පොඩි පොඩි කතා

 ඡායාරූපය:

පොඩි පොඩි කතා

අවුරුදු තුනක විතර පොඩ්ඩෙක්, ෆිට් එකක් එක්ක ඇඩ්මිට් කරලා හිටියා. එයාගේ අතේ කොයි වෙලෙත් අම්මාගේ ස්මාර්ට් ෆෝන් එක තිබුණා. මේ දවස් දෙකක්ම මම දැන් මේක දැක්කා. අම්මාට සෑහෙන්න සැර දාන ටිකක් අමුතුම තාලේ ළමයෙක්. අම්මත් දරුවට බය නිසා හෝ ඉස්පිරිතාලේ ලෙඩින් ඉන්න නිසා හෝ කියන සේරම දේ කරනවා. වඩාගෙන ඇවිදින්න පවා සිදුවෙනවා.

ඔහුව ගෙදර යවන්න හිටි දවසේ නම් මම උදෙත් දැක්කා. දවලුත් දැක්කා. දරුවා අතේ ෆෝන් එක එහෙමමයි. හවසත් අම්මා ඇඳට ඔළුව තියන් නිදි, බබා ෆෝන් එකේ." අම්මේ බබාලට වැඩිය ජංගම දුරකථන දෙන්න එපා" මම කිව්වා. ආ.... නෑ නෑ ඩොක්ටර් මම මේ ලෙඩ වෙලා නිසා දුන්නේ." එය නැවත ගැනීමට තැත් කරයි. දරුවා සැර දමයි. අම්මා බය වෙයි.

 "ආ බබාලා අතේ තියෙන ෆෝන් අපිට ගන්න කියලා තියෙන්නේ නැත්නම් පොලිසියට කියනවා" ඒපාර නම් බය වුන දරුවා මා දිහා බලන් ඉන්න අතරේ... "මම ආයේ මෙතනින් යද්දි අතේ තිබ්බොත් ගන්නවා" කියාගෙන මම එතනින් යන අතරේ දුටුවේ අම්මාට ෆෝන් එක දෙන දරුවා ය. මේ අය ආණ්ඩු මට්ටු කරන්න බොරු කියන්නත් වෙනවා. ඒත් ඉතින් මොනා කරන්නද ? ඔවුන්ගේම හොඳටනේ.

"කමක් නෑ ඩොක්ටර්, මට මෙහෙම වුණේ, ගිය ආත්මෙ මාත් දරුවො දාලා යන්න ඇති.... "අවුරුදු 11 විතර දියණියක් එහෙම කියද්දි මගේ හිත කීරි ගැහිලා ගියා." මම දැන් මගේ පව් ගෙවලා ඉවර කරනවා. එතකොට මට එන ආත්මෙ හොඳ තාත්තෙක් ලැබෙනවා". ඇය කොහෙන් හෝ අසා ගත් යමක් විය හැකියි. අධික ලෙස දුක සහ කලකිරීම් මත්තේ ජීවිත තොර කරගන්නන්ට, තාත්තා දමා ගිය මේ දියනියගේ චිත්ත ධෛර්යය මහ මෙරක් තරම් යැයි මට හිතෙනවා. ඇය මට රිබන් ගොතා ගෙනැවිත් තිබුනේ බබෙකුගේ ෆොටෝවක් එක්ක.

"ඩොක්ටර්ගෙ බබත් මේ වගේ වෙන්න" ඇය එහෙම කියූ බව මව කීවාය, ඒ වන විටත් ගැබිණියක වූ මගේ කාමරයේ බබාලාගේ පින්තූර තිබුනේ නැහැ. ඇති තරම් අලුත ඉපදෙන බබාලා බලමින් වාට්ටුවෙත් එක එක වයස්වල බබාලා බලමින් සිටි මට එවැන්නක අවශ්‍යතාවක් දැනුණේ නැත්තේ සිත සහ එහි හැසිරීම වගේ ලෞකික දෑ ගැන අල්පව සිතූ නිසාම වෙන්නත් පුළුවන. මා ඒ පින්තූරය පෙනෙන තැනක අලවා තැබුවේ ඇය සිහිවීම සඳහා යි.

හදිසි සැත්කමකට ශල්‍යාගාරය වෙත ගොස්.... බිලිඳුන් ඉපදුණු පසු ඔවුන් තබන වෝමර් එක ඇති කොටස ඇති ප්‍රකෘතකරන (රිකවරි) කොටසේ සිටින විට මා දුටුවේ එහි ට්‍රොලියක සිටින ආච්චී අම්මා කෙනකු බාගෙට නැඟිටිමින් බහින්නට සූදානම් වන සෙයකි. නිර්වින්දක වෛද්‍යවරයා ඇමතූ ඇය "මට බහින්න උදවු කරන්න පුතේ, මට කඩේට යන්න ඕනෙ. පොඩ්ඩක් ගිහින් එන්නම්" කියද්දී. "ආ දැන් යන්න බෑ.... මට වැඩ, ඔහොම ඉන්න" කියා ඔහු දන්නා හඳුනන අයකුට මෙන් කීවේය.

මේ ආච්චී ඇගේ කකුලේ තුවාලය සුද්ධ පවිත්‍ර කිරීම සඳහා නිතර රෝහල්ගත වන්නියකි. ඇයට මතකය හීන වීමේ ඩිමෙන්ෂියා හෙවත් මොළයේ සෛල වයසට යන විට මියයෑම වැනි දෙයක් සිදුවන රෝගාබාධයකට ලක් වූ අයෙකි. ඇය කියන කිසි දෙයක් කිසිවෙක් ගණන් ගත්තේ නැත්තේ එහෙයිනි. "ඔය දරුවා ගිහින් අම්මට දෙන්න. දරුවෙක් මොකද මෙහෙ ගෙනාවෙ." ඇය අප බිලිඳා පරීක්ෂා කරද් දී කෑ ගසයි.

බාගෙට නැඟිටගෙන ය "හා හා ආච්චී නිදා ගන්න" මිස් කෙනෙක් හඬ නඟයි. ඇයට සිහි කල්පනාව හීන වෙන්න පෙර කඩයක් තිබූ බව සත්‍යයකි. දැන් මතකයේ ඇත්තේ ඒ කඩය ගැනත් එම කඩයේ රෙදි පිළි ගැනත් ය. මට සිහි වුනේ සංසාරය යනු කෙතරම් බිහිසුණු තැනක්ද යන්න ය. මේ හොඳින් තිබෙන මනස ඊළඟ මිනිත්තුවේ ලෙඩ විය හැක. අප ගිය අත් බවයක වුවද කළ වැරදි අප පසු පස පැමිණිය හැක.

ඔය අතර පරණ කතාවක් මතක් වෙයි. තරුණ මවුපිය යුවළක් පැමිණ දිනක් පැවසුවේ, ඔවුන්ගේ දරුවාට නමක් තබන ලෙස ය. මා එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේ එය ආවාට ගියාට කරන වැඩක් නොවන බව කියමිනි. ඇරත් මා නම් ඒ ශාස්ත්‍රය ගැන දන්නේම නැත." මගේ වයිෆ් දැක්කා දරුවා ඩොක්ටර් බේරාගත් හැටි. මගේ දරුවා අද ජීවත් වෙන්නේ ඩොක්ටර් නිසා...." ඔහු කියද් දී ඒ අම්මා වැඳ වැටී නමස්කාර කරන්නට සැරසුනි. මා වහා ඔවුන් වැළකූවෙමි.

කෙසේ හෝ මා ලවා ඔවුන් ගෙන ආ ගැලපෙන අකුරුවලට නමක් ඉල්ලා සිටි හෙයින් ඔවුන් ගේ මුල් නම් අනුව තෝරා දුන්නෙමි. ඒ මව දමිළ ජාතික කාන්තාවක් වූ අතර පියා සිංහල ජාතිකයෙකි. ඒ දරුවා සමඟ නැටූ පැය ගණන මා බොහෝ සෙයින් සසල වූ හෝරා කිහිපයකි. ඒ කතාව ඉතා දිගු එකක් නිසාත්, සිස්ටම් එකත් (යන්ත්‍රණයත්) හරි හැටි වැඩ නොකෙරෙන වේලාවත් සමඟ රණ්ඩු ඇල්ලූ නිසාත් පසුව ලියන්නෙමි. දුක යන්න තේරුම් ගන්න රෝහල් තමා හොඳම තැන.... සංසාරයේ බිය ජනක බව එහි ස්වභාවය තේරුම් ගන්නත් රෝහල් හොඳම තැනක්!

මාතෘකා