බිඳවැටුණු අවසාන රේඩියෝ සිහිනය

 ඡායාරූපය:

බිඳවැටුණු අවසාන රේඩියෝ සිහිනය

පුහුණුව ලැබූ තරුණ කණ්ඩායම එක්ක අපි එක් එක් දිස්ත්‍රික්කවල කුඩා තේවතු සංවර්ධන සමිති සාමාජිකයන් හා නිලධාරීන් හමුවී ඔවුන් වෙනුවෙන් ගොඩනැඟෙන රේඩියෝව කොයි විදියේ හැඩයක් ගන්න ඕනෙද කියලා කතාකරන රැස්වීම් මාලාවක් පැවැත්වුවා. එය මුලින්ම ආරම්භ කළේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලින්. මුල් රැස්වීම්වලට තිලක් ජයරත්න මහතා සහභාගී වුණත් පසුව මං තනියම මේ හමු පැවැත්වුවා.

මේ හමුවලදී ප්‍රජාවෙන් අපූරු අදහස් ගණනාවක් මතුවුණා. ඒකෙන් වැදගත්ම අදහස වුණේ "වෙළෙඳ දැන්වීම් පළකරන්න එපා" කියලා මේ කුඩා තේවතු හිමියන් එකහෙළා කළ ඉල්ලීම. ඒ අදහසට තිලක් අයියා ඇතුළු අපි කණ්ඩායම පුදුම සතුටක් ලැබුවා.

එතකොට මේ රේඩියෝව පවත්වාගෙන යන්න අවශ්‍ය වියදම හොයන්නේ කොහොමද? තිලක් අයියා ප්‍රජාවෙන් ඇහුවා. ප්‍රජාව මීට දුන්න පිළිතුර අපිව මේ පොළොව මත ආයෙත් දෙපයින් හිටෙව්වා කියලා හිතෙනවා.

"අපි එක්කෙනෙක් මාසෙකට රුපියල් 100ක් දෙන්නම් රේඩියෝ එකේ වියදම්වලට."

මේ රුපියල් සියයක පුංචි මුදල රේඩියෝවක් පවත්වාගෙන යන්න හැකි දැවැන්ත මුදලක් විදියට සැකසෙන්නේ කොහොමද? ඒ දවස්වල ලංකාවේම කුඩා තේ වතු සංවර්ධන සමිති 1300කට වැඩි ප්‍රමාණයක් තිබුණා. සාමාන්‍යයෙන් මේවායේ සාමාජිකත්වය 2,64,000ක් විතර වෙනවා. නමුත් මෙයින් ක්‍රියාකාරී සාමාජිකත්වය 100,000ක් විතර. අපි ඒ රාත්‍රියේ මධුවිතක් තොලගාන ගමන් ගණන් හැදුවා. 100,000 x රු.100. මාසෙකට රුපියල් ලක්ෂ 100ක මුදලක්. නොලැබෙන මුදලුත් අඩුකළොත් අවම වශයෙන් ලක්ෂ 90ක්වත් ලැබේවි.

කෘමිනාශක කොම්පැනිවලට මෙහෙයවන්න බැරි රේඩියෝවක්. කොම්පැනිකාරයන්ට නොවිකිණෙනා රේඩියෝවක්. වාණිජකරණය නොවූ, ඉතාමත් ඉහළ මට්ටමේ රේඩියෝවක්. අපි මේ හීනය හඹායනවා. ජපානයේ NHK රේඩියෝව අපේ මතකයට එනවා. නේපාලයේ සාගර්මාතා රේඩියෝව මතකයට එනවා. පිලිපීනයේ රේඩියෝ තාම්බුලි මතක් වෙනවා.

ශ්‍රී ලංකාවේ රේඩියෝ වංශකතාවේ හැරවුමක් සටහන් වේවි. මිනිස්සුන්ට වෙනස් අත්දැකීමක් එක්ක ඔවුන්ගේ රේඩියෝවක් ලැබේවි. මම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක දෙකේ ඈත ගම්වලට ගිහින් මේ ආරංචිය ඔවුන් එක්ක බෙදාගන්නවා. ඇත්කඳුර, මාවනාන, බටපොල, නියාගම, නෙලුව, හබරකඩ, දෙල්ලව, කොට්ටව, යක්කලමුල්ල වගේම කනංකේ, කැටන්විල, තිබ්බොටුවාව, කඹුරුපිටිය, දෑරංගල, කලුබෝවිටියාන වගේ ඈත ගම්වල මිනිස්සු එක්ක දවස ගෙවෙනවා. දවසට හමුවීම් 2ක්. ඔවුන්ගෙන් ලැබෙන සවිය වෙහෙස නිවන ඔසුවක් වගේ.

ඒ අතරේ පැලවත්තේ තේ ශක්ති අරමුදලේ ඉහළම මාලයේ මැදිරි සංකීර්ණය ඉදිවෙනවා. මැදිරි 3ක්. සජීවි විකාශන මැදිරියක්, සාකච්ඡා පටිගත කරන මැදිරියක් සමඟ නාට්‍ය පටිගත කරන මැදිරියක්. කාලය වේගයෙන් ගෙවෙනවා. හදිසියේ සිදුවන දේශපාලන කලබගෑනියකින් පස්සේ 2001දී පැවැත්වෙන මහමැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය බලයට එනවා. රනිල් වික්‍රමසිංහ අගමැති. කුඩා තේවතු ක්ෂේත්‍රයට වෙනම ඇමැතිවරයෙක් පත්කරනවා. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ. මෙතෙක් සිදුවූ දේවල් දෙස ඔහු සැකෙන් බලනවා. නිලධාරීන් පුරුදු පරිදි ඔහුට කේලම් කියනවා.

රේඩියෝ ව්‍යාපෘතිය පිළිබඳ ඇමැතිවරයා කියවාගන්නේ ප්‍රතිවිරුද්ධ දේශපාලන ඇහැකින්. ඔහුගේ කියැවීමට අනුව මෙය එවකට වැවිලි කර්මාන්ත ඇමැතිවරයාව සිටි රත්නසිරි වික්‍රමනායක ඇමැතිවරයාගේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියෙ කොටසක්. අලුත් ඇමැතිවරයා වහාම අප කරගෙන ගිය වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවනවා. නමුත් මෙහිදී අපට ශක්තියක් වෙන්නේ සාමාන්‍යාධිකාරී සුනිල් එස්. සිරිසේන. ඔහු ඇමතිවරයාට මෙම රේඩියෝවේ වටිනාකම පැහැදිලි කරනවා. යළිත් අපි කරගෙන ගිය කටයුතු ඇරඹෙනවා.

ආයෙත් සතියකින් ඇමැතිවරයා වැඩ නතර කරනවා. ආයෙත් ඇරඹෙනවා. ආයෙත් නතරවෙනවා. සියලුදෙනාට කලකිරීම විතරක් ඉතිරිකර ව්‍යාපෘතිය නතර වෙනවා. මට ඇතිවන්නේ බරපතල කලකිරීමක්. තිලක් අයියා එය දරාගත්තේ විසල් පර්වතයක් වගේ. මට මතකයි හදිසියේම මේ කටයුතු නතර කරලා, මනසින් බිඳවැටුණු හැමෝම මාතර ඉඳන් ආපහු කොළඹ එන දවසේ තැනින් තැන නවතිමින් මධුපානය කරමින් අපි අපේ දුක හිස් අවකාශයට මුදාහැරියා. අපි හැමෝම තේරුම් ගත්ත දෙයක් තමයි මේ ක්‍රමය ඇතුළේ හුදෙකලා අරගලවලට ඉඩක් නැති වග.

කොහොම වුණත් මේ රේඩියෝව සම්බන්ධව තිලක් අයියාගේ මැදිහත්වීම ඉන් නිමාවුණා. මම ඉතිරි වුණා. කරන්න විශේෂ වැඩක් නැතිව ලතැවුල්ල විතරක් දවස අවසානයේ නවාතැනට අරගෙන යනවා. අලුත් දේශපාලන කණ්ඩායම මාව දකින්නෙත් දේශපාලන ඇසකින්. මම නිහඬ පිළිවෙතක් අනුගමනය කළා. ජීවත්වීමට රැකියාවක් අවශ්‍ය නිසා රැකියාවේ රැඳුණා. මැදිරි සංකීර්ණය කඩා ඉවත් කළා. සියලු දේ අබලි ද්‍රව්‍ය ලෙසින් විකිණී ගියේ බිඳ වැටුණු බලාපොරොත්තු එක්ක.

පුහුණු කළ කණ්ඩායම සී සී කඩ ගියා. පසු කාලෙක එක්කෙනෙක් දෙන්නෙක් රාජ්‍ය හා වෙළෙඳ ගුවන්විදුලිවලට සම්බන්ධව සිටිනවා ඇහුණා. තවත් ටික කාලයක් මම එතන සිටින විට මගේ සේවය අවශ්‍ය නැති බව සඳහන් කරමින් මගේ සේවය අවසන් කරන්නට පාලනාධිකාරිය තීන්දු කරනවා. මම එළියට යන්නේ හරිහමන් රස්සාවක් නැතිව.

මට ඒ වෙලාවේ දුකක් ඇතිවුණේ මං ගැන නොවෙයි. මිනිසුන්ගේ ගුවන් විදුලියක් ගැන ගොඩනැඟුණු අවසන් සිහිනයත් තිඹිරිගෙය තුළම මිය යෑම පිළිබඳව. ඇත්ත, "වැරදි දේශපාලන ක්‍රමයක් ඇතුළේ හුදෙකලා යහපත්කම කියන්නේ ෆැන්ටසියක් පමණයි."

[කපිල එම්. ගමගේ]

මාතෘකා