ඔවුහු ඔවුනගේ ඔලිම්පික් රන් පදක්කම් විකුණූහ

ඔවුහු ඔවුනගේ ඔලිම්පික් රන් පදක්කම් විකුණූහ

ඔලිම්පික් රන් පදක්කමක් යනු ඕනෑම දේශයක සියවස් ගණනාවක් තම රට වැසියාගේ ශක්තිය, ධෛර්ය හා අභිමානය මතු පරපුරට පෙන්වා සිටිය හැකි අනගිතම තිළිණයකි. එමෙන්ම එය මිනිසකුට තමාටත් සිය පරම්පරාවේ දු පුතුනටත් අභිමානයෙන් හා ගෞරවයෙන් සිහිපත් කළ හැකි අමරණීය වස්තුවකි.

යම්කිසි පදක්කමක් හෝ කුසලානයක් මිනිසකුගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවක් සටහන් කරයි. එය ඔලිම්පික් රන් පදක්කමක් වූ විට මිනිසකුට එකී පදක්කම ජීවිතයේ අමරණීයම මතක සටහන වන බවට කිසිදු සැකයක් නැත.

රන් පදක්කම වෙනුවට රිදී පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවූ අපේ සුසන්තිකා සිය රිදී පදක්කම වෙන්දේසි කිරීමට සැරසුණේ දුප්පත්කමින් ගොඩයෑමේ මාර්ගයක් ලෙස දකිමිනි. එහෙත් සැබෑව නම් ඒ වනවිටත් සුසන්තිකා සතුව තමාගෙම නිවහනක් , මෝටර් රථයක් හා ජීවත්වීමට හැකියාවක් සහිත රැකියාවක්ද තිබිණි. ඇය සිය රිදී පදක්කම විකුණනවා යැයි කියා මැන බැලුවේ තමා උපයාගත් කීර්තිය වෙන්දේසි කොට එහි වටිනාකමට යම් මිලක් නියම කිරීමය. අප කතා කරන්නේ සුසන්තිකා මෙන් සිය පදක්කම වෙන්දේසි දැමූ ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් ගැන නොවේ. මනුෂ්‍යත්වයේ නාමයෙන් සිය පදක්කම විකුණා මිල කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැනයි.

ඉනුත් පෝලන්තයේ ඔට්ලියා ජෙඩිසිජැක් (Otylia Jedrzejcza) සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අන්තෝනි අර්වින් ගැනයි... දෙදෙනාම ඔලිම්පික් රන් පදක්කම් දිනූ පිහිනුම් ක්‍රීඩකයෝය.

පෝලන්තයේ ඔට්ලියා ජෙඩිසිජැක් ඇය 2004 ඇතැන්ස් ඔලිම්පික් පිහිනුම් ඉසව්ව නියෝජනය කරනවිට වයස අවුරුදු 22 කි. ඇය එහිදී පිහිනුම් ඉසව් ත්‍රිත්වයක් නියෝජනය කළාය. ඉන් මීටර් 200 සමනල ආර ඉසව්වෙන් ඇය රන් පදක්කම දිනූ අතර මීටර් 400 නිදහස් ආරෙන් රිදී පදක්කම දිනා ගත්තීය. පෝලන්ත ක්‍රීඩා ඉතිහාසයේ පිහිනුම් තරගවලින් එකම ඔලිම්පික් උලෙළක රන් පදක්කම සහ රිදී පදක්කම දිනා දුන් පෝලන්ත යුවතිය ඔට්ලියාය.

ඇය ඇගේ රටට ඉමහත් කීර්තියක්ද අභිමානයක්ද ගෙන දුන්නාය. එහෙත් ඇය ඔලිම්පික් උලෙළට යෑමට පෙර එක් සත්‍ය ජීවිතයක් පදනම් කරගත් නවකතාවක් කියවීය. එහි ප්‍රධාන චරිතය වූයේ ලියුකේමියා රෝගයෙන් පෙලුන දරුවෙකි. මෙම කතාව කියවූ පසු ඇයට ඇති වූ කම්පනය ඇයට දරා ගත නොහැකි විය. ඇගේ ජීවිතය තුළට මෙම කතාවේ එන දරුවා විදුලියක් මෙන් ඇවිත් විදුලියක් මෙන් පිටව ගියේය. කාලයා ඇගේ ශෝකය යටපත් කළද එය අමතක කිරීමට ඇයට නොහැකි විය. ඔලිම්පික් පදක්කම් දිනා මාස දෙක තුනක් යනතුරු නිහඬව සිටි මෙම කෙල්ල ලියුකේමියා රෝගයෙන් සිය අවිහිංසක ජීවිතවලින් සමුගන්නා දරුවන් වෙනුවෙන් යමක් කළ යුතු යැයි සිතා ගත් අතර 2004 දෙසැම්බර් මස

19 වැනි දින සිය අනගි ඔලිමිපික් රන් පදක්කම විකුණා දැම්මාය. එය මිලදී ගත්තේ වික්ටෝරියා සයිමස් නැමති පෝලන්ත ආහාර සමාගමය. ඒ සඳහා ඔවුන් ඇයට ඇමෙරිකන් ඩොලර් 82,437ක් ගෙවා තිබිණි. මෙම මුදල් ගත් සැනින් ඔට්ලියා දිව ගියේ පෝලන්තයේ අගනුවර වෝර්සෝවල පිහිටි Alicja Chybicka, පිළිකා රෝහලටය. එය කුඩා දරුවන්ගේ ලියුකේමියා හා පිළිකා රෝග වෙනුවෙන්ම ඉදිකළ ළමා රෝහලකි. එයට ඇතුළු වූ ඇය මෙසේ කීවාය.‘‘ මෙන්න ගන්න...! මේ බලන්න මම දරුවන්ට නත්තල් තෑග්ගට ගෙනාපු දේ...! ඉතිං ගන්නකො මේක...‘‘

පසුව පෝලන්ත හා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ඒ රත්රන් හදවතක් ඇති ඔට්ලියා ජෙඩිසිජැක් මෙසේ කියා තිබුණාය.

‘‘ මට කරන්න පුළුවන් දේ මෙච්චරයි. මට මතක සටහනක් විදිහට රන් පදක්කමම ඕන නෑ. මම දන්නව මමයි 2004 ඔලිම්පික් ශූරයා කියල. ඉතින් ඒක මගේ මතකයේ තිබුණම මට ඒ හොඳටම ඇති.

දෙවනුව අපි කතා කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අන්තෝනි අර්වින් ගැනය. ඔහු 2000 වර්ශයේ ඔස්ට්‍රේලියාවේ පැවති ඔලිම්පික් උලෙළේ මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම් ලාභියාය. 2004 වර්ෂයේ ආසියා මහද්වීපයට සුනාමිය කඩා වැදිනි. අන්තෝනි අර්වින්ට සුනාමිය වෙනුවෙන් යමක් කළ යුතුව තිබිණි. හේ සිය අල්මාරිය ඇර සිය රන්වන් ඔලිම්පික් පදක්කම අතට ගත්තේය. නගරයේ පදක්කම් මිලට ගන්නා සුප්‍රකට වෙළෙන්ඳෙක් හමුවූ ඔහු එය ඩොලර් 17,100කට විකුණා දැමීය. එම මුදල ඔහු වහ වහා ඉන්දියන් සාගරයේ සුනාමියට බිලි වූ රටවල් වෙනුවෙන් වැය කළේය. පුවත්පත් කලාවෞදීන් ඔහුගෙන් මේ ගැන විමසූ විට ඔහු කිසි ගණනක් නොගෙන මෙසේ කියා ඇත.

‘‘ මම ජීවිතයේ යමක් හොයමින් හිටියෙ. ඒක තමයි මේ... ඒ සොයාගත්තු දේ දැන් මම මැරෙනතුරු මගේ මාදිලිය සහ කැමැත්තයි. ‘‘

මේ සුන්දර මිනිසා 2016 රියෝ ඔලිම්පික් උලෙළේදි නැවත වරක් මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගත්තේය.

[උපාලි ජයසිංහ]

 

මාතෘකා