මේ බෙහෙත නැද්ද?

 ඡායාරූපය:

මේ බෙහෙත නැද්ද?

ඉස්පිරිතාලය එකම දුක් ගොඩකි. ඔවුන්ගේ රෝගාබාධවලට පිළියම් සොයා පැමිණි ගමන් විඳින දුක් කරදර අප හා පවසයි. ඒවාට ඇහුම්කන් දෙනවා මිසක සියල්ලන්ටම පිළිසරණක් වන්නට අපට නොහැකිය. ලෙඩක් දුකක් වූ වහා රජයේ රෝහල්වලින් නොමිලේ වෙදකම සැපයූවත් බෙහෙත් හේත් අහේනිය නිසා ෆාමසියෙන් මිලදී ගන්න යැයි තුන්ඩු ලැබෙන විට ඔවුන් පත්වන්නේ බොහෝ අසීරු තත්ත්වයකටය. දිනක් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ෆාමසියකින් බෙහෙතක් ලබා ගැනීමට ගිය එක්‍තරා වෛද්‍යවරියකට එහි කවුන්ටරය වෙත තුන්ඩුවක් දිගු කරමින් සිටි සීයා කෙනෙක් හා ඖෂධවේදියා අතර වූ කතාබහ ඇසෙන්නට විය.

“මා ළඟ එච්චර ගාණක් නෑ. රුපියල් සීයකට හරියන්න දෙන්න” සීයා පවසයි.

“ මේ එක කරලක් රුපියල් 23ක් වෙනවා. දවස් 5කට ලියලා තියෙන්නේ. හැබැයි එස්.පී.සී එකේ එක නම් රුපියල් 3.25 යි. ඒක දෙන්නම්”

“නෑ ඔය නම තියෙන බෙහෙතම ගන්න කීවා” සීයා පවසයි.

ඖෂධවේදියා වෛද්‍යවරිය දෙසට හැරී. “ඩොක්ටර් මේ බෙහෙත් දෙකේ වෙනසක් නෑනේ..” අසමින් ඇයට තුන්ඩුව පෙන්වයි.

“මම දියවැඩියා ක්ලීනික් එකට එන්නේ නෝනා, කකුලේ තුවාලෙට මේ බෙහෙත ලියලා දුන්නා” සීයා පැහැදිලි කරයි. එය තුවාලවලට දෙන ඇන්ටිබයොටික් එකකි. එය සුලභව රෝහල්වල තිබේ. ඔහුට මේ තුන්ඩුව ලියා දී තිබුණේද රජයේ රෝහලක සායනයකිනි. දියවැඩියා පෙත්තද පිටින් ගන්න යැයි ලියා දී තිබිණි.

“මේවයේ වෙනසක් නෑ තාත්තා. එස්. පී. සී. එකේ බෙහෙතේ ගාණ අඩුයි” වෛද්‍යවරිය කරුණු පැහැදිලි කර දෙන්නට උත්සාහ ගත්තේ ඔහු කෙරෙහි අනුකම්පාවෙනි..එස්. පී. සී(SPC) යනු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ බෙහෙත්‍ය. ඒවායේ මිල සාධාරණය.

“වෙන ඒවා අරන් තුවාලේ හොඳ වුණේ නැත්නම්….මං ළඟ රුපියල් එකසිය විස්සයි තියෙන්නේ. දවස් දෙක තුනකට බෙහෙත් අරන් ආයෙ ඇවිත් ගන්නම්” ඔහු විශ්වාස කරන්නේ ලියා දුන් බෙහෙතම ගත යුතු බවය. ඉන් තුවාලය හොඳ වේයැයි ඔහුගේ මනසට කිඳා බැස තිබේ. ඖෂධවේදියාට පිංසෙන්ඩු වෙයි.

“දවස් දෙක තුනකට නම් බෑ එක දවසකට වගේ ගන්න පුළුවන්” ඔහු පවසයි.

“හා එක දවසකට දෙන්න මං ඇවිත් ඉතුරුවා ගන්නම්” මහලු වයසේ ඔහු විඳින දුක් කරදර මැනැවින් ඒ කඳුළු පිරි දෙනෙත් කියා පෑවේය. සීයා රුපියල් එකසිය විස්සක් සාක්කුවෙන් ඇද එදෙස බල බලා කල්පනා කර ඉන්පසු රුපියල් විස්සක් සාක්කුවට දමා ගත්තේය.

වෛද්‍යවරිය ක්ෂණික තීරණයක් ගෙන ඖෂධවේදියා ඈ දෙසට කැඳවා ඔහුට අවශ්‍ය බෙහෙත ඇගේ බිලට ඇතුළු කරන ලෙස පැවසුවාය.

“ආ සීයේ ඔක්කොම බෙහෙත් ටික… අර නෝනා අරන් දුන්නා…” වෛද්‍යවරිය බිල් ගෙවන කවුන්ටරයේ සිටින අතර ඖෂධවේදියා පවසනු ඇයට ඇසිණි. කඳුළු පිසිමින් ඔහු පිටව යන අතර වෛද්‍යවරිය ළඟ නැවතී “ ගොඩාක් පින් දුවේ” යැයි පැවසුවේය.

බොහෝ සායනවලදී දකින්නට ලැබෙන්නේ අසරණ වූ දෑස් සහ හිස් පසුම්බි සමග සුසුම්ලන වැඩිහිටියන්ය. පිටින් ගන්න යැයි බෙහෙත් ලියා දෙන්නට සිදුවූ විට ඔවුන් බොහෝ දෙනා අසරණ වේ. රාජ්‍ය යාන්ත්‍රණය තුළ නොමිලේ බෙහෙත් සඳහා ප්‍රතිපාදන වෙන්වූවද එහි ප්‍රායෝගික බව දකින්නේ සෞඛ්‍ය සේවකයන් වන අපය.

මෙවැනි සිදුවීම් නිසා අප හිත් සංවේදී වේ. මොවුන්ගේ විශ්‍රාමික වයසේ නිදහසේ බෙහෙත්හේත් ලබා ගැනීමට ක්‍රමවේදයක් ඇවැසි වේ. රෝගියාගේ සමාජ තත්ත්වය සහ ආර්ථික අපහසුතා විශ්ලේෂණය කර වඩා සහනදායී ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු වේ යැයි මට සිතේ. අප රටේ ඉතා හොඳ පවුල් සෞඛ්‍ය සේවිකාවන් මගින් නියාමනය වන ප්‍රජා සෞඛ්‍ය සේවයක් තිබේ. එය ප්‍රයෝජනයට ගෙන අප රටේ සෑම සමාජ ස්තරයකම සිටින ලොකු කුඩා සියල්ලන්ගේම සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳව සොයා බැලෙන සමාජ සේවා ක්‍රමයක් අප වැඩි දියුණු කළ යුතුය.

නිතර මුණගැහෙන වාට්ටු පිරිසුදු කරන්නියකගේ දියණිය පිළිකා රෝග තත්ත්වයකින් පෙළේ. සෑම සතියකටම වරක්, ලේන්සුවකින් වසාගත් තට්ට හිස සහ ගිලී ගිය ඇස් දෙක අප හදවත් කම්පා කරවයි. විටින් විට අපි කරන උදවු නොවේ නම් ඇයට ඒ බෙහෙත් හෝ අවශ්‍ය දෑ සපයා ගැනීමට අපහසු වේ. රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක විය යුත්තේ එම රටේ වැසියන්ගේ සුබ සිද්ධිය තකා යැයි මම තරයේ විශ්වාස කරමි. රජයේ සෞඛ්‍ය සේවකයන් ලෙස අපට හැකි උපරිමය ඉටුකරද්දී අපේ රටේ සුබසාධන පිළිවෙත්ද එහි ප්‍රජාව වෙත සුබදායක විය යුතුමය.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා