පරාවර්තිත වීම

 ඡායාරූපය:

පරාවර්තිත වීම

අප ජීවත් වනුයේ විවිධ හැඩයන්ගෙන් යුතු සමාජ පරිසරයන් තුළය. නේක ස්වරූපයන් සහිත මිනිස් ආශ්‍රයන් සමඟය. එකිනෙකට වෙනස් සමාජ ක්‍රියාකාරකම් අතරය. විපර්යාස මත දෝලනය වන කාළගුණික, දේශගුණික පරිසරවලය. ආගමික, සංස්කෘතික, දේශපාලනික හැලහැප්පීම් මැදය.

අප සියල්ලෝම සමාජීය සත්ත්වයන් බැවින්, මේ කිසිදු චලනයකින් හෝ දෙදරීමකින් පලා යෑමේ ඉඩක් අපට නැත. ස්වකීය කැමැත්ත ඇත්තේ කුමන තලයක වුවද, එහි දිශානතිය කුමක් වුවද, පවතින සමාජ පරිසරයට අවනත වීමට මොහොතක අපට සිදුවේ. "පරිසරයට අනුගත නොවන සත්ත්වයෝ ක්‍රමයෙන් වඳ වෙති" කියා කොහේ හෝ තැනක කිසිවකු කියා තිබුණා මතකය.

ජපානයේ බොහොමයක් ගොඩනැඟිලි ඉදිකිරීම් තාවකාලික ඒවා වන්නේ එරට භූ කම්පන දරාගැනීමට යැයි සිතේ. පිලිපීනයේ නිවෙස් පොෙළාවෙන් අඩි කිහිපයක් උස්වූ තට්ටු මත ඉදිවන්නේ එරටට සුලබ ජල ගැලීම් සඳහා ඔරොත්තු දීමට විය හැකිය. එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ මාර්ග පද්ධතීන් තුළ ජලය බැස යෑමේ ක්‍රමවේදයක් නැත.

වර්ෂාව එරටට අහඹුවක් නිසා එසේ කළා විය යුතුය. අපේ වැව්වලට රළපනා සහ වාන් දොරටු ඇත්තේ ජල පීඩනයෙන් බැම්ම ආරක්ෂා කර ගැනීමටය. කෙතක, නියරක වක්කඩ ඇත්තේ ගොයමෙහි පෝෂණය ක්‍රමානුකූල කිරීම වෙනුවෙනි. වාහනයකට හදිසි දොරටු, "එයාර් බෑග්" ආරක්ෂක පටි ඇත්තේ මගී සුරක්ෂිතතාව උදෙසාය. එලෙසින්ම ඇතැම්හු පවතින පරිසරට එක එල්ලේ පරිවර්තනය වේ. තවකෙක් ක්‍රමයෙන් අනුවර්තනය වේ. ඒ අතර තමාගේ පරිසරය මත හිඳ පවතින සමාජයට පරාවර්තනය වන්නෝද හිඳී.

වෙට්‍රිචෙල්වී චන්ද්‍රලේඛා යනු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවකි. පසුගිය යුධ සමය විසින් ඇයට එක් ඇසක් සහ දකුණු අත අහිමි කළාය. අද ඇය තනි ඇසෙන් සහ වම් අතින් පොත් නවයක් ලියා පළ කළ ලේඛිකාවකි. පාසල් සිසුවියකව සිටියදී ඇය එල්.ටී.ටී.ඊ. යට බඳවා ගන්නීය. ඇය එදා ඒ ගමන ගියේද පෑන් සහ කඩදාසි කොළ අතැතිව බව ඈ කියන්නීය. ආබාධිත වූ පසු කොටි හඬ ගුවන් විදුලියේ පිටපත් රචිකාවක ලෙස කටයුතු කළ බව කියන්නීය.

ඉන් පසු පුනරුත්ථාපන කඳවුරේ සිට පොත් තුනක් ලියූ බව කියන්නීය. එක් ඇසකින් දකිමින්, එක් අතෙකින් ලියමින්, ඒ අතින්ම ටයිප් කරමින් පොත් නවයක් මුද්‍රණය කළ ඈ, ආබාධ සහිත දරුවන් "විශේෂ අවශ්‍යතා සහිත දරුවන්" යැයි ලේබල් කළ සමාජයට දුන් පිළිතුර කදිමය. පෑනට පෙම් බැඳි ඇගේ අතට තුවක්කුව දුන් දමිළ බෙදුම්වාදිනට දුන්නේ අතුල් පහරකි. එය යුදමය පරිසරයෙන් නැඟී ආ සැබෑ පාරිසරික පරාවර්තනයකි.

තායි ජාතික කන්යා සෙසර් උපතින්ම දෙපා අහිමිව ඉපදුණු තරුණියකි. ඇගේ මවුපියන් ඇයව මහමඟ දමාගොස් තිබියදි එරට සමාජ සේවා ආයතනයක ඇති දැඩි වන්නීය. පසුව ඇමරිකානු මවුපිය යුවළක් බාරයට පත්වන ඈ, අද වන විට ලෝකයම හඳුනන මෝස්තර නිරූපිකාවකි. ක්‍රීඩිකාවකි. රංගන ශිල්පිනියකි. අහිමි වීම්, ප්‍රතික්ෂේප වීම්, නොසලකා හැරීම් කඩාවැටීමට නොව, නැඟී සිටීමට ශක්තියක් කර ගැනීම වටින්නේය.

ඔබට නැති දේ වෙනුවෙන් හඬා වැටීම පසෙකලා ඇති දෙයින් සිනාසීමට හැකි පරිසරයක් ගොඩනඟා ගත හැකි බව කන් යා සෙසර් අපට උගන්වන පාඩමයි. ජීවත්වීමට ඔබට සබඳකම් අවැසිය. එහෙත් ඒ සියලු සබඳකම් ඔබේ යහපතට ක්‍රියා කරතැයි සිතීම අනුවණය. ඔබ සියලු සබඳකම් ඔබේ යහපතට හරවා ගැනීමට තරම් පාරිසරික විය යුතුය. "ඔබේ ජීවිත ඉතිහාසය තුළ කොතැනක හෝ කවුරුන් හෝ ඔබේ ජීවිතයේ කොටසක් වූවානම් ඒ ඔබේ පවුලයි" කියා කන් යා සෙසර් කියන්නේ එහෙයිනි.

නිවසකින් නිවසකට, පළාතකින් පළාතකට හෝ රටකින් රටකට මාරු වීමේදී එම පරිසරයට ආවේණික ගතික ලක්ෂණ හමුවේ. භාෂාව වෙනස් ය. සංස්කෘතිය වෙනස් ය. දේශගුණික සාධක වෙනස් ය. මානව චර්‍යාවන් වෙනස් ය. කිසිදු මානවයකුට ක්ෂණිකව එකී ගතික ලක්ෂණ උකහාගෙන ඊට අනුගත වීම පහසු නැත. එසේ වන්නේ සෑම අයකුටම ඔවුනට ආවේණික ගතික ස්වාභාවයන් ඇති හෙයිනි.

බොහෝවිට අප කරන්නේ නුහුරු පරිසරය තමන්ට රුචි පරිදි හැසිරවීමට වෙර දැරීමය. ගැටුම් නිර්මාණය වන්නේ එතැනදීය. ගැටුමකින් තොර පාරිසරික අනුගත වීමක් අපේක්ෂා කරන්නකු, පළමුව කරනුයේ ආගන්තුක පරිසරයේ මිනිසකු වීමය. දිවියන් සමඟ දිවි ගෙවන ඉන්දුනීසියානු තරුණයා මාංස භක්ෂක දිවියාට නූඩ්ල්ස් හුරු කරන්නේ එහෙමය.

ඉබ්බාට ඝනකම් කටුවකුත්, ඉත්තෑවාට තියුණු කටුත් ස්වාභාවයෙන් ලැබී ඇත්තේ අලංකාරයට වඩා ආරක්ෂාවටය. වඩු කුරුල්ලෝ ජල ප්‍රදේශවලට සම්මුඛ, එල්ලෙන අතුඅග කූඩු බඳින්නේ උන්ගේ පැවැත්මේ සුරක්ෂිතතාව උදෙසාය. නයාට පෙනය ඇත්තේ දෂ්ට කරන්නට බව පොදු මතය වෙතත්, ඌ එය පුප්පා තමන්ගේ ආරක්ෂාවද සලසා ගනී.

ඔබේ අරමුණ දිගු ගමනාන්තයක්නම්, පරිසරය වටහාගැනීම තරම් වෙන නුවණක් අවැසි නැත. පවතින පරිසරයට පරිවර්තනය වීම හෝ අනුවර්තනය වීම අපහසු නැත. ඔබට හැකිනම් වෙනස් පරිසරයකදී ඔබව පිළිඹිබු වන පරාවර්තිකයකු වන්න.

[ධනුෂ්ක බස්නායක]

මාතෘකා