අතක් පයක් ජීවිතයක් වගේද වාහනයක්

 ඡායාරූපය:

අතක් පයක් ජීවිතයක් වගේද වාහනයක්

වෙලාව මධ්‍යම රාත්‍රියත් පහුවෙලා. අපි හිටියේ මිහින්තලේ ගිහින් එන ගමන්. හදිසියෙම අපේ සොහොයුරියක් අසනීප වුණා. ගන්න තිබුනේ එකම එක පියවරයි. අපි රෝගියව ළඟම තිබුණු ගලේවල රෝහලට අරන් ගියා.

රෝහලේ දකින්න ලැබුණේ අපි බලාපොරොත්තු නොවුණු දර්ශනයක්. හදිසි ප්‍රතිකාර ඒකකය ඉස්සරහ ට්‍රොලි දෙකක තරුණයො දෙන්නෙක් වැතිරිලා හිටියා. එක් කෙනෙක්ගේ වම් ඇහැට උඩින් තිබුණු තුවාලෙකින් දරුණු විදියට ලේ ගලනව. ඒක කොච්චර සංවේදී දර්ශනයක්ද කියනවනම් අපිත් එක්ක රෝගීයාගේ සහයට ගිය අපේ මිතුරිය ක්ලාන්ත වුණා. අන්තිමට අපිට සිදු වුණේ රෝගීන් දෙන්නෙක්ව රෝහල් ගත කරන්න.

තරුණයො දෙන්නා ගමන් ගත්ත යතුරුපැදිය අපරික්ෂාකාරීව ආපු පා පැදියක ගැටිල. ගලේවල නගරය මැදදි. ඊට පස්සෙ වෙලා තිබ්බේ හැමදාම වෙන දේ. වැටිලා හිටපු තරුණයො දෙදෙනව රොහලකට රැගන යන්න කෙනෙක් ඒ රෑ ගලේවල නගරයේ ඉදලා තිබුණෙ නෑ.(පොසොන් තොරණක් ප්‍රදර්ශනය වුණු නගරය ඒ වෙද්දිත් කාර්යය බහුලයිව තිබුණේ) අවසානයේ තරුණයෝ ටිකක් එකතු වෙලා, අනතුරට පත්වූවන්ව රෝහලට ඇතුළත කරලා තිබුණා. මගේ අවධානයට ලක් වෙච්ච විදියට ඔවුන් සමාජයේ වැදගත අය ලෙස සම්මත පිරිසක් නම් නෙවෙයි. හැබැයි වැදගතුන් අතින් ගිලිහිලා ගිය මනුස්සකමේ ශේෂයක් අර තරුණයන් ළග තාමත් ඉතුරු වෙලා තිබුණා.

හදිස්සියෙම තරුණ කාන්තාවක් හදිසි ප්‍රතිකාර ඒකකය ගාවට අවා. ඇය කෙලින්ම ගියේ නලළ තුවාල වෙලා හිටපු රෝගිය ළගට. මේ ඒ තරුණයගේ අක්කා. එක කුස උපන් අක්කා. මට මොහොතකට කලින්, අපේ සොයුරියක් සිහිසුන් වූ අයුරැ සිහිපත් වුණා. තවත් එවන් දර්ශනයක් දැකීමට මම හිත හදාගත්තා. ඒත් ඇත්තටම මට වැරදිලා. රෝගියාගෙන් ඇය අහපු පළමු ප්‍රශ්නය මාව විශ්මයට පත් කලා. ඇය අහපු දෙවෙනි ප්‍රශ්නය මට ගෙනාවේ කලකිරීමක්.

“තමුසෙලා මේ මහ රෑ කොහෙද බයික් එකත් අරන් ගියේ”

ඇය පළමුව බැන වැදුනා.

“කෝ දැන් බයික් එක? බයික් එකට ගොඩක් ඩැමේජ්ද?”

ඇය ඊළගට ඇහුව.

මෙතෙක් වෙලා තුවාලේ වේදනාව දරාගෙන හිටි අර තරුණයගේ ඇස් දෙකට කඳුළක් එනවා මම හොඳාකාරවම දැක්කා.

ඇත්ත ඒ තරැණයො කර තිබුණෙ වරදක්. ඔවුන් නිවසට නොදන්වා පොසොන් සිරි නරඹන්න පැමිණ තිබුණා. ඒ අර කාන්තාවගේ ස්වාමියාට අයිති යතුරු පැදියෙන්. නමුත් උදාවෙලා තිබුණෙ හරි වැරද්ද සොයාබැලිය යුතු අවස්ථාවක් නොවන බව කුඩා දරුවෙකුට පවා තේරැම් ගත හැකිව තිබුණා. සොයුරියකට තමන්ගේ සොහොයුරාට වඩා තම ස්වාමියාගේ යතුරු පැදිය වටින්නේ කොහොමද කියන එක මට හිතා ගන්න බැරි වුණා. රෝගීන් රෝහල් ගතකළ පිරිසට වචනෙකින් වත් ස්තූති කරන්නට යටකී කාන්තාව නොපෙලඹීම මට පුදුමයක් නොවුණේ ඒ නිසා. ම‍ගේ මුවගට නැඟුනු අවඥා සහගත සිනහවට පාලනයකින් තොරව පිටවෙන්න මම ඉඩ හැරියා. ඒ අඬන්න බැරි කමට.

අවසානයේ මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පස්සේ තරුණයො දෙදෙනාම කුරැණෑගල ශික්ෂණ රෝහල බලා පිටත් කළා. ගිලන් රථයේ මූසල හඩත් එක්ක යටකී තරුණයා ගැන මොකක්දෝ කියා ගන්න බැරි හැඟීමක් විතරක් මගේ ලග ඉතිරි වුණා.

ඔය ගොඩක් පරණ එක සිදුවීමක්. හැබැයි අදටත් ඔය වගේ සිද්ධි කොච්චර වෙනවද? මේ ළඟදි දවසක කොළඹ - නුවර පාරේ දරුණු රිය අනතුරක් වෙලා තිබ්බා. බයික් එකක් ලයිට් කණුවක වැදිලා. මට ආංචිය කිව්වේ පන්ති එන දරුවෙක්.

“සර්, ඊයේ පට්ට එක්සිඩන්ට් එකක් වෙලා..”

ටැබ් එහෙකුත් අතේ තියන් ආපු ඒ දරුවා කිව්වේ එහෙම...

“අපරාදේ සර් බයික් එක. අලුත්ම FZ එකක්. බයික් එක කන්ඩෙම් ලු සර්..”

අර දරැවා එහෙම කිව්වේ හරිම දුකෙන්.

ඇත්ත, ඒ පෙන්නපු ඡායාරූප වල තිබුණේ මැදින් දෙකට කැඩිලා ගිය චප්ප වෙච්ච අලුත්ම බයික් එකක්. ඒත්, ඒ එක්කම මට නම් මතක් වුණේ ඔය බයික් එක පැදන් ගියපු මනුස්සය ගැන. මම ඒ ගැන අහපුවම ලැබුනේ හරිම සරළ සැහැල්ලු උත්තරයක්.

“ආ ඌද? ඌ එතනම මැරිලා සර්...”

ඔව් ඉතිං. අතක් පයක් ජීවිතයක් වගේද වාහනයක්. ජීවිතයක් නම් ඔය සල්ලි වලට හරි ගන්න බැරියැ....

[රන්සර බණ්ඩාර]

මාතෘකා