බොන්සායි කලාව

 ඡායාරූපය:

බොන්සායි කලාව

බොන්සායි යනු ජපන් වචනයකි. "බොන්" යනු බන්දේසියයි. "සායි" යනු ගසයි. බොන්සායි කලාවට ජපනුන් නම් තැබුවත් මෙය ආරම්භ වූයේ චීනයෙනි. ඒ මීට වසර දහස් ගණනකට පෙරය. නමුත් මෙම කලාව වැඩිදියුණු කර ලොවට හදුන්වාදීමේ ගෞරවය ජපානයට හිමි වෙයි.

බොන්සායි යනු සරලව කියතොත් තැටි බඳුනක කුරු ගස් සිටුවීමේ කලාවයි. ස්වාභාවික විශාල පැරණි ගසක පෙනුම සහිත ගසක් තැටියක නිර්මාණ කිරීමේ කලාවයි. හැඩය පමණක්ම නොව පැරණි ගසක ඇති ගැට බෙන දිරාගිය අතුවල ලක්ෂණ ආදියද ඒ අයුරින්ම නිර්මාණය කළ හැකිය.

බොන්සායි ගසක් නිර්මාණය කිරීම සඳහා දැනුම සේම අපරිමිත කැපවීමක් නොපසුබට උත්සාහයක් සේම පුදුමාකාර ඉවසීමක්ද තිබිය යුතුය. බොන්සායි කලාවේ සම්මත නීති රීති පද්ධතියක් ඇත. අනුගමනය කිරීම අනිවාර්යය නොවූවද ඒ මගින් ඉතා උසස් බොන්සායි නිර්මාණයක් බිහිවනු නියතය.

බොන්සායි යනු ආධ්‍යාත්මික සුවයක් සපයන පුදුමාකාර කලාවකි. එය අධිරුධිර පීඩනය, හෘද රෝග, මානසික අසහනය, මානසික පීඩනය වැනි රෝගවලට සුවය සලසන භාවනාවක් වන් කලාවකි.

ලෝකයේ සම්මත බොන්සායි නීති

1. බොන්සායි ශාකයේ සම්මත හැඩය අසමමිතික ත්‍රිකෝණාකාර හැඩයක් ගත යුතුය.

2. ශාකයේ අතු විහිදීම ආරම්භ විය යුත්තේ ශාකයේ සම්පූර්ණ උසින් තුනෙන් එකක් පමණ උසකිනි.

3. ශාකයේ පහළ සිට පළමු අත්ත දකුණට විහිදුණහොත් දෙවන අත්ත වමටත් තෙවන අත්ත පසුපසටත් විහිදිය යුතුය. මෙම අතු පිහිටීම ශාකයේ ඉහළට යන තුරුම පවත්වාගත යුතුය.

4. ශාකයේ එකම ස්ථානයකින් අතු දෙකක් නොබෙදිය යුතුය.

5. ශාකයේ කඳෙහි හෝ අතුවල ඇද වූ තැන් (Bends) පවතී නම් අතු ආරම්භ විය යුත්තේ එහි උත්තල (Convex) පැත්තේමය.

6. ශාකයේ පහළ සිට ඉහළට යන විට අතුවල විෂ්කම්භය ක්‍රමයෙන් අඩු විය යුතු අතර අතු අතර පරතරය සහ අතුවල දිග ක්‍රමයෙන් අඩුවිය යුතුය.

7. එක් එක් අතු තුළද අනුශාඛා සමඟ ත්‍රිකෝණාකාර හැඩයක් ගත යුතුය.

8. අනුශාඛා තිරස්ව දෙපසට පමණක් විහිදිය යුතුය. එනම් ඉහළට හෝ පහළට නොවිහිදිය යුතුය. එවිට අතුවල සුන්දර පත්‍ර ගොමුවක් (Foliage pad) නිර්මාණය වේ.

9. ශාකයේ පහළම අතු ඉහළ අතුවලට සාපේක්ෂව වැඩිපුර පහළට නැඹුරු කළ යුතුය.

10. ශාකයේ කඳ ඉහළට යන විට ක්‍රමයෙන් සිහින් වී යා යුතුය.

11. ශාකයේ මුළු පෙනුම සමබර විය යුතුය.

12. ශාකයට එක අග්‍රස්ථයක් පමණක් තිබිය යුතුය.

13. අග්‍රස්ථය තරමක් මුහුණත දෙසට නැඹුරු විය යුතුය.

14. අදාළ රූපකායට ගැළපෙන හැඩයකින් යුතු බඳුනක බඳුන්ගත කළ යුතුය.

ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් උසස් රටකි. බොන්සායි සඳහා උචිත ශාක විශේෂයන් ඉතා විශාල ප්‍රමාණයක් අප මාතෘ භූමිය සතුය. ලෝකයේ ලිඛිත ඉතිහාසයක් සහිත පැරණිම වෘක්ෂය සේ සැලකෙන ජය සිරි මා බෝධීන් වහන්සේ වැඩසිටින්නේද මේ භූමියේය. ඉතින් බොන්සායි අප රටට ආගන්තුක වන්නේ කෙසේද?

අප අවට පරිසරය සියුම්ව නිරීක්ෂණය කළහොත් ඕනෑ තරම් සුදුසු ශාක ඇත. ශාක තෝරාගැනීමේදී විශාල පත්‍ර හට නොගන්නා බහු වාර්ගික ශාක තෝරා ගැනීමට වග බලාගත යුතුය. බීජයක් පැළ කරගැනීම මෙන්ම වායව අතු බැදීම් ක්‍රමය (Air layerin) අතු කැබලි සිටුවීම වැනි වර්ධක ප්‍රචාරණ ක්‍රම මඟින් ශාක සකසා ගත හැකි අතර පරිසරයේ ඇති ශාකද සුදුසු පරිදි යොදාගත හැකිය. එහිදී ගල් මත, ගස් මත වැඩුණු ශාක, එළුවන්, මුවන්, ගවයින් දලු ආහාරයට ගැනීම නිසා ඇට්ටර වූ ශාක, පැරණි ගොඩනැඟිලි බිත්තිවල හටගත් ශාක උදාහරණ ලෙස දැක්විය හැකිය. එලෙස ශාක තෝරාගැනීමේදී ගසේ කඳ ඉතා පැරණි පෙනුමක් ගත් සුන්දර මුල් පද්ධතියකින් සමන්විත ශාක තෝරාගත හැකිය. එබැවින් නිර්මාණය සඳහා පහසුවක් සේම කෙටි කාලයකින් සුන්දර කරගැනීමට පහසුවේ.

මතු සම්බන්ධයි.

[ඩෙස්මන්ඩ් සී. හේරත්]

මාතෘකා