ලිය - විදුලිය සහ බඩු බාහිරාදිය

 ඡායාරූපය:

ලිය - විදුලිය සහ බඩු බාහිරාදිය

ලිය පිරිමියාට ප්‍රියය. ලියටද පිරිමියා එසේමය. එහෙත් මේ දෙදෙනාම කැමැති වුණත් නැතත් නූතනයේ ළං නොකර ගන්නට බැරි දෙයක් වේය. ඒ විදුලියය.

එක අතකට විදුලිය ලියකට වඩා වේගයෙන් වෙනස් වෙතැයි පරාජිත පෙම්වතකු සිතන්නට පුළුවන. තව විදියකින් බැලුවොත් විදුලිය එක්තරා මායාවක්ය. මේ නිසා හිටු කියා විදුලි මීටර කරකැවේය. ඒ මීටර කරකවා එසැණින් විදුලි පරිපථය අතුරුදන් වන්නේය. එය එසේය කියා ගැලවීමක් පරිභෝගිකයාට නැත්තේය. මාසේ අන්තිමට නොවැරදීම විදුලි බිල ඔහු අතට ලැබෙන්නේය.

ඉඳින් විදුලියට මිලක් ගෙවීම අසාධාරණය කියා කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් සැබැවින්ම එය එසේ නොවේය. රජය හෝ පෞද්ගලික අංශය විදුලිය උත්පාදනය පිණිස මහා ධනස්කන්ධයක් වැය කිරීම එයට හේතුවක්ය. වැස්ස ඇති නැති කාලවලදී නොකඩවා ගෙදර දොරට කරන්ට් එක ලැබෙන්නේ ඒ මහිමයෙන්ය. ඒ පිටුපස ලොකු කතාවක් ඇත්තේය. ගල් අඟුරු බලාගාර, පෞද්ගලික විදුලි බලාගාර, සුළං හෝ සූර්ය කෝෂ විදුලි බලය හෝ ටෙන්ඩර් මගඩි, අතයට ගනුදෙනු ආදියද ඇත්තේ ඒ කියන තිරය පිටුපස කතාවේය.

එහෙත් රටේ ලොකු ලොක්කන්ටම ඒ කාරිය බාරදී බකන්නිලා සිටීම ලක්වැසියන්ගේ යුතුකම නොවේය. තම තමන්ට හැකි අයුරින් බලශක්තිය අරපිරිමැස්මෙන් පාවිච්චිය රටේ සැමගේ වගකීමක්ය. ඊට ගෙදර දොර ඉඳන්ම කාට කාටත් කරන්නට පුළුවන් දෑ බොහෝය. බොහෝ දෙනකු ඇඳුම් කැඩුම් මදින වේලාවට වැඩි ධාරිතාවකින් විදුලිය සපයන්නට සිදුවීම සැපයුම්කරුවන් මුහුණ දෙන අභියෝගයක්ය. එහෙත් ඒ කටයුත්ත වැඩි දෙනකු විදුලිය වැඩිපුර භාවිත කරන පැයකදී නොකිරීමෙන්ද සිදුවන්නේ විදුලිය ඉතිරියක්ය. ශීතකරණයේ දොර අරින වහන පමාවෙන් විදුලි මීටරය කරකැවෙන වේගය දෙගුණ තෙගුණ වන බව හුඟ දෙනකු නොසලකන තවත් කරුණකි. එසේම ශීතකරණය නිවසේ බිත්තියට අඩි දෙකක් තරම්වත් දුරින් නොතැබුවහොත් එහි කාන්දම් ශක්තිය ආදියද හේතුකොට ගෙන ඊට වැඩි විදුලි බලයක් පිච්චෙන බවත් සමහරු තවම නොදනීය. අපේ රට විදුලියේ තරම ඉන් නොනවතී.

ලංකාවේ බොහෝ දෙයට බාස්ලා සිටින්නෝය. විදුලියටද එය එසේමය. අපේ රටේ විදුලි වැඩ කරන්නේ ඉලෙක්ට්‍රික් බාස්ලාය. මුළු රටම ගත්විට ඉලෙක්ට්‍රික් බාස්ලා තිස් දහසක් පමණ සිටී. එහෙත් අවුල එය නොවේය. ලෝකයා පිළිගන්නා විදුලි කාර්මිකයා සහ අපට සිටින ඉලෙක්ට්‍රික් බාස්ලා තවමත් දෙවර්ගයක් වීමය.

ඒ කියන්නේ අපට නියම විදුලි කාර්මිකයන් නැත්තටම නැති බව නොවේය. නිසියාකාර පුහුණුවක් සහිත බලපත්‍රලාභී කාර්මිකයන් සුළු පමණින් සිටියත් ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නේ ඉතා අඩුවෙන්ය. පිටරටවලින් එවැන්නන්ට ඉහළ ඉල්ලුමක් පැවතීම ඊට හේතුවකි. විශේෂයෙන් යුරෝපාකරයේ රටකට එම පිරිසට ලෙහෙසියෙන්ම පය ගසා ගත හැකිය. ඒ අඩුම තරමින් ලංකා මුදලින් මසකට ලක්ෂ හත අටකවත් වැටුපකටය.

මේ වටපිටව තුළ රටේ රැඳෙන විදුලි කාර්මිකයන් අඩුවීම ගැටලුවක්ය. ඊටත් වඩා බැරෑරුම් වන්නේ නිකම්ම නිකම් විදුලි කාර්මිකයකු ලවා අලුතෙන් සාදන නිවසේ වයරින් වැඩ කරවා ගැනීමට බොහෝ දෙනකුට ඇති පුරුද්දය. එහෙත් ලෝකයා පිළිගත් විදිය එය නොවේය. වරලත් විදුලි ඉංජිනේරුවරයකු විසින් විදුලි සැපයුම සම්බන්ධයෙන් නිසි පරිදි සොයා බලා ලබාදෙන සහතිකය එහිදී අනිවාර්යය.

එහෙත් ශ්‍රී ලංකාවට තවමත් වරලත් විදුලි ඉංජිනේරුවරු හාරසියයක්වත් නැති වීම අඩුපාඩුවක්ය. කොළඹ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික් හැරෙන්නට සෙසු දිස්ත්‍රික්වල වරලත් විදුලි ඉංජිනේරුවරුන්ගේ සේවය ලැබෙන්නේද අවම වශයෙන්ය. ඒ බව තහවුරු වී ඇත්තේ මෑතකදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව මගින් පැවැත්වූ සමීක්ෂණයකදීය.

එහිදීම තවත් දවල් තරු පෙනෙන අන්දමේ සොයා ගැනීම් ගණනාවක්ම මතුව ආවේය. ලංකාවේ පාසල්, රෝහල්, බස් නැවතුම්පළ, දුම්රිය ස්ථාන ආදී පොදු ස්ථානවල විදුලි සැපයුම් පද්ධති නඩත්තුව අවම වශයෙන් සිදුවීම ඉන් එකකි. ඒවා සැලකිය යුතු ගණනක වයරින් වැඩවල ප්‍රමිතිය අවම වීම තවත් එකකි. මේ රතු එළිය රටේ මහජනතාව කෙරෙහි කෙළින්ම එල්ල වේ.

නොඑසේ නම් මේ වනවිටත් ශ්‍රී ලංකාව විදුලි අනතුරු අතින් ලෝකයා හමුවේ පෙන්වන පසුබැස්ම තවත් දැඩි විය හැකිය. පසුගිය වසර සැලකිල්ලට ගත්තද එය කැපී පෙනේය. ඒ එම වසරේ විදුලි අනතුරු හේතුවෙන් සිදුවූ මරණවලින් 54%ක්ම නිවෙස් සහ පොදු ස්ථානවල ප්‍රමිතිගත ට්‍රිප් ස්වීච් විධිමත්ව නොයෙදීමෙන් සිදුවූ විවිධ විදුලි අනතුරු හේතුවෙන් සිදුවූ බව හෙළිව තිබේය.

ඒ ඇතැම් ඒවා සංවේදී ඒවා නොවේ. තවත් බොහෝ ට්‍රිප් ස්වීච් ක්‍රියාත්මක තත්ත්වයේ නොවන බවද සමීක්ෂණවලදී හෙළිවී ඇත්තේය. මේ ලංකාවේ තත්ත්වයය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ වෙනත් දෙයකි. එනම් යම් රටක් විදුලි සැපයුම අතින් ඉහළ මට්ටමක සිටින වග හඳුනාගන්නේ අදාළ රටේ විදුලි අනතුරු හේතුවෙන් වසරකට මියයන ගණන පුද්ගලයන් දසලක්ෂයකට එක් අයකු විය යුතු බවය. එහෙත් ශ්‍රී ලංකාව ගත් විට මේ වනවිටත් එම අගය පස් ගුණයකට වඩා වැඩිවීම සුළුකොට තැකිය හැකි දෙයක් නොවේය. එහෙයින් දැන් ඉලෙක්ට්‍රික් බාස්වරුන්ට ජාතික ආධුනිකත්ව මණ්ඩලය හරහා විධිමත් පුහුණුවකින් පසුව බලපත්‍ර ලබාදීමේ ක්‍රමයක් ලංකාවේ ක්‍රියාත්මකය. එම බලපත්‍ර ද තුන් වසරකට වරක් අලුත් කළ යුතු බවට කොන්දේසි දමා ඇත්තේද පොදුවේ මහජන ආරක්ෂාව පිණිසමය. එහෙත් තවමත් එම පුහුණුවට බාස්වරු දෙතුන් දහසකට වඩා පැමිණ නොතිබීම රටේ මහජනතාව සම්බන්ධයෙන් සුබදායී නොවේය.

[නුවන් මහේෂ් ජයවික්‍රම]

 

මාතෘකා