සමහරක් වචනවලට කැපෙන්නේ නෑ.

 ඡායාරූපය:

සමහරක් වචනවලට කැපෙන්නේ නෑ.

ඒ වුණාට හීරෙනවා...

අහල තියෙනවද? පරණ කතාවක් තියෙනවා. “හොඳට නරකට දෙකට කටමය” කියලා. ඒ කියමන කොච්චර ඇත්තද කියලා දැනෙන්නේ, පුංචි පුංචි වචන එහෙ මෙහෙ වීම් හින්දා අමනාප වුණු යාළුවෝ ගැන මතක් වෙද්දී. සිද්ධ වෙච්ච සිත් තැවුල්, ආයේ ආයේ මතක් වෙද්දි.

කතාබහකදි මිනිස්සුන්ට තමුන්ගේ වචන ගැන වගකීමක් තියෙන්න ඕනේ වෙන මොකුත් හින්දා නෙවෙයි. කටින් පිට වුණාට පස්සේ අපිට ඒ වචන සංස්කරණය කරන්න බැරි හින්දා. කියපු දෙයක්, පරිගණක භාවිතාවෙදි වගේ undo කරන්න බැරි හින්දා. කොහොමත්, කියපු වචනයක් අලි ඇත්තු ලවා වත් ආයේ අද්දවා ගන්න බෑ කියනවනේ. මට ඒ වගේ මතක ගොඩයි.

මීට අවුරුදු දෙකකට තුනකට කලින් දවසක, පන්තියක උගන්නමින් ඉන්න අතරතුර, උපමා කතාවක් ඇදලා ගත්තේ පාඩම තවත් හොඳට පැහැදිලි කරන්න හිතාගෙන.

“ළමයි, අහලා තියෙනවද කණා කිරි කාපු කතාව”

මම කතාව නැවැත්තුවේ පන්තියේ ඉස්සරහම පේළියෙන් කවුරු හරි ලොකු හුස්මක් පහළට දානව ඇහුණ හින්දා. එතකොටයි මතක් වුණේ, ඇස් දෙකම පොඩ්ඩක්වත් නොපෙනෙන, ඒ වුණාට පුදුම තරමේ කැපවීමකින් ඉගෙන ගන්න දරුවෙක් මගේ පන්තියෙත් ඉන්නවා නේද කියන එක. ඒ විතරක් නෙමෙයි, ඒ වෙලාවේ දරුවව පන්තියට ගෙනත් ඇරලපු එයාගෙ තාත්තත් හිටියේ පන්තියේම පිටි පස්සේ වාඩි වෙලා. ඇස් නොපෙනෙන දරුවගේ දුක්බර මුහුණ දිහා බලපු මට කොහෙත්ම අර තාත්තගේ මූණ බලන්න ශක්තියක් ඉතුරු වුණේ නෑ.. කණා.. ඒක කොච්චර කැත වචනයක්ද? ඇස් දෙකම නොපෙනෙන මනුස්සයකුට කොච්චර රිදවන්න පුළුවන් වචනයක්ද? ඒක නොහිතා, අහම්බෙන් කියවුණු වචනයක් කියලා ඒ දරුවා තේරුම් ගන්න ඇති. ඒත් ගුරුවරයෙක් විදියට මට ඊට වඩා වගකීමකින් වචන භාවිත කරන්න තිබුණා.

තවත් දවසකදී, පන්තියේ කැපී පෙනෙන විදියට වැඩ කරන දරුවෙක් බොහොම උදාසීනව, අවධානයක් නැතිව ඉන්නවා දැකපු මට දැනුණේ තරමක කෙන්තියක්. ඒ හින්දාම මම පන්තියේ අනෙක් ළමයි ඉදිරියෙම අර දරුවට දොස් කිව්වේ හිතාමතාම ඔහුව තරමක් ලැජ්ජාවට පත් වෙන විදියට. හැබැයි අර දරුවගේ එකම ප්‍රතිචාරය වුණේ ඇස් දෙකේ කඳුළු පුරෝගත්ත අහිංසක හිනාවක්. පන්තිය ඉවර වෙලා මම පහළට බහිද්දි අර දරුවා මම එනකම් බලන් ඉන්නවා.

“සර්, අද මම පොඩ්ඩක් අවුලෙන් හිටියට සොරි”

පළමුවෙන්ම එයා සමාව ගත්තා. හැබැයි ඔහු දෙවැනියට කියපු දෙයින් සමාව ගන්න සිද්ධ වුණේ මට.

“සර්, අද මගේ අම්මා නැති වෙච්ච දවස..”

නිකමට හිතලා බලන්න. ඔයාගේ ජීවිතේ ඔය වගේ සිද්ධි කොච්චර වෙලා ඇත්ද? කී දෙනක් නම් අමනාප වෙලා ඇත්ද? තව කී දෙනෙක් නම් අමනාපකම් හංගගෙන ඉන්නවා ඇත්ද? ඇත්තටම මේක අපි හිතාමතා කරන වැරැද්දක් නෙමෙයි. අනික් කෙනාට රිදවන අරමුණක් අපේ කොහොමටත් නෑ. ඒත් තරහකාරයෙක් කුණුහරපෙන් බනිනවට වඩා හිතවතෙක් අතින් වචනයක් වැරදෙන එක අපිට දැනෙනවා. වැඩියෙන් රිදෙනවා. වචන භාවිතයෙදි අපි පරිස්සම් වෙන්න ඕනේ ඒ නිසා. වගකීමකින් තොරව ඔහේ කටට එන පලියට කියන වචන නිසා යාළුවෙක් තරහා වෙනවට වඩා කොච්චරක් නම් දේවල් වෙන්න පුළුවන්ද? ඇවිළිලා ගියොත් ජාතීවාදී ගැටුමක් පවා...

දවසක් අපි කොහේ හරි යමින් හිටියේ. මම හිටියේ මගේ දමිළ යාළුවෙක්ගේ කරේ අත දාගෙන. පාර අයිනේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් මොකක්දෝ රණ්ඩුවක. මට ඉබේටම මෙහෙම කියවුණා.

“මුන්ගෙ සද්දේ, හරියට හැඩි දෙමළු පඩි අරන් වගේ..”

අර යාළුවා මුලින් මොනවත්ම කිව්වේ නෑ. විනාඩියකට විතර පස්සේ හරිම හෙමිහිට මෙහෙම ඇහුවා.

“මල්ලි, මම කවදාවත් ඔහොම කෑ ගහනවා උඹ අහලා තියේද?...”

දමිළ ජාතිකයෙක්ගේ, කරවටේ අත දාගෙන යන ගමන් එයාගෙ ජාතියට ගරහන්න මට කිසිම වුවමනාවක් තිබ්බේ නෑ. මට ඒ වචනෙ කියවුණේ පුරුද්දට. ඒක එයාත් තේරුම් ගන්න ඇති. ඒ වුණත් අනිවාර්යයෙන්ම හිත රිදෙන්න ඇති. මොකද ඕනෑම මනුස්සයකුට තමුන්ගේ ජාතිය කියන්නේ හරිම සංවේදී තැනක් නිසා. ඒ වචන ටික කියවුණේ තමුන්ගෙම හිත මිතුරෙක්ගේ කටින් නිසා. හතුරෙක් පිහියෙන් අනිනවට වඩා යාළුවෙක් ටොක්කක් අනින එක රිදෙන නිසා.

අන්න ඒ හින්දයි මම කිව්වේ. සමහර වචනවලට කැපෙන්නේ නෑ. ඒ වුණාට හීරෙනවා. සීරුම් තුවාලයක් හොඳ වෙන්න කල් යනවා. හරි ඉක්මනට පැහැවනවා..

[රන්සර බණ්ඩාර]

මාතෘකා