මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ අපටත් ඉඩක් දෙන්න

 ඡායාරූපය:

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ අපටත් ඉඩක් දෙන්න

මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන වටපිටාව වෙනස්ම මුහුණුවරක් ගෙන ඇත. ලබන වසරේ ජනවාරි 05 වැනිදාට මහ මැතිවරණයක් පැවැත්වේ. මේ වන විට ඒ ඒ දේශපාලන පක්ෂ තම ප්‍රතිපත්ති ප්‍රකාශන, තම සංවර්ධන ව්‍යාපෘති සංවිධානය කරමින් සිටිනවා නිසැකය. එහිදී ඔවුන් රටේ සමාජ, ආර්ථික අංශ කෙරේ වැඩි අවධානයක් යොමු කරනු ඇත. අද අපි මෙය සටහන් කර සිටින්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන, සංවර්ධන සැලසුම් සකසන ලාංකේය දේශපාලන පක්ෂ සඳහාය.

බොහෝ දෙනකුට තම ප්‍රතිපත්ති ප්‍රකාශන සෑදීමේදී ලාංකේය විශේෂ අවශ්‍යතා ඇති පිරිස අමතකය. නමුත් ඔවුන්ටද විවිධාකාර ගැටලු පවතී. ඒවාට ඔවුහුද විසඳුම් සොයති. ඔබ නොසලකා හැරියද මෙරට වසන ලක්ෂ ගණනක් වූ විශේෂ අවශ්‍යතා ඇති පිරිස රටේ ඡන්ද දායකයෝ වෙති. එබැවින් ඔවුන්ගේ දැවෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කර, සංවර්ධනය උදෙසාද යම් යම් ක්‍රියාවලීන් ඒ ඒ දේශපාලන පක්ෂයන්හි ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ට ඇතුළත් කිරීම වැදගත් වේ. ඔවුන්ට සාධාරණයක් ඉටු කරනවා නම් ලක්ෂ සංඛ්‍යාවක් වූ මේ පිරිසෙහි ඡන්දය තමන් වෙනුවෙන් යමක් කළ ජන නියෝජිතයන් වෙනුවෙන් භාවිත කරනු ඇත.

ඔවුන්ට විවිධාකාර ගැටලු පවතී. කළු අකුරු ඔස්සේ අපි ඒ පිළිබඳව විමසා බැලුවෙමු. එම ගැටලුද සමාජ, ආර්ථික, අධ්‍යාපනික ලෙස ප්‍රධාන වශයෙන් වර්ග කළ හැකි වේ. මෙහිදී අධ්‍යාපනය ගත් විට මූලික අධ්‍යාපනය තුළ මෙන්ම උසස් අධ්‍යාපනය තුළද ගැටලු රැසක් පවතී. එසේම විවිධ බාධා මැද තම අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටු කර ගන්නා මේ පිරිස වඩාත් අසරණභාවයට පත්වන්නේ විරැකියාව නිසාය.

මේ නිසා රටට සමාජයට බරක් නොවී ආත්මාභිමානයෙන් යුතුව ජීවත් වීමට ඇති අවස්ථාව ඔවුන්ට අහිමි වේ. එසේම විවිධ හැකියා සහිත පුද්ගලයන්ට ප්‍රවාහන පහසුකම් සහ ප්‍රවේශ පහසුකම් ඉතා දුර්වල මට්ටමක පවතී. මෙම ගැටලු සම්බන්ධයෙන් විසදුම් සෙවීමේදී විවිධ හැකියා සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාකාරී රාජ්‍යයන් ආදර්ශයක් කර ගැනීම වැදගත් වේ. ලාංකේය පුරවැසිභාවය තිබුණද ආර්ථික වශයෙන් ඔවුහු මුහුණපාන ගැටලු ඉතා ප්‍රබල වේ. ඔවුන්ට තනිව බැංකු ගිණුම් ලබා නොදීම, මුදල් හඳුනා ගැනීමේ ක්‍රමවේදය සංකීර්ණ වීම මෙහිදී විශේෂ වේ. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් අවධානය යොමු කරනවා නම් එය සහනයකි.

මෙරට වෙසෙන විවිධ හැකියා සහිත ජනගහනය ලක්ෂ දාහතකට ආසන්න වේ. ඒ අතර දෘශ්‍යාබාධිත, කථනාබාධිත, ශ්‍රවණාබාධිත, මානසික ආබාධ සහිත සහ වෙනත් ශාරීරික ආබාධ සහිත වූවන් වශයෙන් වර්ග කෙරේ. ඒ ඒ ආබාධ සහිත පුද්ගලයන්ට පවතින ගැටලු ආබාධිත ස්වභාවය අනුව වෙනස් වේ. එසේම ආබාධිත බව විවිධ වුවද ගැටලුව පොදු වන අවස්ථාද නැතුවා නොවේ. ඒ ඒ දේශපාලන පක්ෂවලට, දේශපාලන නායකයන්ට ඔවුනට සවන්දිය හැකි නම් පොදුවේ පවතින ගැටලු පිළිබඳව අවබෝධ කර ගත හැකිය. එවිට ඊට අවශ්‍ය පිළියම් තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලටද එක් කර ගත හැකිය. එබැවින් ඔවුනටද සවන් දී විවිධ හැකියා සහිත මෙම පුද්ගලයන්ද රටේ ඡන්දය හිමි ජන කොටසක් වශයෙන් සලකයි නම් ඉතාම අගනේය. එමෙන්ම විවිධ හැකියා සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් පවතින අනපනත්, විවිධ ප්‍රතිපත්තීන් ලිඛිත ලියවිලි බවට පමණක් සීමා වූ කාලය අවසන් කිරීමට සුදුසු කාලය එළැඹී තිබේ.

කිසිදු දේශපාලන පක්ෂයක් සඳහා ඔවුන් තම ඡන්දය භාවිත නොකිරීමට මේ මොහොතේ තීරණයක් ගතහොත් එය විශාල බලපෑමක් කිරීමට සමත්වනු ඇත. මන්ද ආබාධිත වුවත් ඔවුනගේ ඡන්දයද වලංගු ඡන්ද වන අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒ අතර වෙති. තමන්ගේ ගැටලු සඳහා සංවේදී වන දේශපාලන කණ්ඩායමට සහ නායකත්වයට තම සහාය දීමට ඔවුහු අවශ්‍යයෙන්ම කටයුතු කරති. එබැවින් ඡන්දය ලබාගැනීම පිළිබඳව පමණක් නොසිතා ඔවුන්ගේ ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීම කාලෝචිත යැයි හැඟේ.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා