දෘශ්‍යාබාධිත ක්‍රිකට් වෙනුවෙන් අනුග්‍රාහකයකු අවශ්‍යයි

 ඡායාරූපය:

දෘශ්‍යාබාධිත ක්‍රිකට් වෙනුවෙන් අනුග්‍රාහකයකු අවශ්‍යයි

ක්‍රිකට් යනු බොහෝ දෙනකු ප්‍රිය කරන ක්‍රීඩාවකි. මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස හැඳින්වෙන මෙම ක්‍රීඩාවේ නිජ බිම එංගලන්තයයි. අප රටද ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමට ගොස් ඇත. අපේ රටේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමක් සිටින බව ඔබ දැන සිටියාද? ඔබට මෙය විශ්වාස කිරීමට අපහසු නම් අන්තර්ජාලය භාවිතයෙන් එය පැහැදිලිකරගත හැකිය. දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් ඇති රාජ්‍යයන් ලෝකයේ 10ක් පමණ ඇත. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය ඉන් රාජ්‍යයන් කිහිපයකි.

ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිතයන් වෙනුවෙන් වන ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹී ඇත්තේ 1952දී පමණය. ඒ රත්මලාන අන්ධ විද්‍යාලය මූලික කරගෙනය. නමුත් ජාත්‍යන්තර තරග සඳහා ලාංකේය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහභාගී වී ඇත්තේ 1998න් පසුවය. 2012 වර්ෂය තෙක් කිසිදු අනුග්‍රහයක් රජයෙන් මොවුනට ලැබී නැත. ලැබුණද එය යම් ප්‍රමාණයකට පමණි.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් අතර තෙවැනි තැන ලබාගෙන සිටී. එහි පළමු තැන ඉන්දියාවටත්, දෙවැනි තැන පාකිස්තානයටත් හිමිව තිබේ. මොවුන්ද ජාතික ක්‍රිකට් කණ්ඩායමකි. නමුත් එය නමට පමණක්ද යන ගැටලුව මතු වේ. විශේෂත්වය වන්නේ ඔවුන් මේ වන විට ජයග්‍රහන රැසක් ලබාගෙන තිබීමය. ඒ කීර්තිය අප රටට නොවේද? නමුත් කිසිවකු මේ පිළිබඳව කතාබහට ලක් නොකිරීම කනගාටුවට කාරණයකි.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ දැනට වැඩ බලන ලේකම් චමින්ද පුෂ්පකුමාර මහතා අප සමඟ පවසා සිටියේ ඔවුන් ක්‍රීඩා කරනුයේ බොහෝ දුෂ්කරතා රැසක් මධ්‍යයේ බවය.

“2012 වර්ෂයෙන් පසුව ක්‍රීඩා අමාත්‍යායංශයේ සහයෝගය අපිට ලැබෙන්න පටන් ගත්තා. මේ වනතෙක් ඇමතිතුමාගේ නිර්දේශය මත තමයි එම සහයෝගයත් ලැබුණේ. අපට ක්‍රීඩා පුහුණුවට හරි හැටි ස්ථානයක් නැහැ. දැනට අපේ කණ්ඩායම පවතින්නේ පැරා ඔලිම්පික් කමිටුව යටතේ. නමුත් ක්‍රිකට් කියන්නේ ඔලිම්පික් ක්‍රීඩාවක් නොවේ. ඒ නිසා අපට අනුග්‍රාහකයන් සොයා ගැනීම පවා අපහසු වී තිබෙනවා.

“පසුගිය වර්ෂයේ සහ මේ වර්ෂයේ මොවුන් සහභාගි වූ තරගවලින් වැඩි ප්‍රමාණයක් ජය අරන් තියෙනවා. සියලු තරගාවලිවල තරගාවලියේ වීරයා තේරී ඇත්තේ අප කණ්ඩායම තුළින් වීමද විශේෂත්වයක්. නමුත් ඔවුන්ට දිනපතා පුහුණුවක් ලැබෙන්නේ නැහැ. තරගාවලියට යන්න ඔන්න මෙන්න කියා අවම පහසුකම් යටතේ ලබන පුහුණුවෙන් තමයි ඒ දිනුම ලැබෙන්නෙත්.

අපට ඉන්නේ දෘශ්‍යාබාධිත පුහුණුකරුවන් කිහිපදෙනකු පමණයි. නමුත් දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් සියල්ලටම පාහේ දෘශ්‍යාබාධිත පුහුණුකරුවකු වගේම සාමාන්‍ය පුහුණුකරුවකුත් ඉන්නවා. අපටත් ඒ වගේ පුහුණු නිලධාරියකු සිටීම ඉතාමත් වටිනවා. මොකද ඒ අයගෙනුත් අපට ඉගෙන ගන්න තියෙන දේවල් අපමණයි. දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිළිබඳව හොඳ පුහුණුවක් ලැබිය යුතුයි.”

ඔහු ප්‍රකාශ කරන පරිදි වෙනත් රාජ්‍යයන්හි දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් තම ජාතික කණ්ඩායම තරමටම අගය කෙරේ. පාකිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව වැනි රාජ්‍යයන් තම ජාතික කණ්ඩායම හා ඒකාබද්ධ කර අනුග්‍රාහකයන් පවත්වාගෙන යයි.

මාධ්‍ය අනුග්‍රහයද වෙනත් රටවල ඉතා ඉහළ මට්ටමක පවතින බව ඔහු ප්‍රකාශ කර සිටියේය. ඉන්දියාව වැනි රටවල ක්‍රිකට් කණ්ඩායම සමඟ මාධ්‍ය හමු පැවැත්වීමට ඇත්තේ තරගයකි. මෑතකදී ලංකාවට පැමිණි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තම කණ්ඩායමට මෙන්ම අප කණ්ඩායමටද මාධ්‍ය අනුග්‍රහය ලබාදී ඇත. චමින්ද මහතා ප්‍රකාශ කර සිටින්නේ එවන් අවස්ථාවන්හි ඔවුන් රටක් ලෙස අසරණ වන බවය.

“දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් පාලක මණ්ඩලය යටතේ ලියාපදිංචි කරගැනීම අපේ ප්‍රධාන ඉල්ලීමක් වෙනවා. ඒ වගේම දැනට කණ්ඩායමේ සිටින සියලු දෙනා රජයේ රැකියා කරන අය නොවේ. ස්වයං රැකියා කරන අය පවා මේ කණ්ඩායමේ සිටිනවා.

ඔවුන් පුහුණුවීම්වලට පැමිණෙන්නේ පෞද්ගලික මුදලින්. දුෂ්කරතා මධ්‍යයේ ක්‍රීඩාකරන ඔවුන්ට පෝෂණ අවශ්‍යතා හෝ සැපිරීම ඉතාම වටිනවා. අපි පුහුණුවීම් සිදුකරන්නේ තරගවලට යෑමට සතියකට පමණ පෙර සිට. මීට වඩා පුහුණුවීම් පහසුකම්, පුහුණුකරුවන් ලැබේ නම් තෙවන තැන සිටින අපේ කණ්ඩායම තවත් පියවරක් ඉදිරියට තැබීම නිසැකයෙන්ම කළ හැකියි.

2019 වර්ෂයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සමාජ තරගාවලියට තවමත් අනුග්‍රාහකයකු අපට ලැබී නැහැ. ඊට අපට අනුග්‍රාහකයකු ලැබේ නම් එය එම වසරේ පැවැත්වෙන ඉන්දීය අයිපීඑල් තරගාවලියට සහභාගීවීමත් පහසුවක් වෙනවා.

එම තරගාවලිය ඇරඹෙන්නේ මීළඟ වසරේදීමයි. එම වසරට අපට දැනටමත් තරගාවලි කිහිපයක් ලැබී තිබෙනවා. අපි ජයගෙන ලංකාවට ආවම පුරුදු විදිහටම සුදු සැරයටියෙන් ගමට යනවා. අපිව පිළිගන්න මල් මාලා, පිළිගැනීම් උත්සව නැහැ. ඒවා අපිට අවශ්‍යත් නැහැ. අවශ්‍යවන්නේ අපේ අඩුපාඩු පූරණය කිරීම පමණයි. ජාතික කණ්ඩායමක් විදිහට ලියාපදිංචි කර ගැනීමයි.”

ඔවුනගේ ඉල්ලීම්වලට බලධාරීන්ගේ දෑස් හැරේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබටත් හැකි නම් ඔවුනට මාධ්‍ය අනුග්‍රහයක් හෝ මූල්‍ය අනුග්‍රහයක් ලබාදීමට රැස පුවත්පත අමතන්න.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා