තිත්ත ඇරලා ගත්ත කතා

 ඡායාරූපය:

තිත්ත ඇරලා ගත්ත කතා

තිත්ත කතා කියනවා කිව්වම කාගෙත් හිත ඩිංගිත්තක් ගැස්සෙනවා. කවුද ආයෙ ඒ වාගේ කතා අහන්ඩ ආස නේද? තියඹරා පිපිඤ්ඤා එහෙම කන්ඩ ගන්ඩ ඉස්සර වෙලා එව්වයෙ තිත්ත අරින්ඩ එපායැ. නැට්ට පැත්තෙන් තුනීවට පෙත්තක් දෙපෙත්තක් කපාලා ඒකම කැපුම් මූණතේ උලලා තිත්ත අරින එක හුරුබුහුටි කලාවක්.

කැකිරිවල නම් ඒ හැටි තිත්ත ඇරිල්ලක් කරන්ඩ කාරි නෑ. හැබැයි ඕං තිත්ත කැකිරි කියන්නෙ එක විදියක ජාතියක්. බිම දිගේ වැල් ඇදිලා කුඩාවට පල ගන්න තව කැකිරි ජාතියක් තියෙනවා ගොන් කැකිරි කියලා. ඒවා ඉතිං මුණ ගැහුණොත් කඩලා කටේ ඔබාගෙන හපනවා මිසක්ක උයන්ඩ කියාලද? මෙහෙම කියන කොටත් කටට දිය උනනවා කැකිරි ඇඹුලක් කන්ඩ ඇත්නම් කියලා.

ඔය අව්අස්සේ ලබන දුරුත්ත වෙද්දි සියඹලාණ්ඩුව පැත්තෙ කරක් ගැහුවනම් පැලෙන්ඩ පැහිච්ච සීනි කැකිරි නාම්බො දෙන්නෙක් තුන්දෙනෙක් උහාන එන්ඩ පුළුවන් කියලත් මතක් වුණා. කිරිඅප්පේ එව්වයෙ පුසුඹ. මටනම් මීකිරි කැවිල්ල වාගේම තමයි සීනි කැකිරි දෙසාබාන එකත්.

තව ඩිංගෙන් කැකිරි ගෙඩියක් හින්දා තිත්ත කතා අමතක වෙනවා. තිත්තට තිත්ත ගැළපෙන්ඩ නම් කරවිල වැල යාං වෙන්ඩ ඕන කොහොඹ ගහකටලුනෙ. කොච්චර තිත්ත වුණත් කොහොඹත් කන්ඩ බැරි කමක් නෑ. කොහොඹ මල් දාලා යාපනේ ඇත්තො හදන වඩේ ගැන මං වංගියකුත් කිව්වනේ. ඇයි බලංගොඩ ආනන්දගේ කොහොඹ කොළ ඉස්මෙන් හදන බීම. එච්චරක්යැ කොහොඹ ළපටි දළු සම්බෝලයක් හදාගන්ඩත් පුළුවන්. ඒ වග මට කිව්වෙ බලංගොඩ ඉස්පිරිතාලේ රාජකාරි කරන රත්මලවින්නෙ සම්පත්.

සම්පතලයෙ අම්මා ජාති කොහොඹ දළු සම්බෝලයක් හදනවලු. මේං මෙහෙමයි ඒ වැඩිය අමාරු වැඩක් නෙවෙයි. මුලින්ම කරන්ඩ තියෙන්නෙ ළපටිම කොහොඹ දළු මිටක් දෙමිටක් නෙලාගන්න එක. ඊටපස්සෙ එව්වා හොඳට හෝදලා හීන් වෙන්ඩ ලියාගන්නවා. මැල්ලුම් ලිවිල්ල හැමෝටම කරන්ඩ බැරිතරම් සියුම් කාරියක් නෙව.

මොකද හරියට ලියනවා නම් කෙස්ගහට ලියවෙන්න ඕන. හා ඉතිං එහෙම ලියාගෙන ඒකටම ලියාලාලා එක්කහු කරගන්නවා අම්මිරිස් කරලක් දෙකක්, රතු ලූනු ගෙඩියක් දෙකක් එහෙම. ඊටපස්සෙ පොල් රැල් ටිකක් ගාලා දාලා යහමින් දෙහි ඇඹුල් මිරිකලා අනාගත්තම පංකාදු පහයි කියන්නෙ. හදලා කාලා බලන්ඩ. මොකද කොහොඹ කියන්නෙ ලේ ධාතුව පිරිසිදු කරන බෙහෙතක්ලුනෙ. පණු අමාරුව තියෙන උන්දැලටත් ඒකෙන් වරදක් වෙන එකක් නෑ.

යාම්තම් තිත්තක් තියෙන අඟුන කොළ මැල්ලුම හරි සම්බෝලය හරි කන්ඩ තියෙනවා නම් ඒකත් ශරීරෙට වාසනාවක්. අඟුනත් ජාති දෙකක්නෙ. තිත්ත අඟුනයි, කිරි අඟුනයි කියලා. පෙනෙළ කොළවලිනුත් ළා තිත්තක් දැනෙනවා නේද? ඉතිං පහුගිය පෝය දවසෙ තැන්න පන්සල ගාව වැව් පිට්ටනියෙ ඇවිදින්ඩ ගියාම පෙනෙළ ගාලක්.

බුදු කිරි මුත්තේ ඒක අක්කර පහක් හයක්වත් වෙන්ටෑ. ගම්මු කඩාගෙන ගෙහුනුත් නෑ. ඉතිං අපි දළු ටිකක් කඩාගෙන ගිහිං පන්සලේ තනි රකින සීයට දුන්නම ඕං හදලා දෙනවා සම්බලයක්. ඒකත් එක්ක විතරක් බත් කෑවකියි. නෙල්ලි මාළුවෙත් පස් රස අස්සෙ යාම්තම් තිත්ත රහක් දැනෙනවා. නෙල්ලි තම්බලා ගලෙන් තළලා උයා ගත්තම අගේ වැඩියි ඌවෙ අපිටනම්.

තිත්ත කෑමෙත් මුත්තෙක් ඉන්නවා නෙව. ඒ තමයි තිත්ත තිබ්බටු. අපි පතන්වල තිබ්බටු කඩපු කාලයක් තිබ්බා. අම්මලා උගන්නලා තිබ්බ හින්දා මී ගොන් තිබ්බටු මං ඇරියට තිත්ත තිබ්බටුවලට අපෙන් වහං වෙන්ඩ ඉඩ දුන්නෙම නෑ. සමහරු තලප කන්ඩ හදපු ආනමටත් තිත්ත තිබ්බටු මුහු කරාලුනෙ.

එව්වයෙ තිත්ත මොනතරම් තිත්තක් වුණත් ඒක පුදුම රහක්. ඉතිං අපේ තාත්තලා ගම් පළාත්වල සමහර උන්දැලා තිත්ත තිබ්බටු නිකම්ම තෙලේ බැදලත් කෑව. හැබැයි ඉතිං තිත්ත තිබ්බටු රහ ඇඹුල උයලා. අතේ පයේ කටු ඇනගන්නෙ නැතුං පරිස්සමට කඩාගත්ත තිත්ත තිබ්බටු රෑන්වලින් ගෙඩි වෙන්කරගෙන ඇතිලියකට දාලා වතුර ටිකක් විතරක් එක්කහු කරලා තම්බගන්න එකයි මුල්ම කාරිය. ඊටපස්සෙ තැම්බිච්ච තිබ්බටු ටික නෑඹිලියට දාලා පොල්කටු හැන්දෙන් තෙරපලා තළාගන්නවා පැළිලා ඇට එළියට එනකම්.

දැන් ඒකෙම තියෙද්දි මිරිස්, තුනපහ, ලුණු, ලූනු, කරපිංච, කහ ඇති පදමට දාලා ඇඹුල් වෙන්ඩ තක්කාලි සියඹලත් දාලා වතුර ටිකකුත් මුහු කරලා කළවම් කරගන්නවා. තව ටිකක් පංකාදුයි බල කරවල කට්ටකුත් එක්කහු කරා නම්. ඔය අතරෙ ඇතිලියක් ලිප තියාලා තෙල් දාලා රත්වෙනකොට සුදු ලූනු බිකක් තලලා දාලා බැදිලා පුසුඹ එන වෙලාවෙ තිබ්බටු මිශ්‍රණය ඒකට දාලා පස්සවා ගන්නවා. අන්න කෑම කැකුළු බත් මරන්ඩ. තිත්ත රහේ රඟ බලන්ඩ උයාගෙන කාලා බලන්ඩකෝ.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා