නිමක් නැති ප්‍රශ්න!

 ඡායාරූපය:

නිමක් නැති ප්‍රශ්න!

හැමකෙනෙකුටම ප්‍රශ්න තියෙනවා. සියල්ලෝම එකක් පිටුපස එකක් හැටියට එන, නැත්නම් එක පොදියට එන ප්‍රශ්න වැලකට මුහුණ දෙනවා. ජීවිතේ ඔහේ ගලා නොයා වංගු සහිත, බාධක සහිත දුරමාර්ගවල රිංගමින්, දණගාමින්, බඩගාමින්, කෙඳිරිගාමින් යද්දී ලැබෙන අත්දැකීම් මතින් ලැබෙන පන්නරය මහා බලයක් අප සිතේ ගොඩනඟනවා. හැරිලා බැලුවොත් තමන්ගේ ජීවන ගමනේ මෙවන් ප්‍රශ්නවලට තමන් දක්වපු ප්‍රතිචාර මත අද අප සිටින ස්ථානය තීරණය වෙලා තියෙන බව දකින්න පුළුවන්.

කන්න, අඳින්න, ඉන්න හිටින්න හරිහමං දෙයක් නැතුව ඉතාම දුප්පත් පවුලක උපන් ඇතැම් අය අද ඉන්න තත්ත්වය ගැන හරිම ආඩම්බරයෙන් කතා කරනවා වගේම රජ මැදුරු වැනි සියල් සපිරි තැන්වල උපන් මිනිසුන් අපාදුක් විඳ මියයන්නේ තමන්ගේ ජීවිතේ හමුවන ප්‍රශ්නවලට ඔවුන් මුහුණදීපු ආකාරය මත කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ජීවිතේ අපි මුහුණදෙන ප්‍රශ්න දෙයාකාරයකට වෙන්කරගන්නට පුළුවන්. අපිට අප ගැන තියෙන ප්‍රශ්න සහ ලෝකයාට අප ගැන තියෙන ප්‍රශ්න. ආකල්පමය වෙනසකින් මෙවැනි සියලු ප්‍රශ්නවලට විසඳුම් සෙවිය හැකි බව අනේකවිධ ප්‍රශ්න මතින් දිනුම් කණුව කරා ඇදුණු පිරිස් පෙන්වා දෙනවා. මෙවන් ප්‍රශ්නවලට කොහොමද මුහුණදෙන්නෙ කියලා දෙන්න අද වෙනකොට ලොකු මුදලක් අය කරන සේවයක් දක්වා දුර ගිහිල්ලා තියෙන්නේ එකම එක හේතුවක් නිසායි. එනම් විසඳුම අනෙකෙක් මත සෙවීමේ අන්ධ විස්වාසයයි.

කලින් කිව්වා වගේ ප්‍රශ්නවල ප්‍රධාන දෙයාකාරයට තියෙන්නේ එකම මුහුණුවරයි. අනුන් කියන කරන දෙය නිසා අප හිස මත පටවාගන්නා ප්‍රශ්න වගේම, අපි ගැන අපිට තියෙන ප්‍රශ්න මේ දෙවර්ගයයි. මෙහෙම තියෙන ප්‍රශ්න හඳුනාගන්නේ කොහොමද? මට මං ගැන ප්‍රශ්න තියෙනවද? කාටවත් මට ප්‍රශ්න ඇති කරන්න පුළුවන්ද? එහෙමනම් පහත වදන් අවධානයෙන් කියවා බලන්න.

"ඉක්මනින් මහත්වෙන්න අර බෙහෙත පාවිච්චි කළාට කමක් නැද්ද?"

"සුදු වෙන්න ගහන ඉන්ජෙක්ෂන් එක ගන්නේ කොහෙන්ද?"

"උස වැඩිකරගන්න කරන්න උපදෙසක් දෙන්න"

ඉහත වදන් වගේම ඊට එහා ගියා පෞද්ගලික ප්‍රශ්න පවා අන්තර්ජාලයේ ඉන්න උපදේශකයන්ගෙන් විමසන්න බොහොමයක් දෙනෙක් පෙලඹිලා කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න රොද බඳින පිරිසටත් එවැනි ප්‍රශ්න තිබුණු බව පෙනෙනවා. මෙවැනි ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව තමන් පිළිබඳව තියෙන ආත්ම විස්වාසයේ දුර්වලතාවයි. සමාජය ඉදිරියේ තමන් කළු නිසා නොපිළිගනී කියලා, මහත නිසා ලැජ්ජාවට පත්වෙනවා කියලා, මිටි නිසා නොපෙනී යයි කියලා අපි ප්‍රශ්න නිර්මාණය කර ගන්නවා. මෙයට හේතුවෙන්නේ අපි මමත්වයට දක්වන ආශාව. අනෙකාට වඩා ලස්සනට ඉන්න ඇඳුම ලස්සනට අඳින්න අපිට තියෙනවා ආශාවක්. විශේෂයෙන් කාන්තා පාර්ශ්වය තුළ. අනෙක නම් අපි ගැන සමාජයට ඇතිවන ප්‍රශ්න. සමාජය නිසා අපේ හිස මත පතිතවන ප්‍රශ්නවලට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න ගියොත් ජීවිතයේ තියෙන සමබරතාව ඉක්මනින් බිඳ වැටෙනවා. මඟතොටදී හමුවන හිත මිතුරන් නිරන්තරයෙන් ඔබට එල්ල කරන්නේ ප්‍රශ්න. සමහරක් අතිශය සංවේදි දේවල්. බාහිරින් නොනැවතී අපේ අභ්‍යන්තරයට ඔවුන් එල්ල කරන්නේ සුළුපටු අභියෝගයක් නොවේ.

"තාමත් බයිසිකලේද බං; මං නම් ගත්තා කාර් එකක්. දැන් ඉතින් අව්වේ වැස්සේ දූවිල්ලෙ කියලා වෙනසක් නැහැ. ගෙදර ඔක්කෝටම එකටම යන්න පුළුවන්"

ඔබ සිතමින් සිටියේ වෙනත් අරමුණක් පිළිබඳව වෙන්න පුළුවන්. ක්ෂණිකව මහමඟදී හෝ කාර්යාලයේදී ඔබේ හිතට මාරාන්තික ප්‍රහාර එල්ල වෙන්නේ අන්න ඒ විදිහටයි. එයින් පසුව අපි එය අපේ ප්‍රශ්නයක් කරගන්න යෑමෙන් තමයි දැවෙන ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඔබේ දරුවාට උසස් අධ්‍යාපනයක් ලබාදෙන්න තියෙන මුදලක් ඉහත ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න යටවෙන්න හැකියාව තියෙනවා. සමහරවිට හිසට නිවසක් තනාගන්න තිබුණු මුදලක්. තමන්ගේ ජීවිතේ ප්‍රමුඛතා වෙනත් කිසිවෙකුට තීරණය කරන්නට ඉඩ නොදෙන්න වගබලා ගන්න උත්සාහ කරන්න. කවුරුන් හෝ එවැනි යෝජනාවක් ගෙන ආ විට එහි සරුබව පිළිබඳව අවධානය යොමන්න. ඔහු එය සපුරාගත් ආකාරය පිළිබඳවත් අවධානයෙන් බලන්න. සමහර විට ආයතනයෙන් ණයක් සහ මූල්‍ය ආයතනයක පහසුකමක් ආධාරයෙන් ඔහු එය ලබාගන්න ඇති. මසකට කීයක් දරන්න වෙනවාද? වගේ ප්‍රශ්න විශ්ලේෂණය කරන්න. මෙවන් අදහස්වලට තියෙන හොඳම විසඳුම තමයි තමන්ට කැපීපේන්න පුළුවන් ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වෙන්න උත්සාහ කරන එක. අඛණ්ඩ පුහුණුවෙන් සහ කැපවීමෙන් ඔබව ඉහළට ඔසවා තබනු නිසැකයි.

ප්‍රශ්න අපිව මුවහත් කරනවා. අපව දිදුලවනවා. එහෙම වෙන්නේ අප ඉදිරියට එන ප්‍රශ්නවලට අප ලබාදෙන පිළිතුරුවල තියෙන නිර්මාණශීලීබව සහ උචිත බවයි. තමන්ගේ ස්වරූපය නිසා මනසේ ඇතිවන ප්‍රශ්න මෙන්ම අනුන් අපේ මනසේ ඇතිකරන ප්‍රශ්නවලට දෙන්න පුළුවන් පිළිතුරු මත අපේ ජීවිත ගමනේ දිශානතිය වෙනස් වන බව සිහියට ගන්න.

[මේනක මදුජිත්]

මාතෘකා