අප්පච්චී ගැන මතක

 ඡායාරූපය:

අප්පච්චී ගැන මතක

දෙවට කුඹුරේ මහ තිඹිරි ගහ යට ඇන තියාන අප්පච්චි මට හැන්දෑ අහසේ රස්තියාදුවේ යන වවුල් රංචු පෙන්නූ හැටි අද ඊයේ වගේ මතකයි. උඹේ පස්සෙන් වැටී වෙලේ, වැවේ, ඉපනැල්ලේ ඇවිද්ද මම අදත් ඒ චාරිකාවට බොහොම කැමතී... ඒත් අද ඒ වනදුර්ගවල ඇවිදින්න කෝ හිතවතෙක්... ගස් බිල්වල මී බැඳෙද්දි, ලන්ද මැද හුඹස්වල වේ බිම්මල් පිපෙද්දී ඒ ගැන ඉස්සරින්ම දැනෙන්නෙ අපෙ අප්පච්චි උඹටයි. කුඹුරෙ, ලන්දෙ උඹ ඇවිදිද්දි පුංචි හිතේ උඹ ගැන බියක් තිබුණත් හිඹුටු, පේර, මාදං, කෝං පොදියක් ඉනේ බැඳගෙන හවසට අපෙ අප්පච්චි ගෙදර එද්දි මම දුවන් ඇවිත් බෙල්ලෙ එල්ලුණේ ඒ ගඩා ගෙඩිවලට ආසාවෙන්ම නෙවෙයි. අපෙ අප්පච්චි ගෙදර එන සතුට හිතේ පුරවගෙන. තඹරව වැවුතාවුල්ලෙන් නෙලුම් අල මල්ලකුත් කොටාගෙන, අඟුන වැළකුත් එක අතක දාගෙන හවසට උජාරුවෙන් ගෙදර එන උඹේ අතේ එල්ලෙන්න අද තවත් මට හිතයි... . අප්පච්චි උඹ තරම් ගහට කොළට සතා සිවුපාවට ආදරේ කරපු මිනිහෙක් මට තාම මුණගැහුණෙ නෑ... කුරුලු කූඩුවකට ගල් මුගුරු විසිකරපු ගමේ කොලු කුරුට්ටන්ට තරවටු කරපු උඹ මට පරිසරය ගැන කියා දීපු කයි කතන්දර අස්සෙ හංගල ලොකු ලොකු දැනමුතුකම් දීපු බව වැටහෙන්නෙ දැනුයි...

අප්පච්චි උඹ තමයි මට හිටපු එකම පාඨකයා, ශ්‍රාවකයා, ප්‍රේක්ෂකයා වගේම මිත්‍රයා. හයේ පන්තියේදි සිංහල රචනා තරගෙකින් වයඹ පළාතෙ පළමුවෙනි තැන දින්න මම ගෙදර ආවම මට වඩා සතුටු වුණේ උඹ බව මට තාම මතකයි. උඹේ මූණෙ තිබුණු උජාරු හිනාවට අස්සෙන් පුංචි කඳුළු කැට දිලිසුණා. ඉස්කෝලෙ පාඩම් වැඩවලදි මම ලියපු කවි, කතා, රචනා ඉස්සරෝම කියවන්නෙ උඹයි අපෙ අප්පච්චි. ඒව බලල උඹ මට හාද්දකින් දුන්න දිරිය පන්තියේදි ලැබෙන ලකුණුවලට වඩා පුංචි මට අගෙයි. මගෙ වයසෙ යාළුවන්ට වෛවාරණ සෙල්ලම් බඩු තෑගි ලැබෙද්දි මට ලැබුණෙ කතන්දර පොත්, පත්තර, සඟරා. මම ඒව බාරගත්තෙ පුදුම සතුටකින්. මට තිබුණු එකම සෙල්ලම් කරත්තෙ හදල දුන්නෙත් අප්පච්චි උඹයි. පුංචි මට සතුටුවෙන්න එදා ඒක හොඳටම ප්‍රමාණවත්. මම ඇඳපු චිත්‍රවල අඩුපාඩු, වැරදි පෙන්නන්න හුඟ දෙනෙක් හිටිය. ඒත් ඒව අගය කරන්න හිටපු එකම විචාරකයා උඹයි. මගෙ අතින් ඇඳෙන චිත්‍ර තව තවත් හැඩ කළේ උඹම තමයි අප්පච්චි. අලුත් අවුරුද්දක් ඇවිත්. අපට අලුත් ඇඳුම් ගෙනැත්. අපි හැමෝම සතුටින්. උඹේ ඇඟේ තිබුණේ පරණ ඇඳුමක්. ඒත් අපිට වඩා උඹ සතුටෙන් හිටියේ ඇයි අපෙ අප්පච්චි? මට මතකයි මම පුංචිම පුංචි සන්දියෙදි මොකක්දෝ හේතුවකට කිරි අත්තල, ඒ කියන්නෙ උඹේ අප්පච්චිල උඹත් එක්ක විරසක වුණා.

ඒ ඈයො මහගෙදර "අලුත් බත් සාදයක්" ගමටම කියල පවත්වන බව ආරංචි වුණාම මම උඹෙන් ඇහුව "අලුත් බත් කියන්නෙ මොනවද?" කියල. පුංචි මම එදා ඒක ඇහුවෙ නොතේරුණුකමට. උඹ මාව තුරුලු කරගෙන එදා ඉකි ගගහ අඬද්දි මට තේරුණේ නෑ ඒ ඇයි කියල. හවසට උඹ අපේ ගෙදරත් පුංචි අලුත් බත් සාදයක් ලෑස්තිකළේ අපිට දුක හිතෙයි කියල නේද මගෙ අප්පච්චි. ඒ සාදෙට හිටියේ අයියයි මමයි අම්මයි උඹයි. ඒත් ඒ පුංචි උත්සවේ තිබුණු සතුට සමහරවිට උඹේ මහගෙදර "මහ සාදෙවත්" නොතිබෙන්න ඇති.

අවසානෙ නිදන්න කලින් උඹ මාව තුරුලු කරගෙන "අලුත් බත" ගැන කියාදුන්නම පුංචි මට උඹ ගැන දුක හිතුණා, සත්තයි. පවුලෙ අය හැමෝම ගමේ අය එක්ක උඹ නැතුව සතුටු වෙද්දි උඹ අපිව ළංකරගෙන කොච්චර නම් හිත යටින් දුක් වෙන්න ඇද්ද? ඒත් උඹ අපි එක්ක ඒවාගෙ සියදහස් ගුණයක් සතුටින්. ඒ කාලෙ අපෙ අප්පච්චිගෙ ප්‍රියතම ගුවන්විදුලිය වෙළෙඳ සේවය. උඹ ආස කරපු හැම ගීතයක්ම මමත් හුඟක් ආසාවෙන් ඇහුවෙ. ඒත් ඒවගෙ අරුත් මට එදා තේරුණේ නෑ. ඔය අතරෙ සෝමතිලක ජයමහ මහත්තයගෙ " හැමදාමත් යාළුවේ" අහද්දි අප්පච්චිගෙ හිතේ ලොකු දුකක් ඇතිවෙන බව නම් මට දැනුණා අප්පච්චි. ඒ ඒ අස්සෙ උඹේ කතාවත් හැංගිල තිබුණු නිසා නේද අපෙ අප්පච්චි. කාට උඹව එපා වුණත් අපෙ අම්මට නම් උඹ රටක් රාජ්‍යයක්. ඒ ආදරේ, ඒ සතුට, සැනසීම ළඟ උඹ පොඩි එකෙක් වගේ. කාලය ටිකින් ටික ගෙවිල යද්දි මට දේවල් ගැන ටිකෙන් ටික දනුම් තේරුම් යද්දි අපේ ජීවිත හරියට වෙනස් වුණා.

එකොළහේ පන්තියෙන් සා/පෙළ විභාගෙ පාස්වෙලා මම ගෙදර ආවම, "උඹ තමයි අපිව ගොඩගන්නෙ" කියලා උඹ කීවෙ පුදුම විශ්වාසෙකින් නේද? ඒත් මම දහතුනේ පන්තියෙන් උසස් පෙළට ලෑස්ති වෙද්දි මගේ ජීවිතේ කණපිට පෙරළන්න තරම් උඹ නපුරු වුණේ කොහොමද මගෙ අප්පච්චි. වත්ත පහළ පොල් රුප්පාවෙන් පැනගෙන උඹ අපිව අතෑරල කොහේදෝ දුර ලෝකෙකට ගිහින් තිබුණා. මගෙ එකම හිතවතා වගේම මට හිටපු රැකවලා, මගෙ හොඳම රසවතා, මගෙ ලෝකෙ බලවතා වගේම වීරයා එදා මට නැති වුණාම දැනුණු අසරණකම උඹ දන්නව නම්. ඉතින් මම අධ්‍යාපන වෙන්දේසියෙ අවලංගු කාසියක් වුණා ඉබේම. උඹ අපෙන් වෙන්වෙලා පහළොස් අවුරුද්දක් ගතවෙලා. කාලෙ වෙනස්වෙලා, පරිසරය වෙනස්වෙලා, මම වෙනස් වෙලා, රට වෙනස්වෙලා, ඒත් එක දෙයක් නොවෙනස්. මගෙ ලෝකෙ වීරයා තාමත් උඹම තමයි මගෙ අප්පච්චි.

මම අපේ මතක සැඟවිච්චි ගම දාල නගරෙට ඇවිත්. ඒ කාලෙ වගේ අද හිතට කොයින්ද සැහැල්ලුවක්. මේ කොලොම්පුරේ ගෙන්දගම් පොළොවට පය ගහපු මට ලැබුණු කැපිලි, කෙටිලි, හැප්පිලි, ගැරහිලි, පීඩා, චෝදනා, වේදනා බොහොමයි. උඹ කියපු කතාව ඇත්ත. "ජීවිතේ කියන්නෙ නොකළ වරදකට ලැබුණ සුන්දර දඬුවමක්"

[ඩෙස්මන් සී. හේරත්]

මාතෘකා