බබා නොවී රුබා කන්ඩ

 ඡායාරූපය:

බබා නොවී රුබා කන්ඩ

අම්මා ඉව්ව රතු කැකුළු බත පුසුඹයි. උන්දැ බුදුවෙන්ඩ ඕන ඒ තියෙන්නෙ ආදරේ පුසුඹ. අම්මලා, කිරි අම්මලා එහෙම තමයි ආයිබෝන්. මහ යායෙ කමත වගේ. ඉතිං ඒ ආදරෙත් එක්කම බඩ පිරෙන්ඩ බත් කැවුණා රන්රස වගේ පෑහෙන්ඩ උයලා තිබ්බ පෙති පොළොස එක්ක. මං කියනවට උයලා බලන්ඩ මෙහෙම. පොළහක් තම්බලා පෙති ගහලා පරිප්පු හරි, මුං පියලි නැත්නම්, කඩල පරිප්පු වගේ දෙයක් දාලා. බොහෝම රහ ගුණ කෑමක්. තෙලට හරි කිරට හරි කැමති විදියකට. අපේ අම්මා මඤ්ඤොක්කා කොළ කොටද්දිත් තිබ්බටු හරි ගැට පොළොස් හරි දාලා කොටනවා. ඒ මැල්ලුමත් බොහෝම රසයි.

දැන් ජීවතුන් අතර නැති පීල්ලෙගෙදර සීයා තමයි කාලෙකට ඉස්සර කිව්වෙ මඤ්ඤොක්කා කොළ කොටනකොට කුඩුමිරිස් ගෙඩි දාලා කෙටුවා කියලා. වැල පුරාම කටු තියෙන කුඩුමිරිස් ගම්මිරිස් වගේම සැරයි. පෙනුමත් එක වගේ. දැන් ඒවා දකින්ඩ අඩුයි. අහේනි කාලවල එව්වා අපේ ඇත්තන්ඩ මිරිස් වගේ වෙන්ඩ ඇති. ඔය පීල්ලෙගෙදර තියෙන්නෙ කිතුල්දෝවෙ කැලේ පීල්ලට උඩිස්සෙන්. ඒ ගෙදරට පීල්ලෙ ගෙදර කිව්වෙ කැලෙන් ඇදෙන දොළක් උන්දැලාගෙ වත්ත මැදින් පාත් වෙද්දි කිතුල්පත්තක් දාලා පීල්ලක් හදාගෙන තිබ්බ හින්දා. මං ඉස්සර මහ පීල්ලට නාවන්ඩ ඇදගෙන යනවට වඩා කැමති වුණේ පීල්ලෙගෙදර පොඩි පීල්ලට ගෙනියනවට. මොකද ඒ වත්තෙ හරියට තිබුණා පලතුරු. මදය රතුපාට පේර, හින්නාරං, ආනමාලු, අලිපේර විතරක් නෙවෙයි අත්දඬු වගේ මහත අලු බේරුණ උක් ගස්. ලෝභ නැතුං ඒ ඇත්තො ඒවා අපට දුන්නා විතරක් නෙවෙයි නාලා ඉවර වෙනකොට බෙලෙක් කෝප්පවලට වක්කරලා කහට බොන්ඩ දුන්නා දුඹුරු සීනි කැට එක්ක. මගේ බාල කාලෙ ගෙවුණ ඒ ගමට මං තවම දණ බිම ඔබලා වඳිනවා.

ඉස්සර තරම් නැතත් අදත් ගමේ ඒ බෙදාගැනීම තියෙනවා. ඕං ගෙදර ගියාම අම්ම පත්තර කරදහියක ඔතලා දෙනවා රතු රුබා දඬු ටිකක් කැන්ද කොළ වගේ ලොකු කොළ එක්කම. වඩුවැඩ කරන මහතුන් මාමලගෙ නැන්දලු දුන්නේ. "උඹ ආසයිනෙ. මේ ටික උඹම ගෙනිහින් උයාගෙන කාපං. ආයෙ උයාගන්ඩ බැරිවයෑ උඹට" අම්මා දන්නවා මං රුබා කන්ඩ ආස විත්තිය. රතු රුබා සීතල පොළවෙ සාරෙට වැවෙනවා. කොළ පාට හීන් කැලෑ රුබා කවුරුවත් වැව්වෙ නෑ. ඒත් ඒවත් හදිස්සියකට නෙළාගෙන උයන්ඩ පුළුවන් තරම් රහයි. උඩරට දුම්රිය මාර්ගෙ දෙපැත්තෙ ගොඩක් තැන්වල මේ කැලෑ රුබා වැවිලා තියෙනවා. මේවා ඉතිං සුද්දො අපිට ගෙනැල්ල දීපුව තමයි. ඉස්සර සමහර උදවිය බත් උයනකොට හුමාලෙන් තැම්බෙන්ඩ රතු රුබා දඬු බත උඩින් තියනවා. ඒවා තැම්බුණාම බොහෝම මෘදු වෙනවා. ඉතිං එතකොට පොඩි කරලා සීනි දාලා ගත්තම ජෑම් වගේ. ඒවා අම්මලා පොඩි උන්ට කවනවා. මං නම් ආස රුබා මාළුවට. හරිම ලේසියි උයාගන්ඩ. රුබා කොළ වගේම දඬු කපලා මැටි ඇතිළියකට දාලා පහේ, මිරිස්, ගම්මිරිස් වගේම තියෙනවනම් හීන් කොච්චි කරලක් දෙකක්, ලුණු, ලූනු, කරපිංච දාලා වතුර ස්වල්පයක් දාලා වහලා තැම්බෙන්ඩ තියනවා. තැම්බෙනකොට රුබා දියවෙනවා මෘදු ජල්ලියක් වගේ. දැන් තියෙන්නෙ ඒ මුසුව වෙන භාජනේකට අස් කරලා ඇතිළියට තෙල් දාගෙන අබ සුදු ලූනු පුපුරුවාගන්න එක. ආං ඊටපස්සෙ රුබා ටික තෙම්පරාදු කරගන්ඩ ඕන. ඒක ඇඹුල් චට්නියක් වගේ. ගෑවුණත් බත කන්ඩ පුළුවන්.

මං ඉතිං ඔය තෙම්පරාදුව දාගෙන මාත් එක්ක කෑමක් බීමක් බෙදාගන්න මහේෂ් දොස්තර මහත්තැන්ටත් ඩිංගිත්තක් දුන්නා කියමුකො. උන්නැහේ බඩගෙඩියෙ නිල් නහර මතුවෙනකම් තම්බපු වවුනියා නාඩු හාල් බත් එව්වා එක්ක කාලා ටිකක් අරන් තියාගත්තලු රෑ පානේ ඉඳි ආප්ප කන්ඩ. හැමදාම හොදිත් එක්ක කන්නෙ නැතිව වෙනසක් කරලා ඉඳි ආප්ප කාලා බලන්ඩකෝ. මියෙන දළු නැත්නම් අලකොළ වගේ මාලුවක් එක්ක. මං නම් ඉතිං වෙනස් කෑම ජාති කන්ඩ රුසියෙක්. පහුණු දොහක කොස් දෙල් ඇට සේරුවක් විතර හම්බ වුණා නෙව. ඒවා වෑංජනේ උයන්ඩත් පුළුවන්. ඒත් ඇයි ආයෙ ඒකට නැහෙන්නෙ තම්බලා ගත්තම කජුමද වාගේ රහ වෙනවනම්. මං කරපු දේ ඇට සේරුවම තම්බලා පැංචිටත් ටිකක් සුද්දබුද්ද කරලා දීලා කාරිය, පොල්ඉරු දෙක තුනකුත් උලුප්පගෙන වාඩිගත්ත. කනව දැනුන් නෑ කියමුකො. අප්පේ එව්වගෙ රහ. අපේ දේශීය ආහාර රටාවෙ තියෙන මේ වගේ කෑම ජාති එක පැත්තකින් ඖෂධ. අනික් අතට සියයට සියයක් කාබනිකයි නෙව. ඒ නිසා මේ කියන්නෙ ඒ වගේ භවභෝග ජාති දැක්කම පිටුපාලා යන්ඩ එපා. තමුන්නෙ දරුවො ගැන හිතලවත් ගෙනිහිං උන්ට කන්ඩ දෙන්ඩ.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා