ජාතියට තර්ජනයක් වූ කංසා

 ඡායාරූපය:

ජාතියට තර්ජනයක් වූ කංසා

දිනපතා පුවත්පත් කියවන විට නිතර හමුවන ප්‍රවෘත්තියක් තිබේ. එනම් කංසා ළඟ තබා ගැනීම නිසා අත්අඩංගුවට ගැනීමය. නො එසේ නම් කංසා හේනක් වටලා ගිනි තැබීමය. මේ ප්‍රවෘත්ති මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරනු ලබන්නේ රටට සිදු වූ මහා විපතකින් ගැළවුණාක් වැනි හැඟීමක් ඇති වන පරිද්දෙනි. මෙසේ පුළුස්සනු ලබන කංසා හේනක වටිනාකම ඇතැම් විට රුපියල් මිලියන ගණනකි. ෙමසේ දවා හළු කරනු ලබන්නේ රටට සැලකිය යුතු ආදායමක් උපයාගත හැකි අපනයන භාණ්ඩයකි.

එහෙත් මෙය නීති විරෝධී භාණ්ඩයකි. නීති විරෝධී වීම ඇරඹුණේ බටහිර ආක්‍රමණයෙන් පසුවය. එතෙක් කංසා සහ රා මෙරට භාවිතයෙහි පැවතිණ.

1960, 70, දශකවලද ගමේ අත්දැකීම් අනුව මා දන්නා සත්‍යයක් වනුයේ ගැමි ගෙවල පිළිකන්නේ, ළිඳ මායිමේ කංසා ගසක් තිබීම සාමාන්‍ය කරුණක් බවය. වැවීම තහනම් බව දැන සිටියත් පොලිසිය කඩා පැන අත්අඩංගුවට ගැනීමක් සිදුවූයේ නැත. සිදු වූවා නම් ඉතා කලාතුරකිනි.

ගෙදර දඩමස් හෝ පොළොස් ඇඹුල් උයන පිහින විට විට මාත්තුවට කංසා කොළ ස්වල්පයක් මිශ්‍ර කරනු දැක ඇත්තෙමි. මාත්තුව වත්මනෙහි රසකාරක නමින් හැඳින්වේ.

කංසා ඉරීම කිරීමේ ඉතිහාසය දීර්ඝය. පැරණි සාහිත්‍යයෙහි කංසා ඉරීම ගැන රමණීය විස්තර හමු වේ. සංස්කෘත භාෂාවෙන් විජයා යනුවෙන් හැඳිවීමෙන්ම එයට තිබූ වටිනාකම පෙනේ.

අධිරාජ්‍යවාදීන් කංසා සහ රාවලට තහංචි දැමීමේ අරමුණු කිහිපයකි. ඉන් පළමුවැන්න අරක්කු කර්මාන්තය පටන් ගැනීමේදී ඇතිවන බාධා ඉවත් කිරීමය. දෙවැන්න කංසා සහ රා සමඟ සම්බන්ධ වූ සංස්කෘතික ජීවිතයට විනේ කැටීමය. ඒ ඔස්සේ තමන්ට වුවමනා පරිදි නැටවිය හැකි වහල් මනස ඇති පිරිසක් නිර්මාණය කර ගැනීමය.

එය බොහෝ දුරට සාර්ථක විය. කුමන දේ වුණත් පමණ දැන කිරීමේ කලාව දේශීය ජනයා පුරුදු පුහුණු කර තිබුණි. බණ වුණත් වුවමනා ගාණටය. විනෝදය වුවමනා වූ වෙලාවටය. විනෝදය සහ ජීවන කර්මාන්තය එකට මුසු වී ගලායන සංස්කෘතික හුරුවක් තිබිණ. කංසා ඉරීම බරපතළ සමාජ ගැටලුවක් නොවූයේ එම සංස්කෘතික ජීවිතය අනුවය.

කංසා ඉරීම නිසා ගැටලු ඇති වූ පවුල් එදවස ගම්වලින් වාර්තා නොවීය. වෙන මුකුත් නොකර ඒකම කරමින් විනාසය කරා යන උදවිය සිටියාදැයි සැක සහිතය.

සුද්දාගේ නීතිය බෞද්ධ උරුමය මෙන් කරගහගෙන යන උදවිය ආගමික සහ දේශපාලන සංස්ථාවල තීරකයන් වී සිටින සමයක කංසා බටහිර කුමන්ත්‍රණයක් ලෙස පෙනී ගිය හොත් එය පුදුමයක් නොවේ. එහෙත් කංසා විරෝධය බටහිර ආක්‍රමනයේම අතුරු ඵලයකි.

කංසාවලට ඇති නීතිමය බාධා ඉවත් කිරීම ඔස්සේ එය රටට සම්පතක් කරගත හැකිය. කංසා යනු වටිනා ඖෂධයකි. ආයුර්වේද සංස්ථාවට අවශ්‍ය කංසා ප්‍රමාණය ලබා ගැනීමටද නීතිය අවහිර වී තිබේ. එම අවශ්‍යතාව සපුරා ගැනෙන්නේ ඉන්දියාවෙන් ආනයනය කිරීමෙනි.

කංසා ශාකය වැවීමට කදිම හිතකර පරිසරයක් මෙරට ඇත. ඒ නිසා කංසාවලට ඇති නීතිමය බාධා ඉවත් කර එය වැවීමට අනුබල දීමෙන් විදේශ විනිමය උපයා ගත හැකි වේ. ඒ සඳහා පිට කොන්දක් ඇතිව තීන්දු ගැනීම අවශ්‍ය වේ. කුණුවී ගිය දේශපාලන සංස්කෘතියක ජීවත් වන අපට එවැනි ප්‍රගතිශීලී තීන්දු දැක ගත හැකි වන්නේ නැත.

මානව ශිෂ්ටාචාරයේ ගමන ගැන මෙලෝ හසරක දැනුමක් නැති උපාසක බළලුන් ගේ අදහස් දේවභාෂිතයන් ලෙස ගැනීමේ ශාපය සමාජයට වැදී තිබේ. එනිසා කංසා ගැන අලුතෙන් හිතමු. කතා කරමු.

කංසා මද්‍රව්‍යයක් ලෙස නාමකරණය කිරීම බටහිර වෛද්‍යවරුන්ගේද දායකත්වයෙන් සිදු වූවකි. එහෙත් දේශීය වෛද්‍ය මතය ඊට වෙනස්ය.

එහි ඇති ඖෂධීය වටිනාකම ඇතුළු වැදගත්කම් පොතේ පණ්ඩිතයන්ගේ කෝණයෙන් විග්‍රහ කළ නොහැක. මෑත අවධියෙහි සිට කංසා පිළිබඳව ඇති දුර්මත ඛණ්ඩනය කිරීමේ ප්‍රවණතාවක් මතුව තිබේ. කංසා ස්වල්පයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම ප්‍රවෘතියක් කරගන්නා මාධ්‍යවේදීන්ද මේ කතිකාවෙහි සිදුවන දේවල් ඉගෙන ගත යුතුය.

මාතෘකා