සර් ආයේ එන්නේ නැහැ...

 ඡායාරූපය:

සර් ආයේ එන්නේ නැහැ...

“මට ගුරුවරයෙක් විදිහට පත්වීම ලැබුණේ එක්දහස් නවසිය හැත්තෑ නවයේදී, මේ පාසලට මම ආවේ අනූ එක අවුරුද්දේ.” එකිනෙකා නොපෙනෙන තරම් ගන මීදුම එක පාරටම පොළව සිඹිද්දී අසුන්ගත්ත දිසාපාමොක්වරුන් තමන්ගේ හැඟම් හංගාගෙන බොඳවුණු දෙනෙත්වලින් බිම බලාගෙන ඒ කතාවට සවන් දෙනවා.

“එදා එහෙම එද්දී මේ පාසලේ ගණිත විෂය උගන්වන්න ගුරුවරයෙක් හිටියේ නැහැ. ඒ තියා හරිමහන් ගොඩනැඟිලි තිබුණේත් නැහැ. එදා ඉඳන් මම විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් එක්ක මේ දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. ගණිතය උගන්වන එක විතරක් නෙවෙයි මම ඒ හැම දෙනාගේම පෞද්ගලික ප්‍රශ්නවලදී ඒවාට ඇහුම්කන් දීලා විසඳුම් අරන් දුන්නා.” ඒ හඬ මේ පාසලට හුරුයි, පුරුදුයි. ඒ විතරක් නෙවෙයි ආදරණීයයි. මීදුම ටිකෙන් ටික අඩුවෙලා. දැන් ගුරුතුමන්ලාගේ, ගුරුතුමියලාගේ මුහුණු හොඳින් පෙනෙනවා. නිහැඬියාව නතර වුණු කතාවට අත්වැල් දෙනවා. “ මම සාමාන්‍ය පෙළ විභාගයට කැමැත්තෙන්ම ඉගෙන ගත්ත විෂය බෞද්ධ ධර්මය.” ජීවිතයේ යථාර්ථය, පුරුෂාර්ථ සර් හොඳින්ම අවබෝධ කර ගත් කෙනෙක්. ඒ හැම දේමත් එක්ක බෞද්ධ දර්ශනය ගැන කරන පැහැදිලි කිරීම් අනික් හැම දෙනාටම වඩා ඉදිරියෙන්.

“මම ඉපදුණේ කල්මුණේ. පවුලේ සාමාජිකයින් නව දෙනයි. මට අවුරුදු දෙකක් විතර වෙද්දී තාත්තා ආයුෂ හමාර කරලා යන්නම ගිහින්. එදා පටන් අපිව උස් මහත් කරන්න නෙවෙයි, අම්මා අනන්ත දුක් වේදනා විඳලා තියෙන්නේ අපිව ජීවත් කරවන්නයි. ඔයාලා දන්නවාද? ග්‍රාම නිලධාරි මහත්තයාගේ ගෙදරින් දවසක් ඇර දවසක් අපිට කන්න කෑම පංගුව නොවැරදීම දුන්නා. එහෙම නොවුණා නම් එදා අපි හාමතේ මැරිලා. ඒ කෑම වේල දෙද් දී අපේ ජාති, ආගම්, උස් පහත්කම් ඒ උතුම් මනුෂ්‍යයින් හොයලා බැලුවේ නැහැ. මේ ගමට ඇවිත් පදිංචි වෙලා දැන් ගොඩක් කල් ගෙවිලා. අන්තිමට මගේ රාජකාරිය අවසන් කරන්නේත් මේ ගමේදිමයි.” එතුමන් අතීතයේ වේදනාවන් නැවතත් මතු කරනවා. ඈත ගරඬු කන්ද දිහාවෙන් වේගයෙන් හමාගෙන ආපු සීතල හුළඟ එක තැනක නතර වෙලා ඒ කතාව අහගෙන ඉන්නවා. ඇත්තට ම හුළඟට තමන්ගේ ගමනාන්තයට පිටත් වෙන්න අමතක වෙලාවත් ද...? අවට මොන තරම් සීතල වුණත් මේ හැම දෙනාම රැඳිලා උන්නු ගෘහ විද්‍යා කාමරය මොන තරම් උණුසුම්ද.?

ජීවිතයම ගණිත සූත්‍රයක් බව කියා දුන්න සර් ඒ සූත්‍රයම ජීවිතයට ආදේශ කළ හැටි පියවරෙන් පියවර පැහැදිලි කරනවා. “ගොඩක් වෙලාවට ඔයාලත්, මේ දරුවනුත් දකින්න ඇත්තේ, තීරණය කරන්න ඇත්තේ මම නිතරම දරුවන්ට දඬුවම් කරන, සැර වැර කරන ගුරුවරයෙක් විදිහට නේද.? ඒත් ඇත්ත ඒක නෙවෙයි. මේ කිසි දරුවෙක් මගේ නෙවෙයි කියලා මට දැනුණේ නැහැ. මගේ දරුවා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙද්දී මට උවමනා වුණේ මේ දරුවනුත් විශ්වවිද්‍යාලයට පියමන් කරනවා බලන්නයි. රටට වැඩදායී පුරවැසියකු වෙනවා දකින්නයි. හැම මොහොතකම මට බයක් දැණුනා මේ අහිංසකයින් ජීවිතය වරද්දා ගනී කියලා. ඒ බය අතරින් මට මැවිලා පෙනුණේ තාත්තාත් නැතිව ජීවිතය ගොඩනඟා ගන්න අපි කරපු වීර්යය.”

සීතල වැඩි දවසක රාගල කඩ මණ්ඩියේ හැමෝටම පුරුදු සුන්දර දසුනක් තිබුණා. “පුදුම සීතලක්නේ අද... අපි තේ එකක් බොමුද?” සර්ගේ ළෙන්ගතු ඇරයුම අවසානයේදී එතුමාත් එක්ක බන්දුල සර්, මූර්ති සර් උරෙන් උර ගැටෙන තරම් ළඟින් ගමන් කරන දර්ශනය. මේ දසුන දකින හැම දෙනෙකුම කියුවේ “මොන තරම් සහෝදරකමක් මේ සර්ලා අතරේ තියනවා ද ...?” කියන ආදරණීය අදහසයි.

මන්දාරම හෙමින් හෙමින් පොළවට පාත් වුණත් අද මේ තරම් ඉක්මනින් වහින්නේ නැති වග හැමෝම දන්නවා. එක් වරම එන කළුවරත්, පින්නෙන් බර මීදුමත් සර්ගේ කතාව ඈත තැනක ඉඳන් කරන ඉදිරිපත් කිරීමක් වගේ. මේ කතාව අවසානයේ වෙනදාට සර් කරන කාලීන සිදුවීම්, දේශපාලනය, බෞද්ධ දර්ශනය ගැන කරන තර්ක විතර්ක වගේම පැහැදිලි කිරීම් කරන්න කාලයක් අදින් පස්සේ ඉතිරි වෙන එකක් නැහැ.

“මට අද ගොඩක් සතුටුයි. ඒ මම පාසලෙන් යද්දී මගෙන් ඉගෙන ගත්ත දරුවෙක් අද මගේ විෂය උගන්වන්න පාසලේ ආචාර්ය මණ්ඩලයට එක් වෙලා ඉන්න එක ගැන. අද හැමෝ ම මාත් එක්ක කෑම ටිකක් කාලා යන්න ඉන්න.”

ඒ ආදරණීය ඉල්ලීමත් එක්ක අබ්දුල් සර්ගේ කතාව අවසන් වෙද් දී විශ්‍රාම දිවිය ඇරඹුණා. හීන් පොද වැස්ස තවත් ආකාසයට බරක් නොදී හෙමින් පොළොව සිඹිනවා.

[චමත්ක කවීන් බණ්ඩාර]

මාතෘකා