පොටෑසියම්

 ඡායාරූපය:

පොටෑසියම්

අපි ඔහුට ජයසීලන් කියමු. ජයසීලන් වාට්ටුවට ඇතුළු කරන්නේ “පපුවේ මහන්සිය” යැයි කියමිනි. බොහෝ කෘෂ කේඩෑරි ශරීරයක් ඇති ඔහු “පපුව මහන්සියි, පපුව ගැහෙනවා හයියෙන්, ඇඟට පණ නැහැ” වැනි ප්‍රශ්න ගණනාවක්ම ඉදිරිපත් කළේය. රෝග නිධානය සොයාගැනීම සඳහා අප කරන ලද කායික පරීක්ෂණ මෙන්ම රසායනාගාර වාර්තා, ඊ.සී.ජී, එක්ස්රේ ආදී ඒ සියල්ලෙන්ම පසු ඔහුගේ රුධිරගත පොටෑසියම් අගය බොහෝ පහළ අගයක තිබෙන බව සොයාගන්නා ලදී.

“ඉක්මනින් මට මොනවා හරි දෙන්න ගෙදර යන්න” ඔහු වාට්ටුවට ඇතුළු වූ මොහොතේ සිට අපිට මතුරන්නට විය. එවැනි ඉල්ලීම් සමඟ තමන්ගේ ගෙදර ප්‍රශ්නත් ඒවාට විසඳුම් ගෙනෙන්න ඉන්නේ ඔහු පමණක් බවත් නිතර නිතර කීවේය.

“තව මොනවද මේ? ලේ ගන්නවා ගන්නවා කූඩැල්ලෝ වගේ” දෙවැනි දිනය වන විට එවැනි ටිකක් සැර නොරුස්සනා කියුම්ද ඔහුගෙන් ඇසෙන්නට විය. එයට හේතුව ඔහුගේ රුධිරගත පොටෑසියම් අගය සෑම දිනකම සොයා බැලිය යුතු වීමය.

“ඔබේ ශරීරගත පොටෑසියම් අගය අඩු නිසා ඒක වැඩි කරන්න මෙන්න මෙහෙමයි කරන්න ඕනේ” කියා අප කළ විස්තර කිරීම අසන්නටවත් ඔහුට උවමනාවක් වූයේ නැත.

“ඔහේලා දොස්තරලා, ඉගෙනගෙන තියෙන්නෙ අපිව සනීප කරන්න නේද ?”

“මොනවා හරි දීලා ඉක්මනින් මාව ගෙදර යවන්න”

එවැනි වදන් පමණයි ඔහුට කීමට හැකිවුණේ.

රුධිරගත පොටෑසියම් කියන්නේ ඔබ අපි විද්‍යාව පාඩමේදී ඉගෙන ගන්නා ශරීරයේ වැදගත් සංඝටකයක් වන පොටෑසියම්ය. පොටෑසියම් අඩු වෙද්දී අපට දැනෙන අමාරුකම් අතරේ මම ඉහත කියූ දේද තිබේ. එයට හේතු ලෙස ඇල්ඩොස්ටෙරෝන් නම් හෝර්මෝනයක වැඩිවීම වගේම පිලිස්සුමට ලක්වීම, පෝෂණ ඌනතා, ශරීරයෙන් තරල ඉවත් වීම් , පාචනය , බඩ යෑම, වමනය, දියවැඩියා රෝගය ආශ්‍රිත කීටෝඇසිඩෝසිස් තත්ත්වය ආදිය මෙන්ම දිගුකාලීනව පවතින වකුගඩු රෝගයද දැක්විය හැකිය. වකුගඩු රෝගය මේ ප්‍රදේශයේ සුලබ අතර පොටෑසියම් සහිත ආහාරපානද බොහෝය. කෙසෙල්, කුරුම්බා, බ්‍රොකලි, හතු, නිවිති, ඇප්‍රිකොට්, කැන්ටලූප් වැනි පලතුරු ඉන් සමහරකි. පොටෑසියම් වැඩි වෙන්නත් පුළුවන්! එවිටත් ඉහත ලක්ෂණම ඇතිවන අතර පපුවේ රිදීම්, ඇඟ හිරිවැටීම්, හුස්ම ගැනීමේ අපහසුතා ඉන් සමහරකි. එයටද හේතුවක් වෙන්නේ වකුගඩු අකර්මණ්‍ය වීමයි.

ඔහුගේ මේ රෝගී තත්ත්වයට හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයේ මුල් අවදිය සහ පෝෂණයේ දුර්වලතා බව අවසානයේදී තීන්දු විය. ඒ වන විට ඔහුගේ ECG පටිවලද පොටෑසියම් අඩු වූ විට පෙන්වන්නාවූ වෙනස්කම් දකින්න ලැබිණි. පොටෑසියම් දියර ලෙස ශරීරයට ඇතුළු කළ යුතුය. එක් දිනක් තුළ ඔහුගේ ශරීරයේ එම අඩුව පුරවන්නටද නොහැකිය. එය ක්‍රමාණුකූලව දිනකට නියමිත ගණන සකස් කොට ඇතුළු කළ යුතුය. පළමු දවසේ සහ දෙවැනි දවසේ ඔහුගේ ඇනුම් බැනුම් චෝදනා අසමින් “හරියට අපි අපට හොඳක් කරගන්නවා වගේ” ඔහුට අවශ්‍ය ප්‍රතිකර්ම කළෙමු. තුන්වැනි දවසේ නම් ඔහු හොඳින්ම නොසන්සුන් වූ අතර, දහවල් දෙක පසුවෙද්දී පුරුදු නෝක්කාඩු සියල්ල එකපිට එක අප වෙත දමා ගැසීමට සැරසුණේය.

“මට දුවලාම තුන්දෙනෙක් ! එයාලට කන්න අඳින්න දෙන්නේ ඔයාලද?” ඔහු දැඩි හඬින් කියවන්නට විය.

“හැමදේම කරන්න ජීවත් වෙලා ඉන්න එපැයි” විශේෂඥ වෛද්‍යවරිය පවා ඔහුට බොහෝ අවවාද කරන බව අපි දුටිමු.

“පොටෑසියම් අඩු නෙමෙයි නැති වුණත් කමක් නෑ.” කී ඔහුගේ කන්දොස්කිරියාවත් නුරුස්සනා බැල්මත් අඩු නොවීය.

“දවස් කීයක කුලී වැඩ මට මඟ හැරෙනවද?” එසේ කීවද ඔහු තව දිනක් දෙකක් ගෙදර සිටියානම් මීට වඩා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත වීමට සිදුවනු ඇත. එහෙත් ඒ බව ඔහුට වැටහෙන්නේ නැත. ඔහු බැලීමට කියා කිසිවෙක් නිවසින් රෝහල වෙත පැමිණියේද නැත. ඒ බව ඇසූ විට ඔහු කීවේ ගෙදර බොහෝ ඈත බවත් මෙහි එන්නට ඔවුන්ට මුදල් හෝ දැනීමක් නොමැති බවත්ය.

ඉන්පසු එදින සවස් කාලයේ තමා සන්තක සියල්ල අහුරාගත් ඔහු “කරුණාකර මේ කටුව ගලවන්න. මම මගේ කැමැත්තෙන් පිටවී යනවා”යැයි අපට අවසාන නිවේදනය කළේය. අපි ඔහුට අවවාද කොතෙක් දුන්නද බොහෝ දරුණු ලෙස හැසිරෙමින් ඔහුට යෑමට අවශ්‍යම බව කීවේය.

“වෛද්‍ය අවවාදවලට විරුද්ධව මම මාගේ කැමැත්තෙන් පිටව යමි. රෝගය ගැන අවදානම දනිමි. මම සියල්ලෙහි වගකීම දරමි” ලියන්නටවත් නොහැකි ඔහු වෙනුවෙන් වෙන අයකු අකුරු කරන ලද ඇඳ ඉහ පතේ, එලෙස ඔහුගේ බසින්ම ලියූ ඒ වැකි අවසානයේ ඇඟිලි සලකුණ තබා ඔහු අපට බැන බැන යන්නට ගියේය. මෙවැනි හැසිරීම් අපට අමුතු දෑ නොවේ. බොහෝ අය යන්තම් සුවයක් දැනුණු වහා වාට්ටුවෙන් පිටවී යෑමට මඟ බලමින් සිටී.

“මම නම් හිතන්නේ හදිසි ප්‍රතිකාර අංශය හරියේදී ආයේ අසාධ්‍ය වෙයි කියලා... ගියොත් නම් තව අමාරු වෙයි.. සමහර විට !” ඒ අපේ නිගමනය විය.

එහෙත් ඔහු නැවත පැමිණියේ නැත.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා