ළමා ගීත කලාව

 ඡායාරූපය:

ළමා ගීත කලාව

ළමුන් එක්ක මඟ යනෙන අතර ඔවුන් ගයන්නා වූ ගීත ඇසෙන විට ඇති වන්නේ කලකිරීමකි, සිත් වේදනාවකි. කොතෙක් තරවටු කළත්, උපදෙස් දුන්නත් ඔවුහු අදෝනාම ගයති. ඒ අනුව නැළවෙති. කුඩා දරුවෙක් තම වයසට නොගැළපෙන ගීතයක් ගායනා කළ විට “ආ ඒ ළමාකමට නේ” කියමින් සාධාරණීකරණය කළ නොහැකිය. එමඟින් අප දරුවන්ට සිදු කර ඇත්තේ බරපතළ වැරැද්දකි.

ළමා අපචාර සම්බන්ධයෙන් කතා කරනවිට ශාරීරික අපහරණය මෙන්ම මානසික අපහරණය ද ඊට අදාළ වේ. නූතන ඇතැම් ගීත මගින් ළමා මානසිකත්වය අපහරණය කරන්නේය යන චෝදනාව අපට බැහැර කළ නොහැකිය. ළමා මනස ඉතා අරපරිස්සමින් පරිහරණය කළ යුත්තේ ඒ නිසා ය. එහෙත් එවැනි පරිස්සමක් ළමයින් සම්බන්ධයෙන් දක්වනු දක්නට නොමැත.

ළමයා යනුවෙන් අදහස් කරන්නේ විශේෂ මානසික අවශ්‍යතාවකින් යුක්ත පිරිසකි. එබැවින් ළමයින් වෙනුවෙන් ළමා ගීත කලාවක් තිබිය යුතු ය. ළමයින්ගේ පෞර්ෂය සංවර්ධනය කිරීමට අවශ්‍ය ගුණාංගයන් ළමා ගීත මගින් ඇති කළ හැකිය. එහෙත් වර්තමානයේ දක්නට ඇත්තේ එවන් ගීත නොවේ. පෙම්වතා විසින් පෙම්වතියව හැර යෑම, එම නිසාම පෙම්වතියත් ඇගේ මවුපියන්වත් මරා දැමීම, ප්‍රේමය බිඳවැටීම නිසා සියදිවි නසා ගැනීම, එක කොල්ලෙක් කෙල්ලෝ තුන් හතර දෙනකුට ප්‍රේම කිරීම, ගැහැනියකගේ ළමැදේ තුරුලු වී නිදා ගැනීම වැනි අදහස් රැගත් ගීත ළමා ගීත වන්නේ කෙසේ ද? ළමයින්ට මෙය හොඳ ගීතයක්ය, මෙය අවරගණයේ ගීතයක්ය යනුවෙන් තෝරා බේරා ගැනීමට නුවණක් නැත. එලෙස තෝරා බේරා ගන්නට හැකි නම් ඔවුන් ළමයින් වන්නේ ද නැත. එහෙත් රටක් වශයෙන් වැඩිහිටියන් කළ යුතු වන්නේ ළමයින් වෙනුවෙන් ළමා ගීත කලාවක් නිර්මාණය කර දීමයි. එසේ නොවන විට දරුවන උසුරුවන්නේ වැඩිහිටියන් ගයන අවරගණයේ ගීතයන් ය.

“ඉරෙන් හඳෙන් එළිය අරං - ගහෙන් වැලෙන් සිසිල අරං

අපට සැදුණු අපේ ලෝකයේ - සතුටු වෙන්න එන්න යාළුවේ”

වැනි හරවත් ළමා ගීත අද දක්නට නැත, ඇසෙන්නේ ද නැත. ගුවන්විදුලියේ හෝ රූපවාහිනී නාළිකාවල එවන් හරවත් ළමා ගීත විකාශය කරන්නේ ද නැත. ළමා රියැලිටි තරගවලදී ළමුන් තරගයට යොමු කරවන්නේ ද වැඩිහිටියන් ගායනා කරන වැඩිහිටි ගීත ගායනා කරවමින් ය. එම දරුවන් මෙන්ම අසා සිටින දරුවන් ද ළමා ගීත අමතක කර ළමයින්ගේ මනස විනාශ කරන ගීතවලට ඇබ්බැහි වී සිටීම ජාතියේ අවාසනාවකි.

“අන්න බලං ඉදිකඩ ළග කොක්කු රෑන වගේ ඇවිත් - පුංචි එවුන් නුඹ එනකං පාර බලන්නේ ”

“තැන තැන රවුමට ඉඳගෙන ඉඳහිට එබිකම් කර කර - ලේන්සු හංගන්න ළමුන් එක් රොක් වෙන්නා ”

යනාදී ගීත අද ඇසෙන්නේ නැත. ඒ වෙනුවට ඇසෙන්නේ “ඇයි ඔයා මාව දාල ගියේ - අද හෙටම මම ඔයාවත් මරාගෙන මරෙනවා” වැනි අදහස් ඇති ගීතයන් ය.

ළමයින්ගේ මනස මල් වැනිය. ළමා මනසට වස - විෂ එක් වූ කල සිදුවන්නේ මුළු ජීවිතයම විනාශ වී යෑමයි. අවරගණයේ ගීතවලින් ද සිදුවන්නේ එවැනි විනාශයකි. අප කළ යුත්තේ දරුවන්ට හොඳ දේ පමණක් තෝරා දීමයි. එම වගකීම මවුපිය වැඩිහිටියන්ට මෙන්ම ජන මාධ්‍යවලට ද ඇත. අවාසනාව වන්නේ කිසිවෙක් ඒ ගැන නොතකා කටයුතු කිරීමයි.

[ගාමිණි බස්නායක]

මාතෘකා