ව ඇතිවිය හැකිය. ඊට ඔවුන් ලබන අත්දැකීම් මුල්වීමට පුළුවන. එසේම ආබාධ සහිත පුද්ගලයන්ටද රැකියා ආතතිය, පවුල් ගැටලු, ලිංගික ගැටලු, වැඩිහිටි උපදේශනය, ළමා උපදේශනය, ශිෂ්‍ය උපදේශනය අවශ්‍ය වන අවස්ථා බහුලව පවතියි.

පසුගිය මස ගාල්ල ප්‍රදේශයේ උපාධි අපේක්ෂිකාවක් වූ දෘශ්‍යාබාධිත තරුණියක් ඇයගේ මස්සිනා විසින් දූෂණය කරන ලද බව වාර්තා විය. ඇයට තවත් දෘශ්‍යාබාධිත සොයුරියක්ද සිටී. ඉඳින් ඇයගේ සහ සොයුරියගේ මානසික සුවතාව උදෙසා වූ මනෝ උපදේශනය කෙසේ වේද? ඇයගේ අනාගතය කෙසේ නම් ආරක්ෂාකාරී වේද? මේවාට පිළිතුරු දිය හැකිවන්නේ කාටද?

ඇතැම් ආබාධිත තැනැත්තන් ලබන අත්දැකීම් ඉතාමත් කටුකය. සමාජයේ වැඩි අවධානයකට පාත්‍ර නොවූ මේ පිරිසට ඔබ කිසිදා නොහිතන ආකාරයේ ගැටලු පැවතිය හැකිය. එය සාමාන්‍ය මනෝ උපදේශනයෙන්, මනෝ ප්‍රතිකාරවලින් විසඳීමට වුවද පුළුවන් විය හැකිය. නමුත් ඊට වඩා සාර්ථකව එකී ගැටලු පවතින ආකාරයේ ආබාධිත තැනැත්තෙකුටම එම ගැටලුව ග්‍රහනය කරගත හැකිය.

සත්‍ය වශයෙන්ම ආබාධිත තැනැත්තන් මුහුණපාන මානසික ගැටලු පිළිබඳ මීට වඩා අදාළ අංශ තම අවධානය යොමු කළ යුතුය. කුමක් හෝ හේතුවක් මත ඔවුන් කුමන තත්ත්වයක් යටතේ වුව දිවි තොර කරගන්නේ නැත. නමුත් කාන්තා හා ළමා කටයුතු අධිකාරිය මෙන්ම සමාජ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ඒ යටතේ පවතින ආබාධිත ලේකම් කාර්යාලය, වැඩිහිටි ලේකම් කාර්යාලය පවා මීට වඩා වගකීමෙන් සහ වගවීමෙන් ආබාධිත තැනැත්තන්ගේ මානසික සුවතාව පිළිබඳ අවධානය යොමු කළ යුතු වේ. මානසික ආබාධ සහිත දරුවන් සඳහා මෙන්ම වෙනත් ආබාධ සහිත තැනැත්තන් සඳහා උපදේශන මධ්‍යස්ථාන, ප්‍රතිකාර අංශ දියුණු වූ රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවල පවා ක්‍රියාත්මක වේ. ඒ සඳහා වූ පාඨමාලා, පුහුණු මධ්‍යස්ථාන, විශ්වවිද්‍යාල මට්ටමින් පවා ක්‍රියාත්මක වේ. මෙය අපගේ අවධානය යොමුවිය යුතු කාරණයක් බව යළිත් සිහිපත් කරන්නේ ඔවුන් බොහෝ දෙනා අද වනවිට ලොවට හොරා විශාල මානසික පීඩනයක් උසුලන බව ඔවුන් හා කතා කිරීමේදී වැටහෙන බැවිනි.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා