බුදුන් ඉපදුණේ ලංකාවේද?

 ඡායාරූපය:

බුදුන් ඉපදුණේ ලංකාවේද?

වත්මන විට ලංකාවේ සිටින බොහෝ බෞද්ධයන්ගේ අවධානය යොමු වී ඇත්තේ බුදුන් ඉපදුණේ ලංකාවේද? යන ප්‍රශ්නයට පිළිතුර ‍සෙවීමයි. බෞද්ධ සාරාර්ථ අගයමින් සහ පිළිවෙත් පිරීම පසෙකලා බුදුන්ගේ සත්‍ය නිජස්ථානය සෙවීම ගැන ඇතැම් භික්ෂූන් වහන්සේලා සහ උගතුන් පාවා යොමු වී තිබීම සමාජය ගමන් කරමින් තිබෙන්නේ කිනම් අගතිගාමී අන්තයකටද යන්න පිළිබඳ දර්ශකයකි. බෞද්ධ දර්ශනය අනුදත් පුද්ගලයෙකු විසින් සැබවින්ම සැලකිලිමත් විය යුත්තේ බුදුන්ගේ භෞතික කාය ගැන නොව උන්වහන්සේගේ ධර්මකායෙහි ඇති සුවිශේෂීත්වය කෙරෙහි අවධානය යොමු කිරීමට බව අමුතුවෙන් කිව යුතු නැත. බුදුන්වහන්සේ පවා 'යෝ ධම්මං පස්සති සෝ මං පස්සති' යනුවෙන් නිතැතින් දේශනා කළේ උන්වහන්සේ සැබවින්ම දැක ගැනීමට අවශ්‍ය නම් ධර්මය නිවැරදිව දකින ලෙසයි.

එහෙත් බුදුන්ගේ පිරිනිවනට පසුව එතෙක් පැවති බෞද්ධ දාර්ශනික සම්ප්‍රදාය ආගමක් ලෙස ඓතිහාසිකව වර්ධනය වූ අතර ඒ සඳහා වෛදික හා හින්දු ආගමේ ඇතැම් ලක්ෂණද අන්තර්ග්‍රහණය විය. ප්‍රතිමා වන්නදනය බුදුදහමට ඈඳෙන්නේ එහි ප්‍රතිථපයක් වශයෙනි. එපමණක් නොව පසුකාලීනව කිතුදහම මඟින් ලද ආභාසය මඟින්ද එකී චර්යා තවත් වැඩි දියුණු කරන ලද්දේය.

බැතිමතුන් යම් ආගමක් වෙත ආකර්ශනය වන්නේ එකී ආගම විසින් ඔවුන්ගේ දිවිය තුළ පැනනඟින කුදුමහත් සියලු ආශාවන් තෘප්ත කරන නිසාය. සැබවින්ම තෘෂ්ණාව ප්‍රහීන කිරීම මූලික කොටගත් දාර්ශනික මූලාශ්‍රයකින් හටගත්තද බුද්ධාගමටද එය අදාළය. මස්කඩයක, බස්රථයක පමණක් නොව කුණු කසලින් පිරි මංසංදියක වුව දූලි වැකීගිය බුදුපිළිම වඩාහිඳුවීම ඊනියා බෞද්ධයන් උත්සාහ කරන්නේ එකී මිනිසුන්ගේ ආගමික භක්තිය නොව තම ලෞකික දිවිය සැපවත් කරගැනීම සඳහා ආගම උත්තේජකයක් වශයෙන් භාවිතා කිරීමේ චර්යාවයි. එහෙයින් බුදුන් ඉන්දියාවේ ඉපදුණායැයි සඳහනින් තෘප්තිමත් නොවන අතර ඔවුහු නිතැතින් තමන්ගේ ආගමික ශාස්තෘවරයාට ඉතා ආසන්න සබඳතාවක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරති.

බුදුන් ලංකාවේ ඉපදුණේය යන ප්‍රවාදය සාකච්ඡාවට ගත හැක්කේ මෙවැනි කරුණු පසුබිමේ තබාගෙනය. ඇතැමෙකුට අනුව බුද්ධ චරිතයට අදාළ ග්‍රාමනාම බොහෝමයක් දැනටමත් ලංකාවෙන් සොයාගෙන ඇත. එනම් බුදුන් බුදු වුණේ බුදුගල බවද, බරනැස ඉසිපතනාරමය මැදවච්චිය ප්‍රදේශයේ පිහිටා ඇති ඉසින්බැස්සගල විහාරය බවටද හඳුනාගෙන ඇත. මෙකී ප්‍රවාදවලට කිසිදු ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් නොමැත.

මෙකී ගැටලුව සෙනරත් පරණවිතානගෙන් පටන් ගෙන වර්තමානය දක්වා සිටින ස්වදේශීක ඉතිහාසඥයින් සහ පුරාවිද්‍යාඥයින් බොහෝමයකට අභිමුඛ වී ඇත. ඔවුන් විසින්ද තවමත් එය වඩාත් ශාස්ත්‍රීයව සනාථ කර නැත. පුරාවිද්‍යාත්මක සාධක කෙරෙහි අවධානය යොමුකරද්දී මේ සඳහා ප්‍රබල සාධක ලැබෙන්නේ බෞද්ධ සාහිතය තුළ අප්‍රකට ස්ථානයක්ව පවතින ඊසාන දිග ඉන්දියාවේ නේපාල දේශ සීමාවට ආසන්නව පවතින පිප්ප්‍රාවා නම් ප්‍රදේශයෙනි. ක්‍රිස්තු වර්ෂ 1898 දී ඩබ්.සී. පෙප් නම් ඉංජනේරුවා විසින් ඔහුට අයත්වූ භූමියෙහි කොණකට වන්නට පැවති ප්‍රිප්ප්‍රාවා කොත් නැමැති ගොඩැල්ල කැනීමට ලක්කරයි.

අඩි අටක් ගැඹුරට ගිය තැන ඔහුට හතරැස් හැඩැති ශිලා මංජුසාවක තැන්පත් කර තිබූ කුඩා කරඬු කිහියක් හමු වන අතර එහි එක් කරඬුවක බඳෙහි බ්‍රාහ්මී අකුරින් ලියන ලද "සුඛිතිබතිනම් සභගිකානම් සපුතදලනම් ඉයම් සලිලනිධනේ බුධස භගවතෙ සකියානාම්" යනුවෙන් පාඨයක් ලියා තිබිණි. එම පාඨයෙන් 'සාක්‍යන්ගේ සුකිති සොහොයුරන්ද ඔවුන්ගේ නැඟණිවරු හා ඔවුන්ගේ අඹුදරුවන් විසින් තැන්පත්කොට ඇති මෙම පූජනීය ධාතු භගවත් ගෞතමයන්ට අයත්ය' යන්න අරුත් ගැන්වෙයි.

පුරාවිද්‍යාඥන්ගේ අදහස අනුව මෙම ච්‍යෛත්‍ය ආශෝක අධිරාජයා විසින් කරවන්නට ඇති අතර මෙම ලේඛන ශෛලයද එම කාලයට කාල නීර්ණය වෙයි. මෙම පුරාවිද්‍යාත්මක සොයාගැනීම පිළිබඳ මේ දක්වා විවිධ මතිමතාන්තර ගොඩනැඟී ඇතත් ‍මෙහි භාවිත '-නිධනේ ' යන වචනය එකල වහරිත බ්‍රාහ්මී ව්‍යවහාරය තුළ ඉතාම දුලබව භාවිතා කරන ලද්දකි. එවැනි කරුණු පදනම් කරගනිමින් එකී කරඬුව මත සඳහන් වැකිය කිසියම් කණ්ඩායමක් විසින් ව්‍යාජව යොදන්නට ඇති බවට වන සංශයන් අහෝසි වෙයි.

එම සාධක පදනම් කර ගනිමින් අවම වශයෙන් එම ස්ථුපය අශෝක අධිරාජයාගේ 20 වන රාජ්‍ය වර්ෂයේ එනම් ක්‍රි පූ 245දී ඉදිකරන්නට ඇති බව පුරාවිද්‍යාඥයින් හා පුරාණ ඉන්දුවේදය පිළිබඳ විශේෂඥයින් විසින් තහවුරු කොට ඇත. 1971 වර්ෂයේදී මෙම ස්ථූපයයේ පෙපේ විසින් කැනීම් කරන ලද වළ කේ.එස් ශ්‍රී වාස්තව නම් ඉනුදියානු පුරාවිද්‍යාඥයා විසින් පෙර කැනීම කර ඇත්තේ සැබෑ පොළව මට්ටම දක්වා නොවන බව අවබෝධ කර ගත්තේය.

එහෙයින් එහි සැබෑ පොළව මට්ටම දක්වා කැනීම් කළ අතර වැඩි ගැඹුරකට නොගොස් එහි පතුලේ ඉදි කර ඇති තවත් ධාතු ගර්භයක් ඔහුට හමු විය. ශ්‍රී වාස්තව විසින් දක්වා සිටියේ මෙම ධාතු ගර්භය තුළ අඩංගු සාධක පැහැදිලිවම බුදුන්ගේ සමයට අයත් විය හැකි බවය. කපිල වස්තු ධාතු නමින් අපි විසින් වන්දනාවට ලක්කරන්නේ එම ධාතුය.

මෙවන් ලිඛිත සඳහනකින් හැරෙන්නට බුදුන් ලංකාවේ හෝ ඉන්දියාවේ ඉපදුණා යන්න පුරාවිද්‍යාත්මකවද තහවුරු කිරීම මහත් අසීරු කටයුත්තකි. බුදුන් වහන්සේගේ ධරමාන කාලයට අයත් පුරාවස්තු සොයාගත්තද එකී සාධක මඟින් සුහරතාවෙන් සහ අප්පේච්ඡ දිවියක් ගත කළ බුදුන් වහන්සේ වැනි ලෞකිකත්වය බැහැර කළ උතුමෙකු පිළිබඳ සාධක කෙසේ මතුකරගන්නද?

[දිනේෂ් දේවගේ]

මාතෘකා