ගුවනින් එන මතක සුවඳ

 ඡායාරූපය:

ගුවනින් එන මතක සුවඳ

පසුගිය දිනවල යම් අධ්‍යයන කටයුත්තක් සඳහා අප කිහිප දෙනකුට විවිධ වර්ගයේ ගුවන් විදුලි වැඩසටහන් රැසක් ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබිණ. ඇතැම් වැඩසටහන්වල තේමාවාදන දශක හතර පහකට පෙර අවධිවල මුලින්ම ඇසුණු ඒවා වී තිබීම අපූර්ව අත්දැකීමක් විය. කරුණාරත්න අමරසිංහ, නෙතලී නානායක්කාර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සුමනා ජයතිලක යනාදී වශයෙන් පැරණිම සන්නිවේදකයන් රැසකගේ හඬ අසන්නට ලැබීම වාසනාවකි.

අලුත් ශිල්පීන් සම්බන්ධ වී සිටියද වැඩසටහන්වල එදා තිබූ නැවුම් බව සහ ගුණාත්මක බව ආරක්ෂා වී තිබීම විශේෂත්වයක් විය. පිටපත, නිෂ්පාදනය, කටහඬ, සංගීතය, නාද සංයෝජනය හා භාෂාව යන කවර අතින් ගත්තද සතුටු විය හැකි මට්ටමක තිබීම ප්‍රශංසා කටයුතුය.

අපගේ එම නිරීක්ෂණය සහ නිගමන අදාළ වන්නේ රජයේ ගුවන් විදුලි නාළිකාවලට පමණය. ස්වදේශීය සේවය, වෙළඳ සේවය, කඳුරට සේවය, රජරට සේවය සහ ඌව ප්‍රජා ගුවන් විදුලි සේවය මේ අතින් වඩාත් කැපී පෙනිණ.

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සේවයෙහි සම්ප්‍රදාය සහ හර පද්ධතිය බොහෝ දුරට ආරක්ෂා වී ඇත්තේ එම සේවාවල යැයි හැඟේ. මා එයින් අදහස් කරන්නේ ප්‍රවෘත්ති හා දේශපාලන සාකච්ඡා යනාදිය නොව විචිත්‍රාංග, සඟරාමය වැඩසටහන්, ළමා හා සම්මුඛ සාකච්ඡා යනාදියයි.

සාපේක්ෂව ගත් කල පෞද්ගලික නාළිකාවල ඇත්තේ පරිහානි මට්ටමකි. තරගකාරීව බාල නිෂ්පාදන ඇඟේ ගසන්නට උත්සාහ දරනු විනා ගුවන් විදුලි සන්නිවේදනය මනාව හදාරමින් නව අත්හදා බැලීම් කරමින් දක්ෂ සන්නිවේදකයන් වීමේ වුවමනාවක් බොහෝ සන්නිවේදකයන්ට නොමැති බව පෙනේ.

ඒ අතින් බැලූ විට පෞද්ගලික නාළිකා විශාල ගණනක් ආරම්භවීමෙහි ප්‍රතිඵලය වුයේ පිරිහුණු රසඥතාවක් සහිත යොවුන් හා ළමා පරපුරක් බිහි වීමය. එෆ්.එම්. නාළිකාවල පිරිහුණු බස ඔවුන්ගේ ලේඛන වහර පිරිහෙළීමටද බලපා තිබේ.එමෙන්ම අධ්‍යාපන බලධාරීන්ගෙන් ලයිසන් ලබාගෙන විදුහල්වලට රිංගන පෞද්ගලික නාළිකා දරුවන්ගේ මනසට ඉහඳ තබන්නේ අයිසින් කේක්වල දවටා වස දෙන්නාක් මෙනි.

පෞද්ගලික නාළිකා ආරම්භ වීමට පෙර පැවතුණේ රජයේ ප්‍රධාන ගුවන් විදුලි සේවා සහ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා පමණි. කොළඹ ගුවන්විදුලිය අභිභවා පෙරට ඒමටද ඇතැම් ප්‍රාදේශීය සේවාවලට හැකි විය.

1980 දශකයෙහි වරක් ආචාර්ය නන්දන කරුණානායක ගුවන් විදුලි ශ්‍රවණ සමීක්ෂණයක් සිදු කළේය.

වසරෙහි වැඩිම ජනප්‍රිය වැඩසටහන වූයේ රජරට සේවය සඳහා ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සම්පාදනය කළ පිළේ පැදුරයි.

වස‍ංගතයක් මෙන් පෞද්ගලික නාළිකා ව්‍යාප්ත වීමෙහි සිදුවීම පිටුපස ඇත්තේ අත යට ගනුදෙනුය.

වඩාත්ම අවාසනාවන්ත කරුණ වන්නේ ස්වදේශීය සේවය හා රජරට සේවය යනාදී සේවා ශ්‍රවණය කිරීමේ දුෂ්කරතාවයි. ඇතැම් විට කොළඹටද නෑසේ. ඒවායෙහි තරංග සංඛ්‍යාත සිමා කර තිබේ.

මෙය සැලසුම් සහගත ක්‍රියාවලියකි. රටක අනාගත ශික්ෂණයට වඩා මුදල් තණ්හාවට ඉඩ දුන් පසු මෙවැනි තත්ත්වයක් ඇති වීම පුදුමයට කරුණක් නොවේ.

පෞද්ගලික නාළිකා සිංහල බස අමු අමුවේ මරාදායි.

"මම එෆ් එම් නාළිකාවල මල්ලිලාගෙන් ඉල්ලන්නෙ මෙච්චර වටින භාෂාවක් වන සිංහල භාෂාව කන්න එපා කියලයි. ජ්‍යේෂ්ඨ කිවිවර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ නිතරම කරන මේ ඉල්ලීම ගුවනේ විසිර යෑමෙන් ඔබ්බට කිසිවක් සිදු වන බව නොපෙනේ.

පෞද්ගලික නාළිකාවල සේවය කරමින් හරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට වෙර දරන කිහිප දෙනා මෙයින් උරණ විය යුතු නැත. මා සඳහන් කළේ පොදු තත්ත්වයයි.

මාතෘකා