අහස තමයි ඉම!

 ඡායාරූපය:

අහස තමයි ඉම!

අපි කාටත් වීරයෝ ඉන්නවා. කාලෙන් කාලෙට එහෙම ඉන්න වීරයො වෙනස් වෙනවා. සමහරක් වීරයෝ අපි ඉන්න වයස අනුව වෙනස් වෙනවා. තවත් වීරයෝ මිය යනවා. අලුත් වීරයෝ ලෝකෙට බිහි වෙනවා. රජ කාලේ හිටපු වීරයෝ යට ගිහින් සුද්දගේ කාලේ වීරයෝ මතු වුණා. ඒ වීරයෝ යට ගිහින් ගුවන්විදුලියෙන් වීරයො බිහි වුණා. චිත්‍රපටයෙන් වීරයො බිහි වුණා. රූපවාහිනිය පුරා අපිට මතක හිටින වීරයෝ මතු වුණා. දැන් අන්තර්ජාලයෙන් මතුව එන වීරයන්ගේ යුගයයි. පොතින් පතින් කියවපු වීර කතා, ගෙදර සාලේ වාඩිවෙලා බලපු වීර කතා දැන් වෙනකොට අතේ තියෙන ජංගම දුරකථනය දක්වා ඇවිල්ලා. අපේ වීරයො අනුගමනය කරන්න, ඔවුන් එදිනෙදා කරන කියන දේවල් දැනගන්න වගේම ඔවුන්ට අපේ අදහස් පළ කරන්නත් ඉඩක් ලැබෙනවා.

පුංචිම සන්දියේ අපිට ඉන්න ලොකුම වීරයා තමයි අපේ තාත්තා. තාත්තා ඕනම දෙයක් කරන්න පුළුවන්, සුපිරි වීරයෙක් කියලා ඔප්පු කරන්න අපි යාලුවෝ එක්ක කොයිතරම් වාද කරලා තියෙනවද?

තමන් ආදරය කරන වීරයා වගේ වෙන්න අපි උත්සාහ කරනවා. ඔහුගේ චරිත ලක්ෂණ අනුකරණය කරන්න පටන් ගන්නවා. කොටින්ම විටෙක ඔහු බවටම පත් වෙන තරමට එය උග්‍ර වෙන අවස්ථා නැතුවා නොවේ. ඉතින් මෙහෙම ඉන්න වීරයාව පසු කර යන්න තරම් හැකියාවක් ලැබුණොත්? ඔව් සත්තෙන්ම එලෙස කළ හැකියි.

ඔබේ ලොවේ වීරයා පරදන මන්ත්‍රය ඉගෙනගන්න කැමැති නම් මෙතැන් සිට ලියැවෙන වදන් අතර සැරිසරන්න. ඔබට ජයග්‍රහණයේ රහස කියාදෙන්න කෙනෙක් ලෑස්තිවෙලා බලා ඉන්නවා.

"හැමෝම කලබලයෙන් කෑගහන්න පටන් ගත්තා. මාත් විමසිල්ලෙන් බලන්න ගත්තේ එවිටයි. පුදුමයක් තමයි. ඇත්තෙන්ම ඒ ඔහු තමයි"

එකම සද්දෙට කට්ටියම කෑගසමින් සිටියා.

"ඒ මයිකල් පෙල්ප්ස්!!" "ඇත්තෙන්ම මට උවමනා වුණේ ඔහු සමඟ පින්තූරයක් ගන්නයි"

එ දවස ගැන මතකය එලෙසින් අවදි කළේ ජෝසප් ස්කූලින්.

ලොව සුපිරිතම ක්‍රීඩා සැණකෙළිය විස්මයෙන් ඇලළී ගියේ ඔහුගේ විජයග්‍රහණය නිසාමයි. මෙතෙක් ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රනින් සැරසුණු "දිය කිඳුරාගේ" විජයග්‍රාහී ගමනක අවසානය සොවින් බර වූයේ ඔහු නිසා. ප්‍රවීණයා පරදන විට ඔහු යාන්තමින් 21 වියට පා නැඟුවා පමණයි.

රන් පදක්කම් පිපාසාවෙන් ජයග්‍රහණය සොයා ගිය ඇමෙරිකානු පිහිනුම් ශූරයා මයිකල් පෙල්ප්ස්, 2004 ඇතැන්ස් ඔලිම්පික් උලෙළේදී සිය නම නොමැකෙන ලෙස සටහන් කළේ රන් පදක්කම් 6ක් දිනාගනිමින්. ඔහු පිහිනුම් ක්‍රීඩාවට ආදරය කළ සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ සිහින කුමරා බවට පත්වූයේ එතැන් සිටයි.

මාර්ක් ස්පිල්ට්ස් 1972 රන් පදක්කම් 7ක් දිනාගනිමින් තබා තිබූ අසීරු ඉලක්කය සපුරන්නට ඔහුට 2008 බෙයිජින් ඔලිම්පික් උලෙළේදී හැකියාව ලැබුණා. ඒ රන් පදක්කම් 8ක් දිනාගනිමින්.

ඉහතින් කියූ සිදුවීම සිදුවන්නේ බෙයිජින් ඔලිම්පික් උලෙළට පෙර පුහුණුව පිණිස පිටත්ව ගිය මොහොතකයි. අවුරුදු 8කට පෙර තමන් සමඟ ජායාරූපයක් ගත් කොලුගැටයා තමන් පිහිටුවූ වාර්තා සුනුවිසිනු කරමින් යතැයි පෙල්ප්ස්ට මොහොතකටවත් නොසිතෙන්නට ඇති.

පෙල්ප්ස්ට මොකද වුණේ? තමන් මුහුණ දුන් අවසන් කේවල තරඟයේදී ඔහු දිනාගන්නේ රිදී පදක්කමක්. ඔහු පරදින්නේ ජෝසෆ් ස්කූලින්ට. ඔලිම්පික් ඉතිහාසයේ වඩාත්ම සැරසුමට ලක්වූ ක්‍රීඩකයා තමන්ගේ සමුගැනීම සටහන් කරමින් සිටි මොහොතක කිසිසේත්ම නොසිතූ ලෙසින් පරදමින් නව යෞවනයෙක් කිරුළු පැලැන්දා.

"මම සතුටෙන් නොවේ. කවුරුත් පරදින්න කැමති නැහැ. එහෙම වුණාට මට ජෝ ගැන ආඩම්බරයි. මට අවශ්‍ය වුණේ පිහිනුම් ක්‍රීඩාවට පෙරළියක් කරන්නයි. මේ වගේ පිරිසක් එක්ක අපි එය අත්දකිමින් ඉන්නවා." පෙල්ප්ස් වටිනා වදන් පෙළක් ඉතිහාසයේ ලියා තැබුවා.

ජෝසෆ් ස්කූලින් ගැනත් කෙටියෙන් කිව්වොත්, ලොවක් මවිත කරමින් සිංගප්පූරුවට පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා දුන්නේ ඔහුයි. තමන්ගේ වීරයා පරදාලන ජවයක් ඔහු ක්‍රීඩාවට මුසු කරන්නේ නිරන්තර පුහුණුව තුළින් ලැබු දියුණුව තුළින්.

"මට ඕන වුණේ ඔහු වගේ වෙන්නයි. ඔහු නොමැතිනම් මං අද මෙතැන නැහැ." ස්කූලින් තමන් ලත් ආභාසය සිහිපත් කරන්නේ කෘතවේදීවයි.

ඔබේ වීරයා පවා පරදවන තරම් මහත් වූ බලයක් අපට ගොඩ නඟා ගත හැකි බව මෙවන් සැබෑම කතාන්දර අපට කියා දෙනවා. ලොවක් වෙනස් කරන්නට අවැසි ශක්තිය ගොඩනඟා ගන්නට අපට වීරයන් අවශ්‍යයි. එහෙත් අපට ඊටත් එහා ගිය අසීමාන්තික ජවයක් සතුයි. මහා විභවයක් අපේ සිතේ තියෙන බවයි ඉන් කියා දෙන්නේ. "තමන් විස්වාස කරන්න. අහස තමයි ඉම කියලා හිතන්න, පැකිළෙන්නට එපා!!

මාතෘකා