අශ්වයකු පුරෝහිත ලෙස පත්කරගත් කලිගුලා

 ඡායාරූපය:

අශ්වයකු පුරෝහිත ලෙස පත්කරගත් කලිගුලා

දේශීය නාට්‍ය කලාවෙහි අසහාය නාට්‍යකරුවා සුගතපාල ද සිල්වා ය. ඔහු විසින් 1975 අගොස්තු මස පළමුවරට වේදිකාවට ගෙන එන ලද තුරඟ සන්නිය නාට්‍ය අතිශයින්ම දේශපාලනික නාට්‍යයකි. එය හංගේරියානු ජාතික නාට්‍යකරුවකු වූ ජුලියස් හේ විසින් රචිත “ද හෝර්ස් ” නම් නාට්‍යයෙහි සිංහල පරිවර්තනයයි.

රෝමයේ පාලකයෙකුව සිටි කලිගුලා නම් ආඥාදායකයකු ක්‍රියා කරන හිතුවක්කාර ස්වභාවය මෙමගින් ප්‍රකට කරයි. එපමණක් නොව, මුළු රාජ්‍යයම අඥානකමින් තමන් විසින් තමන්වම රවටා ගනිමින් කටයුතු කරන විහිළු ස්වභාවය නිරූපිතයි.

තුරඟ සන්නිය නාට්‍යයට පදනම් වන කතාව සැකෙවින් මෙසේ ය. රාත්‍රී කාලයේ කලිගුලා නම් අධිරාජ්‍යයා වෙස්වලාගෙන සූදු ක්‍රීඩා කිරීම පුරුද්දක් වශයෙන් කරයි. සූදු පිටියේ සිටි සිලේනස් නම් පුද්ගලයා පරාජයට පත්ව අවසන ඔහුගේ අශ්වයා ද ඔට්ටුවට තබයි. සිලේනස් ඉන් ජය ලබයි. අශ්වයාගේ ගුණය නිසා සිලේනස් ජය ලැබූ බව රජු දැක මවිත වෙයි. මහානුභාව සම්පන්න ඉන්ච්ටේටස් නම් අශ්වයාව කලිගුලා අධිරාජ්‍යයා විසින් පුරෝහිත තනතුරට පත්කර ගන්නේ ඉන් පසුවයි. වඩා උත්ප්‍රාසාත්මක අවස්ථාව වන්නේ මෙම පුරෝහිත අශ්වයාට බිරිඳක් සොයා ගැනීමට කටයුතු කරන අවස්ථාවයි. බොහෝ වංශවත්, ධනවත්, කුලවත් කාන්තාවන් පමණක් නොව රජ වාසලේ සේවය කරන ඉහළ නිලධාරීන්ගේ දියණියන් ද විවාහ කරදීමට උත්සාහ දරයි. එය සැබැවින්ම තුරඟ උන්මාදයකි. නගරයේ කාන්තාවෝ අශ්වයන් සේ හේෂාරාවය නැඟීමට වෙහෙසෙති. ඇතැම්හු අශ්වයන් සේ බුදිති, ඇවිදිති, කටකලියා දමති. සැබැවින්ම මේ නම් විහිළුවක්මය. අශ්වයා වෙනුවෙන් තම දියණිය විවාහ කර දීමට කැමැත්තෙන් සිටින පිරලීස් නම් මව පවසන්නේ මෙබන්දකි.

“ඔය රෝමයේ ඉන්න පෙළක් කන්‍යාවෝ එක්ක ගත්තම, මගෙ දූගෙ කන්‍යාකමේ අඩුවක් නෑ. එච්චරද ? හොද තරුණ ලේ. තාම හිලෑ වෙලා නෑ. කටකලියාව දැම්මා විතරයි. එහෙනම් බලාගන්න (කසයක් ගෙන) දුව හැල්මේ යනවා. හා හා දැන් පිම්මේ. හරි දැන් පෙරෙට්ටු පියවර. අලි හප්. ස්වාමිවරුනි, දැන් නරඹන්න. ඔන්න දැන් උග්‍ර පිම්ම...”

මෙවැනි උත්ප්‍රාසාත්මක භාවයකින් නාට්‍යයේ සිදුවීම් විකාශනය වේ. අහෝ, මීට වසර දහස් ගණනකට පෙර රෝමයේ විසූ කාන්තාවන් සේම වර්තමානයේ ද එවැනිම කාන්තාවන් විසීමේ අරුමය...! අවසන පුරෝහිත අශ්වයාගේ බිරිඳ වීමට වාසනාවන්තිය වන්නේ අමියානා ය.

අමියානා රාත්‍රී කාලයේ යහනේ සිටින්නේ අශ්වයා නමින් පෙනී සිටින සිලේනස් සමඟය. අමියානා පිළිබඳ සිතක් පහළ කර ගන්නා කලිගුලා අධිරාජ්‍යයා ඇය හමුවීමට අශ්වයකු ලෙසින් වෙස්වලාගෙන යයි. නිලධාරියකු අශ්වයකු ලෙස වෙස්වලාගත් රජුව අල්ලා සුරාසැල් හිමියාගේ බූරු දෙනගේ බෙල්ලේ බදියි. කෝප වූ ජනතාව රෝමයට වාසනාව ගෙනා අශ්වයාව පහරදී මරා දමා වෙස්වලාගත් රජුට ද පහර දෙයි. අමියානා හා සිලේනස් දිවි බේරා ගැනීමට නගරයෙන් පැන යයි.

බලය අභිමුව මිනිස් සබඳතා කොතෙක් දුරට දූෂණය වන්නේ දැයි තුරඟ සන්නිය නාට්‍යයෙන් මනාව නිරූපණය වෙයි. රෝමයේ මිනිසුන් විසින් කලිගුලා අධිරාජයා හඳුන්වනු ලැබුවේ දෙවි කෙනෙකු ලෙසින් ය. ඔහුගේ තීන්දු තීරණ දේව භාෂිත විය. කිසිම විටක ඔහුගේ නියෝග ප්‍රශ්න කිරීමට ලක් නොකිරුණි. රට වැසියන් සේම නිලධාරීහූද ඔහුගේ අණ අකුරටම ඉටු කළහ. එම නිසාම කලිගුලා අධිරාජ්‍යයා හටත් තමා පිළිබඳව නිවැරැදි තක්සේරුවක් ලබා ගැනීමට නොහැකි විය. සුරාවෙන් හා සූදුවෙන් මත් වූ රජු අශ්වයෙකු පුරෝහිත තනතුරට පත් කර ගන්නේ එම නිසා ය. එවැනි අඥාන පුරෝහිතයන් නිසා විනාශ වූ කොතෙකුත් රජවරු ඉතිහාසයේ ද වර්තමානයේ ද සිටිති.

මෙම නාට්‍යයෙන් කරුණු දෙකක් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරයි. බලය අත්පත් කරගත්තවුන් තම බලයෙහි සීමාවන් ඉක්මවා යමින් තම සිතැඟියාවන් තෘප්ත කර ගන්නා ආකාරය හෙළි කරයි. තවද මහජනතාවද පාලකයා කෙරේ වූ බිය හෝ වෙනයම් පක්ෂපාතී භාවයක් හේතුවෙන් පාලකයාගේ සියලු නොමනාකම් ඉවසා ගෙන සිටිති. සියලු අනුවණ ක්‍රියා ඉතා ඉහළින් අගය කරයි. අවසානයේ සිදුවන්නේ පාලකයන්ද පාලිතයන් ද සමාජමය වශයෙන් එකවර නාය යෑමට ලක් වීමයි.

මෙවැනි පාලකයෝ ද පුරෝහිතකම් කරන අශ්වයෝ ද එම අශ්වයන් සමඟ ප්‍රේමයෙන් බැඳෙන කාන්තාවෝ ද මේ සියලු විහිළුකාරී ස්වභාවයන් නොදැක්කා සේ සිටින හෝ දැක දැක අගය කරන පුරවැසියෝ ද රෝම යුගයේ ද වර්තමානයේ ද සිටිති. එමෙන්ම අනාගතයේ ද බිහි විය හැකිය.

පාලකයා කලිගුලා කෙනකු නොවීමටත් පාලිතයා සිලේනස් කෙනකු නොවීමටත් වගබලා ගන්නේ නම් මේ ලෝකය තවත් සුන්දර වනු ඇත. අරුමය වන්නේ එසේ නොවීමයි.

[ගාමිණි බස්නායක]

මාතෘකා