කල්කටා දුම්රියපොළේ මිනිස් වෙළෙඳාම

 ඡායාරූපය:

කල්කටා දුම්රියපොළේ මිනිස් වෙළෙඳාම

කල්කටාවේ අති දැවැන්තම දුම්රිය ස්ථානය සීල්දාහ් Sealdah දුම්රිය ස්ථානයයි. එය දුම්රිය මංතීරු 20ක් සහ දුම්රිය අංගණ 20ක් සහිත දුම්රියපොළකි. දිනකට එකී ස්ථානය පසුකරමින් හා නවතිමින් දුම්රිය 750කට අධික සංඛ්‍යාවක් ගමන් කරයි. මේවායේ එදිනෙදා ගමන් කරන මගීන් සංඛ්‍යාව ලක්ෂ 20 ද ඉක්මවයි. එහි විශාලත්වය බ්‍රිතාන්‍යයේ බුසිසිටි දුම්රිය ස්ථානය මෙන් තුන් ගුණයකි. වොටර් ලූ දුම්රිය ස්ථානය මෙන් හත් ගුණයකි. මේ සා විශාල දුම්රිය ස්ථානයේ නිවාස අහිමි පවුල් වසරකට දහස් ගණනක් තම රාත්‍රිය ගත කරමින් ජීවිකාව ගෙන යති. එබැවින් මෙය මිනිස් ජාවාරම්කරුවන්ට හොඳ ලිංගික වෙළෙඳපොළකි.

දුම්රිය වේදිකා 20 අතුරින් 4 වැනි වේදිකාව මිනිස් ජාවාරම පිළිබඳ කුප්‍රකටම වේදිකාවයි. එය උද්භිද උද්‍යානයකින් සමන්විත නිසා කිසිවෙකුගේ දෑසට නොපෙනී සිය කාර්ය කරගැනීමට මිනිස් ජාවාරමකරු සමත්ය. ආසියාවේ විශාලතම රෙඩ් ලයිටි නැමති ලිංගික කලාපය වු ලිංගික ශ්‍රමිකයන් 12.000කට ද වඩා වෙසෙන සොනගාචි (Sonagachi) පිහිටා ඇත්තේ දුම්රිය ස්ථානයට කි.මී. දෙකක දුරකිනි. දිනකට ලක්ෂ ගණනක් එහාමෙහා යන මෙම දුම්රියපොළ වෙත ඉන්දියාවේ සතර දෙසින් පැහැර ගන්නා ලද ගැහැනු දරුවන්ද, පිරිමි දරුවන්ද වෙළෙඳාම පිණිස හුවමාරුවන්නේ සීල්දාහ් දුම්රිය ස්ථානයේය. ඉන්දියාවේ 2011 දී දරුවන් 15,284ක් අතුරුදන් වී යැයි වාර්තා වී ඇති අතර එය 2015 වනවිට 41893ක් වීමෙන් වහල්භාවයට ලිංගික වෘත්තිය සඳහා බිලිවෙන දරුවන්ගේ සංඛ්‍යාව අපට තේරුම් ගත හැකිය.

සීල්දාහ් දුම්රියපොළෙන් පමණක් මසකට දරුවන් දාහකට අධික සංඛ්‍යාවක් වහල් වෙළෙඳාමට බිලිවන බව පැවසේ. දිනපතාම දරුවන් පැහැර ගැනීමේ අවදානම ඇත්තේ දුම්රියපොළේ රාත්‍රිය ගතකරන නිවාස අහිමි පවුල්වල දරුවන්ටය. පසුගිය 2016 අවුරුද්දේ මැයි මාසයේ සිට ජුනි මාසය තෙක් එසේ පැහැර ගත් දරුවන්ගේ සංඛ්‍යාව 1628කි. එය ඉන්දියාවේ එකම ස්ථානයක මසක් ඇතුළත පැහැර ගත් ඉහළම දරුවන් ගණන බවට පත්වී ඇත. එම පැහැර ගත් දරුවන් අතර ගැහැනු ළමයි 134ක් සිට ඇති අතර වයස අවුරුදු 4ක කුඩා පිරිමි දරුවෙක්ද සිටී. ඒසේ පැහැරගත්තාට පසුව පොලිසිය කළේ නිවාස අහිමිවූවන් සිය ගණන් අත්අඩංගුවට ගැනීමය. පොලිසිය එය කළේ නිවාස අහිමිවූවන්ගේ ආරක්ෂාව තකා යැයි පසුව කියා තිබේ. එහෙත් සෑම වසරකම මෙම දුම්රිය ස්ථානයට දහස් ගණනක් දරුවෝ පැමිණෙති. සමහරු එන්නේ ටික දවසක් නැවතී සිට හොඳ රැකියාවක් සොයා ගෙදරට මුදල් ටිකක් යැවීමටය. තවත් සමහරු පැමිණෙන්නේ පවුලේ දරිද්‍රතාව ඉවසා සිටිය නොහැකි තැනය.ඔවුහු මාස ගණනක් එසේ බලා සිට ක්ෂණයකින් අතුරුදන් වෙති. ඔවුන් කවුද කොහේසිට පැමිණියාද යන්න කිසිවෙක් දන්නේ නැත. ඒවා කිසිදු සංඛ්‍යා ලේඛනයකට වැටෙන්නේද නැත.

දුම්රිය ස්ථානයට අයත් භුමිය කිලෝමීටර් 40 දක්වා දිවෙන නිසා බොහෝ නිවාස අහිමිවූවෝ කාඩ් බෝබ් හෝ ඉටිකළ භාවිතා කරමින් පැල්පත් සදා ගනිති. දුම්රිය ස්ථානය අවට නිවැසි බොහෝ හිතුවක්කාර දරුවෝ සිය නිවෙස්වලට නොකියා දුම්රිය ස්ථානයේ නිදහස් අන්තර්ජාල පහසුකම් ඇති නිසා තම ජංගම දුරකථන රැගෙන රාත්‍රියේ මෙහි පැමිණෙති. හදිසියේ කඩාවදින ලිංගික මිනිස් ජාවාරම්කරුවන්ගේ දෑතට ඔවුහු නිස්කාරණේ ගොදුරු වෙති. මෙහි පැල්පත් අටවා ඇති පවුල්වල සමහර දරුවෝ සිය පවුලට යමක් උපයා දීම පිණිස සිය කැමැත්තෙන්ම ගණිකා වෘත්තිය තොරා ගනිති. දුම්රිය ස්ථානයට රාත්‍රි කාලයේ කඩා වදින බීමත් මැරයන් දරුවන්ගේ මවුවරුන්ට පහරදී දරුවන් දුම්රිය රථගාල තුළ ලිංගික අඩන්තේට්ටමට භාජන වීම සාමාන්‍ය දෙයකි. පොලිසිය කිසිවිටක නිවාස අහිමිවූවන්ගේ පැත්තේ නොවේ. පොලිසියටද අවශ්‍යව ඇත්තේ කවුරුන් හෝ පහර දී මේ නවාස අහිමිවූවන් පන්නා දැමීමට මිස දූෂකයන් අත්අඩංගුවට ගැනීම නොවේ.

මේ අවුරුද්දේ වාර්තා වන පරිදි සීල්ඩා දුම්රිය ස්ථානය පිහිටි බටහිර බෙංගාලයේ පමණක් දරුවන් 614 ක් අතුරුදන්ව ඇත. දුම්රිය ස්ථානය නිවෙස්කරන් ඇති බොහෝ දරුවෝ රුපියල් 5ක් ගෙවා ඩෙන්ඩ්‍රරයිඩි Dendrite නමැති මත්ද්‍රව්‍යවලට අැබ්බැහි වි සිටිති. ඔවුන් සුදුමැලිය. දවස පුරා යථාර්ථයෙන් බොහෝ ඇතය. මිනිස් ජාවාරම්කරුවන්ගේ පහසුම ඉලක්කය ඔවුහුය. මේ සියල්ල මෙසේ තිබියදී මෙම දරුවෝ අප්‍රමාණ සතුටෙන් යුතුව සීල්දාහ් දුම්රියපොළ රථ ගාලේ පාපන්දු ක්‍රීඩා කරති. ක්‍රිකට් ගසති.

[උපාලි ජයසිංහ]

මාතෘකා