ආර්ය සංස්කෘතිය නම් ප්‍රවාදය

 ඡායාරූපය:

ආර්ය සංස්කෘතිය නම් ප්‍රවාදය

ශ්‍රී ලංකාවේ ඉතිහාස අධ්‍යයනය තුළ මුල්බැසගත් ආර්ය ප්‍රවාදය මඟින් පැහැදිලි කරන්නේ, උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්යයන් කණ්ඩායමක් විසින් මෙරටට හඳුන්වාදුන් සංස්කෘතික පැකේජය මඟින් මෙරට සංස්කෘතිකකරණය වූ බවය. මෙම ප්‍රවාදය දෙස ඉතා සූක්ෂමව අවධානය යොමුකිරීමේදී එමඟින් යම් ප්‍රබල සංස්කෘතියක් විසින් අප්‍රධාන සංස්කෘතියක් වෙත එකී ප්‍රබල සංස්කෘතිය තුළ පැවති සංස්කෘතික ගුණාංග විසරණය කිරීමක් ඇඟවෙයි. එනම් සංස්කෘතික විසරණය නම් ක්‍රියාවලියයි.

මෙම විසරණ මතවාදය සමාජීය න්‍යායක් වශයෙන් 1920ත් 1960ත් අතර කාලයේ ඇමරිකාවේදී බිහි වී වර්ධනය වුවකි. ආසියානු සමාජවල පැවති අතීත සභ්‍යත්වයන් විග්‍රහ කිරීම සඳහාද මෙම න්‍යාය භාවිත කෙරිණි. මෙම න්‍යාය තුළ දැකගතහැකි ප්‍රධාන මූලධර්ම තුනකි. එනම් සංස්කෘතිය, ගතිලක්ෂණ, සහ අදහස් යන්නයි. සංස්කෘතිය යනු යම් කණ්ඩායමක ඇති හසල හෙවත් උගත් චර්යාව වන අතර එයට අයත් වස්තු, විශ්වාස පද්ධති එහි ගුණාංගයි. සෑම ගුණාංගයක්ම සංස්කෘතික නිර්මාපකයන් විසින් බිහිකරන සුවිශේෂී වූ අදහසක ප්‍රතිමූර්තියකි. එමෙන්ම යම් සංස්කෘතියක් අදහස් ගලනයට දක්වන ප්‍රතිචාරයක් වශයෙන් විපර්යට ලක්වෙයි (ගුණාංග ඇතුළත්වීම හෝ වියැකීයාම). අදහස් නිෂ්පාදනය සහ ව්‍යාප්තිය සඳහා ප්‍රධාන යාන්ත්‍රණ නැතිනම් ක්‍රියාවලි තුනක් සම්බන්ධය. එනම් නිෂ්පාදනය, විසරණය, සහ සංක්‍රමණයයි. නිපදවීම යනු නව අදහසක උත්පාදනයකි, විසරණය යනු යම් අදහසක් සංස්කෘතියකින් සංස්කෘතියකට ආරෝපණය වීමයි. එමෙන්ම සංක්‍රමණය යනු යම් අදහසක් එහි නිර්මාපකයන්ද සමඟ යම් සමාජයක් වෙත සම්ප්‍රේෂණය වීමයි. එය ආක්‍රමණ, ජනසංක්‍රමණ, විවාහ සබඳතා ආදී ක්‍රමවලින් සම්ප්‍රේෂණය විය හැකිය.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඉතිහාසයෙහි අවසන් වීම ‘ඇපකැලිප්ටෝ’ චිත්‍රපටයේ අවසාන දර්ශනයටත් වඩා වඩාත් සිනමාත්මකය. එනම් විජය ඇතුළු පිරිසගේ ආගමනය සහ ඔවුන් අතින් මෙරට සිටි ස්වදේශීය කොටස් යකඩින් සහ ලෙයින් යටත් කිරීමෙන් එකී අශිෂ්ටත්වයේ යුගය අවසන් වෙයි. එනම් ජනසංක්‍රමණික ස්වරූපයකින් සිදු වූ සංස්කෘතික විසරණයකින් මෙරට සභ්‍යත්වය කරා රැගෙනයෑමේ මුල්ගල තැබූ බව ඉන් ඇඟවෙයි. ඉන්පසුව එළඹෙන්නේ ශිෂ්ටත්වයේ යුගයයි.

ප්‍රංශ ජාතික වාෂර් ඩි ලැපූග් වැන්නන් විසින් දක්වා සිටි කපාලවල හැඩය අනුව මෙකී ආර්ය නම් වූ උසස් කණ්ඩායම ජීවවිද්‍යාත්මකවද හඳුනාගත හැකි බව සහ දිගැටි හැඩයක් සහිත හිසක් සහ සුදු සමක් ඇති සංස්කෘතික අධිපතිත්වයක් දැරූ එවන් පිරිසක් නායකයන් වීමට උපතින්ම වරම් ලද්දන් වූ අතර මිටි කුඩා පිරිස් පාලනය කිරීමේ අයිතියද ඔවුනට සහජයෙන්ම උරුම වූ බව දැක්වෙන අන්තවාදී අදහස් වලින්ද අප මුල්කාලීන ඉතිහාසඥයින් අතිමහත් ලෙස ආභාසය ලැබූ බව 20 වන ශතවර්ෂයේ මැද භාගය වනතෙක් සම්පාදනය වූ ඉතිහාස ග්‍රන්ථ වලින් පැහැදිලි වන කරුණකි. එපමණකුදු නොව ප්‍රාග්ඉතිහාසය සහ ඓතිහාසික බෙදුම් රේඛා වෙන් කර ගැනීමට නොහැකි වූ පසුකාලීන පුරාවිද්‍යාඥයින්ද මෙයින් ව්‍යාකූලත්වයකට පත් වූ එහෙයින් ඔවුහුද තම ඓතිහාසික විශ්ලේෂණ මඟින්ද අන් අය විසින්ද වරනැඟූ පොදු සාහිත්‍යමය වාගාලාපක් වන ආර්යාගමන ප්‍රවාදය පුනරුච්චාරණය කොට ලිස්සා ගියහ.

අප සංස්කෘතිය ඉන්දියානු උප මහද්වීපික සභ්‍යත්වයෙන් පෝෂණය වූයේ නැත හෝ එම ජනකණ්ඩායම්වල බලපෑමක් ‍මෙරට ජනකණ්ඩායම්වල ජාන සංචිතය කෙරෙහි බලනොපෑවාය යන්නක් මෙමඟින් ඇඟවෙන්නේ නැත. සැබවින්ම සිදුවූයේ අප ස්වදේශීය සංස්කෘතිය සහ එකී විදේශීය සංස්කෘති එකට මිශ්‍ර වීම මඟින් නව සංස්කෘතියක් බිහි වීමයි. එලෙස සංස්කෘති එකට මිශ්‍ර වීම ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ Creolization යනුවෙනි. මෙමඟින් යම් සංස්කෘති දෙකක් එකිනෙකට අභිමුඛ වූ විට ඒවායේ මුණ ගැසීමෙන් යම් යම් අර්ථාන්විත ආකෘති සහ කාර්යඵල බිහි වන බව අර්ථගැන්වෙයි. මෙහිදී එම ක්‍රියාවලිය තුළදී එම ගති ලක්ෂණ ඇති වීමට මුලික වූ සංස්කෘතික මූල නොනැසෙන අතරම නව සහ වෙනස් සංස්කෘතික අස්ථිත්වයන් බිහි වීමද සිදු වෙයි. මෙම සංස්කෘති තුළ ඇති වන විපර්යයන්ට වඩාත් නම්‍යශීලී අනුවර්තනශීලීත්වයක් වර්ධනය වන අතර එමඟින් බහුඅරුත් නිර්මාණය වීම සඳහා වඩාත් විවෘත ස්වභාවයකින්ද යුක්තව කටයුතු කරයි. මෙම සංස්කෘති තුළ ඇති වන නව හැඩ බිහි වී කල්ගත වීමෙන් අනතුරුව එකී සංස්කෘතික ලක්ෂණ බහුවිධතාව සහ බහුභාෂණය ප්‍රතිමූර්තිමත් කරයි. එහෙයින් එය ජාතික අනන්‍යතා මාදිලියක් වශයෙන්ද භාවිත කිරීමට වඩාත් සුදුසුම ගණයේ සංස්කෘතික ලක්ෂණ දරයි. අප සංස්කෘතිය තුළද ඉහත කී ගති ලක්ෂණ බෙහෙවින් අන්තර්ගත වන අතර අප සංස්කෘතිය තුළ ඇතැම් විට ඉන්දියානු උප මහද්වීපීක ලක්ෂණ දැරුවත් ඊට ස්වාධීන වූ පැවැත්මකින්ද යුක්ත වන්නේ එකී සංස්කෘතික මිශ්‍ර වීමේ ක්‍රියාවලියට ලක් වූ නිසාය.

මෙකී මිශ්‍ර සංස්කෘතික ආකෘති කිසිදා ස්ථිතිකව නොපවතී. එහි ඇති වෙනස්කම්වලට වඩාත් විවෘත වන ස්වභාවය නිසා සංස්කෘති තුළ ක්ෂණිකව සිඳුවන අන්තර්ක්‍රියාවලට නිරන්තරයෙන් අනුවර්තනශීලිත්වයක් දක්වයි. අප සංස්කෘතියද වඩා ස්ථිතික හෝ නිමි සංස්කෘතියක් වශයෙන් නොපැවතී නව සංස්කෘතික ආභාසවලින් සංස්කෘතික මූලයන්ට හානියක් නොවන සේ එහි හැඩය නිරන්තරයෙන් ඓතිහාසිකව වෙනස්කරගෙන ඇත්තේ මෙම ගතිලක්ෂණ මැනවින් දරන නිසාය. එහෙයින් එය පූර්ණ වශයෙන් ආර්යාගමනයෙහි ප්‍රතිඵලයක නිර්මිතයක් සේ දැකීම හුදු ප්‍රවාදයක්ම වන්නේය.

[දිනේෂ් දේවගේ]

මාතෘකා