රටවැසියාගේ අයිතිය

 ඡායාරූපය:

රටවැසියාගේ අයිතිය

අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇති වූයේ බ්‍රිතාන්‍යයෙහි යටත් විජිතයක්ව තිබී නිදහස ලැබීමේ ප්‍රතිඵලයක් හැටියටය. අධිරාජ්‍යයකට වෛර කිරීම සහේතුක වුවද දියුණුම පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති රටක ආභාසය ලැබීම අතින් අප සතුටු විය යුතුය.

දැන් එය එක්සත් රාජධානියයි. එහි ඇත්තේ මැග්නාකාර්ටා ආඥාපනත ඇතුළු වගන්ති කිහිපයකි. දශක කිහිපයකට පෙර රාජාණ්ඩුව අත්තනෝමතික වීම වැළැක්වීම සඳහා එම ආඥාව නීතිගත කෙරිණි.

එක්සත් රාජධනියෙහි ඇත්තේ දියුණු පාර්ලිමේන්තු සම්ප්‍රදායකි.

අපේ රටේ ව්‍යවස්ථාව විශාල පොතකි. පොතේ හැටියටම වැඩ නොවුණත් එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යෑම අනුව කුමන අඩුපාඩු ත‍බුණත් නිදහසින් පසුව වසර හැත්තෑවක කාලයක් ශ්‍රී ලංකාවේ පාලිමේන්තු ක්‍රමය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගැරහුමට ලක් නොවීය.

ඒ පිළිබඳ විශ්වාසය තහවුරු වූ අවස්ථාවක් ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හැඳින්විය හැකිය. ඒ සඳහා මුල් වූ නායකයන්ට අපගේ ගෞරවය හිමි වෙයි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අගයන කිසිවකු හට එයට එරෙහිව කටයුතු කළ නොහැක. 19 ව්‍යවස්ථාවෙන් පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභා අතරින් මානව හිමිකම් කොමිසම කැපී පෙනෙයි. එය සක්‍රීය ආයතනයකි.

එම කොමිසමට රටවැසියකු හැටියට පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. රටේ ප්‍රධාන පුරවැසියා නියම ප්‍රජාතන්ත්‍රවාදියකු හැටියට මෙයට ප්‍රතිචාර දක්වනු ඇතැයි සිතමි. පැමිණිල්ලෙහි සංක්ෂිප්ත සටහනට පදනම් වූ අර්ථ දැක්වීම මෙසේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තරග කළ 2015 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර විධායක බලතල අතහැර නාමික විධායකය බවට පත්වන බවය. අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බවය. මා ඇතුළු රටවැසියන් හා සිවිල් සංවිධාන පොදු අපේක්ෂකයා ජයග්‍රහනය කිරීම වෙනුවෙන් වැඩ කළේ එනිසාය. එමෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති හැටියට පත්කර රනිල් අගමැති හැටියට පත් කරන බවය. වේදිකාවලද එය ප්‍රකාශ කරන ලදි.

මා ඇතුළු ඡන්දදායකයන් ලක්ෂ 62ක් ඡන්දය දුන්නේ එම විශ්වාසය මතය. පොරොන්දු වූ පරිදි මෛත්‍රිපාල මහතා ජනපති වූ පසුව මහ මැතිවරණයෙන් පසුව රනිල් අගමැති හැටියට පත් විය.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ආරම්භ විය. 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායකයේ බලතල විශාල ප්‍රමාණයක් ඉවත් කෙරුණි. ව්‍යවස්ථාවේ vii පරිච්ඡේදයේ සමහර කොටස්ද viii සම්පූර්ණයෙන්ද ඉවත් කෙරුණි. 19 සංශෝධනය අනුව අගමැති පත් කිරීමේ බලය ඇතත් ඉවත් කිරීමේ බලය ජනපතිට අහිමි විය. ඇමතිවරුන් ඉවත් කිරීමේ බලය නැතිවිය.

ඒ සඳහා අගමැති මතය විමසිය යුතුය. ජනාධිපතිගේ කැමැත්තේ හැටියට අගමැති පත් කිරීමේ බලය නැතිවිය. බහුතරයේ කැමැත්ත මත පමණයි එය කළ හැක්කේ. බහුතර කැමැත්ත ගන්නේ මන්ත්‍රීවරුන්ගෙනි. ඔවුන් පත් කළේ අප විසිනි. එයින් පිළිබිඹු වන්නේ අපේ කැමැත්තය.

එමෙන්ම 19 ව්‍යවස්ථාව අනුව වසර හතර හමාරක් යන තුරු ජනපතිට ආණ්ඩුව විසුරුවා හැරිය නොහැක. පැරණි ව්‍යවස්ථාව මෙහිදී අදාළ වන්නේ නැත. එහෙත් ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ සිටියදී කිසිදු මතයක් නොවිමසා තනි කැමැත්තෙන් අගමැතිවරයකු පත් කර තිබේ. ව්‍යවස්ථාවට පිටුපා වසර හතරහමාරක් යෑමට පෙර පාලිමේන්තුව විසුරුවා තිබේ. එසේ විසිරවිය හැක්කේ පාලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර කැමැත්තෙන් පමණි.

ඔහු 19 ව්‍යවස්ථාව උල්ලංඝනය කර පැරණි ව්‍යවස්ථාව අනුව කටයුතු කර තිබේ. මේ තීරණ දෙකම ඡන්දදායකයකු හා රට වැසියකු හැටියට මගේ අයිතිවාසිකම් කඩ කිරීමක් හා ජනතා පරමාධිපත්‍ය උල‍්ලංඝනය කිරීමකි. ඒ නිසා ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් රටවැසියකු හා ඡන්දදායකයකු හැටියට මගේ අයිතිවාසිකම් හා පරමාධිපත්‍යය උල්ලංඝනය කළ අයකු හැටියට නම් කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් මම ඉල්ලා සිටියෙමි.

ඕනෑම රටවැසියකුට තම අයිතිවාසිකම් කඩ වූ විට ඒවා ආරක්ෂා කරගැනීම සඳහා පිහිට ලබා ගත හැකි ආයතන පවතී.එහිදී පළමුවෙන් වැදගත් වනුයේ තම අයිතිවාසිකම් හඳුනා ගැනීමය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට මුල් වූයේ ලෝක යුද්ධයේදී සිදු වූ බිහිසුණු ඝාතන හා මානව හිමිකම් කඩවීම්ය. මේවා ජාත්‍යත්තර සම්මුතීන්ය.එම සම්මුතීන්ට බැඳුණු රටවල් ඒවා ආරක්ෂා කිරීමට බැඳී සිටී.දෙවැන්න දේශීය සම්මුතීන්, සම්ප්‍රදායන් හා නීතියයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඕනෑම රටවැසියකුගේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව පෙනී සිටින ශක්තිමත් ආයතනයකි. එහෙත් මේ පිළිබඳ දැනුවභාවයෙහි මඳකම නිසාත් සියල්ල කරුමයට බාරදීමේ සාම්ප්‍රදායික චින්තනය නිසාත් පසුගාමිත්වය නිසාත් මෙබඳු ආයතනවල පිහිට පැතීමට සමහරු මැලිවෙති.

මෙයින් සිදුවන්නේ අයිතිවාසිකම් කඩ වීම සාමාන්‍යකරණය වීමය. මහජනයා ඒවාට හුරුවීමය.

මාතෘකා