හීන රසික සමාජය

 ඡායාරූපය:

හීන රසික සමාජය

පොත් කියවන පාඨකයෝ දෙපිරිසකි. ඒ, ප්‍රබන්ධ නොවන කෘති කියවන පාඨකයා සහ ප්‍රබන්ධ කෘති කියවන පාඨකයා වශයෙනි. කෙනෙකුට මේ දෙපිරිසම එක සේ වැදගත් යැයි සිතිය හැකිය. එහෙත් වැදගත් - නොවැදගත් බව කෙසේ වුව ප්‍රබන්ධ පාඨකයාට ප්‍රබන්ධයේ ඇති විශේෂ යමක් ආස්වාදනය කළ හැකිය. ඒ, රසය. රස ප්‍රබන්ධ නොවන පාඨකයාට ආස්වාදනය කළ නොහැකිය. ඒ රස නොවිඳීමේ ප්‍රතිඵලය ප්‍රබන්ධ රචකයා ලියූ කෘතියේ ඇති දෑ - ප්‍රබන්ධ පාඨකයාගේ ආස්වාදය පිණිස ගොඩනැඟූ දෑ - හීන රසික ප්‍රබන්ධ නොවන පාඨකයා අන් ලෙසකට ගැනීමය. සංස්කෘතියට, ආගමික සංස්ථාවට, දේශපාලනයට කළ පහරදීම් ලෙස ගැනීමය.

ලේඛකයකු ලියන දෑ වැරදියට ගැනීම තරම් පාඨකයාට හා ලේඛකයාට සිදු වන තවත් ඛේදවාචකයක් නැත. එ් තුළ වාරණය කරළිගත වන නිසාය. වාරණ සාධකය ස්ටැලින් රුසියාවේ හා ලතින් ඇමෙරිකානු මිලිටරි ආණ්ඩු තුළ තරම් අප සමාජයේ බරපතල නැත. එහෙත් කලා රස විහීනත්වයේ හස්තය වෙනත් ආකාරවලින් අපට බලපා ඇත. අද දවසේ එය හොඳින්ම දැකිය හැක්කේ කලා ආයතනවල, විශ්වවිද්‍යාලවල සහ වෙනත් එබඳු තැන්වල කලා රස මතින් තීන්දු ගත යුතු අවස්ථාවල ඊට එරෙහිව නැඟෙන විරෝධය තුළය. මෙවැනි අවස්ථාවක් මහාචාර්ය සරච්චන්ද්‍ර ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියේලාද විස්තර කරයි. ඒ, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ එළිමහන් රංග පීඨය - ‘වළ’ - ගොඩනැඟීමට ගත් උත්සාහය විස්තර කරද්දීය. එවකට පේරාදෙණි උපකුලපති ලෙස සිටිනුයේ සර් නිකුලස් ආටිගලය. ‘වළ’ ගොඩනැඟීමේ වැදගත්කම කොතෙක් කීවත් ඵල නොදරන තැන එය අවසන ඵල දරනුයේ ඒ වන විට සරච්චවන්ද්‍ර ‘මනමේ’ නාටකය බිහි කර විශ්වවිද්‍යාල සමාජය තුළ ඇති කර තිබූ ‘විප්ලවය’ උපකුලපතිවරයාට ඔහු වටා සිටි නිලධර තන්ත්‍රය විසින් පහදාදීම තුළය. නොඑසේ නම් අදටත් ‘වළක්’ නැත.

රසිකයා හා රස හීනයා අතර ඇති මේ පරතරය අනාදිමත් කාලයක සිට එන්නකි. එය කලා කෘති විනිශ්චය හා කලා කෘති විචාරය තුළ දැකගත හැකි වීම තවද අභාග්‍යයට කරුණකි. නිසැකවම අද ඇතැම් සම්මාන ලද කෘති කියවන විට ඊට සම්මාන දීමට කවර කලා රසයක් විනිශ්චය මණ්ඩලයට තිබුණේද යන පැනය නැඟේ. විනිශ්චය පුද්ගලානුබද්ධ වුව කෘතියක කලා රස මුළුමනින් හිස් වීම හෝ රස තිබුණත් පාඨකයා ව්‍යාකූලත්වයට පත් කිරීම සාහිත්‍ය කෘතියකින් සිදු විය නොහැකිය. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන කෘති විනිශ්චයේදී මහාචාර්ය විමල් දිසානායකගේ ‘ජයසිරිගේ සමුගැනීම’ කාව්‍ය සංග්‍රහය විනිශ්චය මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වූයේ ආඛ්‍යාන කාව්‍යයක් ලෙස එහි පිටු ගණන අඩු වීම නිසාලු. කාව්‍ය කෘතියක් විනිශ්චයේදී පිටු ගණන නිර්ණායකයක් කරගන්නේ නම් ඒ විනිශ්චය මණ්ඩලයේ රසිකයන් සිටිය හැකිද?

මෙරට කලාවට පදනම වැටුණේ පේරාදෙණි සාහිත්‍යය මතින් බව අපි දනිමු. එහෙත් පේරාදෙණි සාහිත්‍යය විවේචනය කරමින් පසුගිය දිනෙක කෘතියක් පළ විය. ගැටලුවක් නැත. කෙනෙකුට තමාගේ ශාස්ත්‍රීය ආස්ථානය පැහැදිලි කළ හැකිය. තමාට දැනෙන දේ දැනෙන ලෙස විවරණය කළ හැකිය. එහෙත් විචාරය සාධනීය වන්නේ පහර දීමෙන් නොව කලා රස විනිශ්චය කිරීමෙනි. රස නිෂ්පත්තියේලා, ප්‍රඥාවලෝකනයෙහිලා ප්‍රස්තුත විද්‍යාස්ථානය කෙබඳු මෙහෙයක නියුතු වීද කියා තක්සේරු කිරීමෙනි. එසේ නොකර ද්වේශසහගතව ඊට පහර දෙන විචාරය විද්වත් සමාජය තුළ පිළිගැ‍නෙන්නේ නැත. මට අනුව නම් සාහිත්‍යය යනු පේරාදෙණියය. කලාව යනු පේරාදෙණියය. කෙනෙකු ඊට පහර දීමෙන් වන්නේ ඔහු කලාවෙන්, සාහිත්‍යයෙන් කෙතරම් ඈත් වූවකුද යන්න සනාථ වීම මිස එහි කෙතරම් නියැලෙන්නකුද යන්න හෝ ඔහුගේ මතවාදය තහවුරු වීම හෝ නොවේ.

කලක් මෙරට ප්‍රධාන විචාර ප්‍රවාහය වූයේ මාක්ස්වාදී කලා විචාරයයි. මිනිසාගේ ශ්‍රමය කලාවේදී වැදගත් වන්නේ යැයි එහිදී කියැවිණි. ශ්‍රමය දේශපාලනයට සාධකයක් විය හැකිය. සාහිත්‍ය කලාවේදී ශ්‍රමය සාධකයක්ද? ඔර්හාන් පාමුක් ප්‍රකාශ කරන ලෙස සාහිත්‍ය කලා නිර්මාණය තුළද ශ්‍රමය නැත. එහි නියැලීම වැඩ කිරීමක් නොවේ. එසේ තිබියදී ශ්‍රමය මුල් කරගත් විචාරවේදය මෙරට මුල්බැස ගත්තේ - කෙටි කලකට හෝ - කෙසේද? ඒ, එවැනි දේශපාලනයක නියුතු වන පිරිස් සාහිත්‍ය කටයුතු මෙහෙයවීම නිසාය. එහෙත් අනතුරුව සිදු වූයේ කුමක්ද? ඒ තිබූ තැනක්වත් සොයාගත නොහැකි වීමය. කලාවේ ඇත්තේ රස නම් එහි තක්සේරු විය යුත්තේ රසමය. මීට වසර දහසකටත් එහා ඉතිහාසයක් ඇති භාරතීය රසවාදී විචාරය අදටත් ඉතිරිව ඇත්තේ එය රස තක්සේරු කළ නිසාය. මට හැඟෙන ලෙස නම් කලාව/ සාහිත්‍ය කලාව මාක්ස්වාදී විචාරය මත හෝ අන් දාර්ශනික, දේශපාලනික වේදයක් මත තක්සේරු කිරීම හීන රසිකයාට දොර කවුළු විවර කිරීමක් පමණි.

මාක්ස්වාදී කලා විචාරයේ ප්‍රතිපාර්ශ්වය නම් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ කලාව මිනීමේ නිර්ණායකය. එබඳු විචාරාස්ථානයක ඇති පිරිසගේ අධ්‍යාශයද සමාජය පිරිසිදු කිරීමය. එහෙත් සාහිත්‍ය කලාව පවතින්නේ ආගමට, ජාතියට, සංස්කෘතියට, සම්ප්‍රදායට පහළින්ද? නැත. ඒ ඉහළිනි. එනිසා එයද හීන රසිකයාට කරළිය සපයා දීමකි.

කලාව සමාජ දේශපාලනය මත තක්සේරු කිරීම ගත වූ කාලයේ මෙන්ම දැනුදු සිදු වන්නකි. එහෙත් එය ඊට ඈඳාගැනීම කලාවට කරන ලොකුම හානියය. එතුළින් කලාව පොදු ජන මාධ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ ගැනෙන බැවිනි. අැත්ත වශයෙන් කලාව සමාජය අමතන්නේ කලාව පුද්ගලයා අමතන පමණටය. එය දේශපාලනික වන්නේ එය පුද්ගල ආත්මීය වන තරමටය. එහෙත් මාක්ස්වාදී, ජනතාවාදී විචාරකයන් සිතන්නේ මෙහි විරුදු ලෙසය.

ජනප්‍රියත්වයේ සාධකයද මේ ආකාරමය. අද සාහිත්‍ය කලාවේ නිරත වන ඇතමුන් උත්සාහ ගනු පෙනෙන්නේ බැරෑරුම් ප්‍රබන්ධකරණයේ නිරත වන අතර ජනප්‍රියද වීමටය. එහෙත් ඒ දෙක එකට යයිද? ජනප්‍රියත්වයත්, බැරෑරුම් ප්‍රබන්ධකරණයත් දෙකකි. තමා ලියූ කෘතිය උසස් හෝ පහත් වන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ඊට ලැබෙන ‘ලයික්’ ගණනින් නොවේ. එය විචාරශීලී රසික පාඨකයාගේ හෘදය ආමන්ත්‍රණය කර ඔහු සසල කරන තරමටය. දැන් පෙනෙන්නේ හීන රසිකයා සසල කරන තරමට ඒ ලියන අයුරක්ය. කිසි විවේකයක් නැතිව එක පෙළට ඇතැමුන් ලියන ප්‍රබන්ධ හා විචාර කෘතිවලින් ඒ බව සනාථ වේ.

මා දකින ලෙස රසික සමාජය ඉක්මන් නැත. ඔවුන් කරළියේ සිටින පිරිසක්ද නොවේ. රසිකයා අන්තරාවර්තී අයෙකි. ඔහු ලෝකයට නොව තමාට හැරුණෙකි. එනිසා ඔහු සමාජ මාධ්‍යවල මත පළ කරමින්, චැට් කරමින් ධජ ලෙලවන්නේ නැත. ධජ ලෙලවන්නේ හීන රසිකයාය. රසිකයාගේත්, හීන රසිකයාගේත් පැහැදිලි වෙනසක් ඇත. ඒ, රසිකයාට අන්තරාවර්තී වීම තුළ නිසගව පැනනැඟුණු විනයක් තිබීමය. රස හීන අයටද විනයක් තිබිය හැකිය. එහෙත් ඒ විනය රස වින්දනය පිණිස හෝ ජීවිතාවබෝධය පිණිස වූවක් නොවේ. වෙනස එයයි. එනිසා හීන රසිකයා කලා කෘති ගැන හෝ සමාජ දේශපාලනය ගැන හෝ ජීවිතය ගැන දක්වන මත පළ කිරීම් සෑහෙන දුරට දෝෂසහගතය. එහෙත් යථාර්ථය කුමක්ද? තවමත් එවැනි පිරිස් ඒ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ තැන්වල වැජඹීමය. එවැනි තත්ත්වයක් තුළ රසික සමාජය හා හීන රසික සමාජය අතර ඝට්ටන ඇති වීම නොවැළැක්විය හැකිය.

[රවින්ද්‍ර විජේවර්ධන]

 

මාතෘකා