තිත්තට කට හුරු කරන්ඩ

 ඡායාරූපය:

තිත්තට කට හුරු කරන්ඩ

තිත්ත රහත් රහක් තමයි. හරියට ජීවිතේ වාගෙ ආයිබොවන්ඩ. මනුස්ස අපේ ජීවිතවලත් හැමදාම පැණි තැවරෙන්නෙ නැහැ නොවැ. ඒ හින්දා තිත්ත රහ විඳගන්ඩත් පුරුදුවෙන්ඩ ඕනෙ. සමහර දේවල් අපූරුවට පෑහෙනකොට කියන්නෙ කොහොඹයි කරවිලයි කියලනෙ.

කොච්චර තිත්ත වුණත් මේ දෙකම බේත් ඖෂධ. හැබැයි සමහරු රාත්‍රියට කරවිල කෑවෙ නෑ. ඔය තණමල්විල පැත්තෙ අපේ සමහර මිත්‍රයො ඉන්නවා රාත්‍රියෙ බතට කරවිල උයලා තිබුණොත් බෙදාගන්නෙ නැති. ඉතිං මං ඇහුවම ඇයි ඔය කියාලා උන්දැලා කිව්වෙ සතෙක් සරුපයෙක් රෑ පානේ කෑවොත් හෙම ඒකා මොකාද කියලා වෙද උන්දැලට හොයාගන්ඩ අමාරුයි අපි කරවිල කාලා තිබ්බොත් කියලා. මේ කතාවේ ඇත්ත නැත්ත නම් මං හරියටම දන්නෙ නෑ ඕං.

කොයික වුණත් කරවිල කිව්ව ගමං මගේ හිතේ මැවෙන රූපෙ අර මහ විසාල දෙමුහුම් ප්‍රභේදය නෙවෙයි. කෙට්ටු කිරිපාට කරවිල ගෙඩි. එව්වට කියන්නෙ තින්නවේලි කියලා. තින්නවේලි කරවිල තමයි මටනම් රහම කරවිල. අඳුරු කොළපාට කෙට්ටු කරවිල තින්නවේලි වර්ගෙටත් වඩා තිත්තයිද කොහෙද? සීනි අමාරුව තියෙන පමණක් ඇත්තො ඔය දෙජාතියම තම්බල කනවා සීනි අඩුවෙන්ඩය කියලා. මං මුලිම්ම කරවිල ඉස්ම බිව්වෙ බළන්ගොඩ ආනන්දගෙ කීමට. උන්දැ මට කොහොඹ ඉස්මත් පෙව්වා නෙව. ඒවනම් මට දැනුෙණ ස්ටවුට් බීර වගේ.

කරවිල උයන විදිය ගැන නම් මොනව කියන්ඩද? කොයි කවුරුත් දන්න එකේ. ලේසිම විදිය ඒවා රවුමට කපලා තෙම්පරාදුවක් හදාගන්න එක. කැමතිනම් කරවල කට්ටකුත් දාලා. හැබැයි කන්ඩ රහම කරවිල ඇඹුල. ඒකට සුදුසුම වර්ගෙත් සුදු කිරිපාට තින්නවේලි වර්ගය තමයි. ඒ කරවිල ගෙඩි පිටින් තම්බලා දිග තීරු කපාගන්නවා. ඊටපස්සෙ තෙල් ඩිංගක් ළිප තබාලා ඒකට බැදෙන්ඩ දාගන්නවා තළාගත්ත සුදුලූනු, කරපිංච, කුරුඳු පොත්තක්, ඉඟුරු ඩිංගක්, ලොකු ලූනු ස්වල්පයක් එහෙම. ඒවා බැදීගෙන එද්දි පහේ මිරිස්හෙමත් තෙලට දාගන්නවා. ඕං ඊටපස්සෙ තමයි තම්බාපු කරවිල තීරු ටික එක්කහු කරගන්නෙ. අමතක නොකර සියඹලා හරි ගොරක හරි දාගන්න ඕන ඇඹුල් වෙන්ඩ. තක්කාලිත් නරකම නෑ. තව ඩිංගෙන් අමතක වෙනවා. මේකට එක්කහු කරගන්ඩ ඕන තව මුහුමක් තියෙනවා. ඒ තමයි කළු වෙන්ඩ බැදලා කුඩු කරගත්ත හාල් පොල්. ඒකෙන් උකු බව වගේම ලස්සන පාටක් ලැබෙනවා.

කවුරු වුණත් සුදු, කොළ කොයි කරවිලත් කන්ඩ ආසම විදිය තමයි පෙති කපලා ගැඹුරු තෙලේ බැදලා හදාගන්න සම්බෝලය. සමහර උදවිය මේ බැදුං කරවිල පොල්කිරි ටිකක් දාලා ආයෙත් උයනවා. කරවිල පෙති ගහලා තෙම්පරාදු කරද්දි තිත්ත ඩිංගක් ඇරගන්ඩ බැරිද කියලා හිතෙනවා නේද? එතකොට පොඩිස්සොත් කයිනෙ. පණු අමාරුවටත් ගුණයි කියන එකේ. ඒකට තියෙනවා කෙමක්. එවේලේ බිඳගත්ත පොලයක වතුර එක්කහු කරලා කරවිල උයාගත්තම තිත්ත ටිකක් අඩු වෙනවලු. හැබැයි ඉතිං තිත්ත නැති කරවිලවලින් ඇති පලේ මොකක්දෑ නේද? එහෙනම් කන්ඩ බැරියෑ අර තප්පදෝරු දෙමුහුම් කරවිල. එව්ව තිත්ත අඩුයිනෙ. ඒ හින්දා කරන්ඩ ඕන හොඳම දේ සම්බෝලයක් හදාගෙන අමුවෙන් කන එක. කරවිල ගෙඩිය හීනියට කුඩුවෙන්ඩ ලියාගෙන රතුලූනු, අමුමිරිස් එව්වා මෙව්වත් ලියලා මුහුකරලා පොල් ටිකකුත් ගාලා දාලා අනාගත්තම පංකාදුයි. තියෙනවනම් උම්බලකඩ කුඩු ටිකකුත් දැම්මට කාරි නෑ.

අපේ ගම්වල ඇත්තො කරවිල වැඩිපුර තියෙනවනම් පෙති ගහලා අව්වෙ වේලගන්ඩ පුරුදු වෙලා උන්නා. ඒවයින් යම්තම් අව්රහ එන හින්දා බැදලා උයන්ඩ තමයි ජාති. අව්වෙ වේලෙන්ඩ තුනී කරන්ඩ ඉස්සර වෙලා නටන උණු වතුරෙ මිනිත්තුවක් දෙකක් ඔබලා ගත්තනම් පංකාදුයි කියලත් සමහරු කියනවා.

වියළි කලාපෙට ඊසාන මෝසම් වැහි ඇලි වැටුණට පස්සෙ ඉබේම යාං වෙලා බෝල බෝල ගෙඩි හැදෙනවා බටු කරවිල වැල්වල. එව්වත් හරියට තුඹ කරවිල වගේ. හැබැයි තිත්තම තිත්තයි. ඒ වුණාට ඉතිං එව්වයෙං වෑංජනයක් කන්ඩ තියෙනවනම් රාජ භෝජනයක් වගේ දැනෙන්නෙ. උල්හිටිය රත්කිඳ පළාතෙ වන ලැහැබ්වල එව්ව පල ගත්තම නෙළාන ගෙනත් දුන්නෙ අපේ ලොකු පුංචි. උන්දැට පිං. ඉඳහිට බණ්ඩාරවෙල පොළට කවුරුහරි වැල්ලවාය පැත්තෙන් ගෙනැල්ල තිබ්බමත් ගාණ ටිකක් වැඩි වුණත් මං නම් ඒවා ගත්තෙ ඒ කදිම රහ මතක් වෙලා. බටු කරවිල ගෙඩිය හතරට පලාගෙන ඕන උයන්ඩ. හැමදාමත් හම්බවෙන්නෙත් නැති එකේ පොළක, කඩපිලක දැක්කොත් නොගෙන ඉන්ඩ එපා.

අවුරුද්දකට වතාවක් හැදෙන දැන්නම් වගා කරන්ඩත් පුළුවන්කම තියෙන තුඹ කරවිල නම් තිත්ත නෑ නෙව. තුඹ පලගන්න කාලෙට ඉවෙන ආනමටත් ඒවා අනිවාර්යයෙන්ම මුහු වෙනවා. තුඹ කිව්වම මතක් වුණා තුඹ පලාව. කුඹුරු නියරවල වගේම තෙත රඳන පතන්වලත් තුඹ පලා වැඩෙනවා. සුදුපාට මල හීන් දිග කොළ හින්දා අඳුරගන්ඩ පුළුවන්. එව්වා කදිමයි කලවම් මැල්ලුමට වගේම, කිරි හොද්දට. ලා තිත්තකුත් තියෙනවා පණු අමාරුවටත් ගුණයිලුනේ.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා