අලි ගැටලුවට විසඳුම් කොයිබද?

 ඡායාරූපය:

අලි ගැටලුවට විසඳුම් කොයිබද?

අලි කිට්ටු කර ගත්තේ ඉස්සරය. දැන් අසන්නට ලැබෙන්නේ අලි මට්ටු කිරීම්ය. ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිව සිටින බවට සැලකෙන අලි ඇතුන් ගණන හය දහසක් පමණය. ඉනුත් වසරකදී මරුමුවට පත්වන ගණන දෙසිය පනහකට වැඩි මිස අඩු නැත. අලි ඇතුන් මියයන්නේ උන් උන් මරාගෙන නොවේය. මරා දමාය. බහුතරය එහෙමය.

අලියා පොඩිද ලොකුද කියා වෙනසක් නැත. ලොකු කුඩා අලි ඇතුන් කොයි කාටත් මිනිසා උගුල් අටවන්නේය. ඉන් සමහරක් අලියාම ඉලක්ක කොටගෙන අටවන්නේ නැති වන්නට පුළුවන.

එහෙත් අන්තිමේදී ඒ මරු කටවල්වලට ගොදුරු වන්නේ අහිංසක අලින්ය. එයින්ද බහුතරයක් වල්ඌරන් ආදීන් ඉලක්ක කොටගෙන අටවන හක්ක පටස් නිසා සිදුවීම විශේෂයකි.

හක්ක පටස් හැපී වැඩිපුරම විඳවන්නේ අලි පැටවුන්ය. එවිට කිසිම ආහාරයක්වත් දිය පොදක්වත් බීගත නොහැකිව ඒ සත්තු මරළතෝනි නගන්නෝය. දින ගණනාවක් විඳවන ඒ විඳවිල්ල කෙළවර වන්නේ හාමත් මරණයකිනි.

ඒ මිනිසා අලි එලොව යවන එක් පව්කාර උපක්‍රමයක් පමණය. ඒ හැරෙන්නට නිරන්තරයෙන් දළ යුවළට ලොබකමින් මරා දමන අලි ඇතුන් පිළිබඳ අසන්නට ලැබෙනවාය. ඒ අනවසර විදුලි රැහැන්, රිය අනතුරු ආදිය නිසා වාර්තා වන අලි ඇතුන්ගේ මරණ ගණනට අමතරවය.

එහෙත් රටේ හුඟ දෙනකුට මේවා හුදු පුවත් පමණය. ඔවුන් ඉඳහිට අනේ අපොයි කියා සංවේග වනු හැර මේ සම්බන්ධයෙන් කරන මැදිහත් වීමක් නැත. එහෙයින් අලි මිනිස් ගැටුම් පවතින ප්‍රදේශ සම්බන්ධයෙනුත් අවධානය යොමු කිරීම වැදගත්ය.

ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන කෙනෙකි. හෙතෙම පසුගියදා කොළඹදී පැවැති සංවාද සභාවකදීද මේ පිළිබඳ අදහස් දැක්වීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ භූමියෙන් 62% කම අලි ඇතුන් පැතිර සිටීය. එසේම ප්‍රතිශතයක් වශයෙන් අලිත් මිනිස්සුත් දෙපිරිසම එකට ජීවත්වන ප්‍රදේශය රටේ මුළු බිමෙන් 44% තරම්ය. රටේ ජීවත්වන මුළු ජනගහනයෙන් මිලියනයක් පමණ ජීවත් වන්නේ මේ අලි ඇතුන්ගෙන් අනතුරු සිදු වන අවදානම්කාරී ප්‍රදේශවලය.

මෙම ප්‍රදේශවල ජීවත්වන මිනිස්සු වැඩි දෙනෙක් ගොවිතැනින් ජීවත් වන්නෝය.

ශ්‍රී ලංකාවේ කුඹුරු ලක්ෂ හතක් පමණ වෙනවාය. ඉන් 20%ක් පමණ පවතින්නේ අලි මිනිස් ගැටුම් බහුල වියළි කලාපයේය. එම ප්‍රදේශවල පවතින නිවාස සංඛ්‍යාව ලක්ෂ තුනකට ආසන්නය. ඒ ඔස්සේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි ඇතුන් මරණයට පත්වීම පමණක් නොවේ. අලි ඇතුන්ගේ පහරදීම් හේතුවෙන් සිදුවන මිනිස් මරණද බොහොමය. එම මරණ ගණන වසරකට 50 – 70 අතර පවතිනවාය.

මේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් රජය මගින් ගෙන තිබෙන පියවර බොහොමය. විදුලි වැට ඉදිකිරීම ඉන් එකක්ය. ලංකාවේ කිලෝමීටර 4000කටත් වඩා දිගක් විදුලි වැට ඉදිකර ඇත්තේ ඒ සඳහාය. මේ හැරෙන්නට දිගින් දිගටම මිනිසුන් මරා දමන අලි ඇතුන් රැඳවීමේ මධ්‍යස්ථානයක් හොරොව්පොතානේ පිහිටුවා ඇත්තේය. තවද රජය අලි අනතුරු බහුල ප්‍රදේශවල ජනතාවට අලි වෙඩි නොමිලයේ සපයන්නේය. ඒ සඳහා වර්ෂයකට රජය වැය කරන මුදල් රුපියල් මිලියන හැත්තෑ පහ ඉක්මවන්නේය.

මේ අවදානම්කාරී තත්ත්වය අඩු කිරීම මිසෙක වැඩි කිරීමට තුඩු දෙන සංවර්ධන ව්‍යාපෘති දියත් නොකළ යුතු බව විද්වතුන් පෙන්වා දෙන කරුණක්ය.

යෝජිත වයඹ ඇළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද එසේ නැවත සලකා බැලිය යුතු බව ආචාර්ය පෘථිවිරාජ් අවධාරණය කරන්නේය. ඔහු කියා සිටින්නේ කුඹුරු කොටස් පන්සියයකට යල, මහ දෙකන්නයේ ජලය සැපයීම ඉන් අපේක්ෂා කරන බවය. එහෙත් මේ හේතුවෙන් උග්‍ර වන අලි මිනිස් ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ආචාර්යවරයා කියා සිටින්නේය. එවැනි ව්‍යාපෘති තවත් හැත්තෑ හතක් ක්‍රියාවට නැංවීමට යෝජනා වීම රටක් වශයෙන් බරපතල තත්ත්වයක් වශයෙන් හෙතෙම පෙන්වා දෙන්නේය.

ශ්‍රී ලංකාව කලෙක සිටම අලි මිනිස් ගැටලුවට අලි වැටෙන් ඔබ්බට වන විසඳුම් සොයමින් පවතින්නේය. මී මැස්සන්, බෝගන්විලා, කුකුල් කටු ආදී කටු සහිත පඳුරු වැවීම පසුගිය කාලයේ ඒ සම්බන්ධයෙන් කළ අත්හදැබැලීම් ගණනාවක්ය. එහෙත් වනජීවියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය පසුගියදා ප්‍රකාශ කළේ එම පියවර දෙකම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රායෝගික නොවන බවකි.

ලංකාවේ මීමැස්සන් අලි ඇතුන් ගැටලු බහුල රාත්‍රියේදී නින්දට වැටෙන බව ආචාර්යවරයා පෙන්වා දුන්නේය. කටු සහිත ශාක, පඳුරු සම්බන්ධයෙන් හෙතෙම පැවසූයේ කුකුල් කටු ආදිය අලි ඇතුන් මැඩපැවැත්වීම වෙනුවට උන්ගේ ආහාර බවට පත්ව තිබෙන බවය.

එසේම අලි ගම්වැදීම සීමා කිරීමට තල් ගස් වැවීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ආචාර්යවරයා කියා සිටියේ තල් පැළ මෝරා වැඩීමේ සම්භාවිතාව 14% තරම් අඩු මට්ටමක පවතින බවය.

[නුවන් මහේෂ් ජයවික්‍රම]

මාතෘකා