අනුරාධපුර, විලච්චිය ඇලපත්ගම "මාදුළුවාවේ ශ්‍රි සෝභිත නාහිමිගම" ඉදිකෙරෙයි

 ඡායාරූපය:

අනුරාධපුර, විලච්චිය ඇලපත්ගම "මාදුළුවාවේ ශ්‍රි සෝභිත නාහිමිගම" ඉදිකෙරෙයි

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින්නේ ඉතාමත් කිට්ටු සම්බන්ධතාවක්, ඉන්දියාවට ශ්‍රිීලංකාව කෙරෙහි තියෙන්නේ විශාල භක්තියක්. අවුරුදු දහස් ගණනක් ඒ සම්බන්ධය තියෙනවා. ඉන්දියානු රජය විවිධ අවස්ථාවල ශ්‍රී ලංකාවේ වැඩ කටයුතුවලට හිතමිත්‍රයකු වශයෙන් ආධාර කර තිබෙනවා"යැයි කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

කෝටිටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට උපහාරයක් ලෙස අනුරාධපුර, විලච්චිය ඇලපත්ගම ප්‍රදේශයේ ඉදිකෙරෙන "මාදුළුවාවේ ශ්‍රී සෝභිත නාහිමිගම" නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ අවස්ථාවට (27) සහභාගී වෙමින් මාදුළුවාවේ ශ්‍රී සෝභිත විහාරස්ථානයේදී පැවති උත්සව සභාව අමතමින් කතානායකවරයා මේ බව පැවසිය.

ඉන්දියානු රජය මගින් රුපියල් මිලියන තුන්සියක් වැය කරමින් මෙම ගම්මානයේ නිවාස එකසිය පනස්තුනක් (153) ඉදිකෙරේ. එසේම මෙහි අංග සම්පූර්ණ බහුකාර්ය ගොඩනැගිල්ලක්, මාදුළුවාවේ ශ්‍රී සෝභිත විහාරස්ථානයේ ආවාස ගෘහය හා දාන ශාලාව ඉදිකිරීම, පානිය ජල පහසුකම් ලබා දීම, පුස්තකාලය හා පෙරපාසල ඉදිකිරීමේ කටයුතුද සිදුකරනු ලබයි. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය වසරක් තුළ නිම කිරීමට අපේක්ෂිතය. මෙහිදී ජනතාවට ඉඩම් ඔප්පු, ගෙවතු වගා සදහා අඹ පැළ පනහ බැගින් හා ඉගෙනුමට දක්ෂ දරුවන්ට ශිල්ප සවිය වැඩසටහන යටතේ අාධාර මෙන්ම ජනතාවට වියළි අහාර ද්‍රව්‍ය ප්‍රදානය කිරීමද සිදු විය.

එහිදි අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා මෙසේද සඳහන් කළේය,

අද අප සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන් වැදගත් දවසක්. සෝභිත හාමුදුරුවෝ ආදරෙන් රැකබලාගත්ත, ආදරය කරපු, ඒ වගේම අවුරුදු විසිපහක් තිස්සේ තමන්ට ලැබෙන සෑම දෙයක්ම ලබාදෙමින් ආරක්ෂාකළ මේ ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න උන්වහන්සේ සිහින මැව්වා. අද සියලු දෙනාටම අලුත් ජීවිතයක් ගැන අලුත් බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන්. ඉන්දියානු රජය රුපියල් මිලියන 300ක් වැය කරමින් සැප පහසුවෙන් ජිවත්වෙන්න නිවසක් ලබාදීම සඳහා කටයුතු කර තිබෙනවා.

මේ නිවෙස්වල විශාල වෙනසක් තිබෙනවා. එක් නිවසක් ලක්ෂ දාහතරක් පමණ වටිනවා. ඒ වගේම මේ ව්‍යාපෘතිය මගින් ලක්ෂ දෙසීයක් තුන්සීයක් පමණ මේ ගමට එනවා. අද දයා ගමගේ මහතා සදහන් කළා ජනතාවට හොඳ ආදායමක් ලබා ගැනිමට වගා කළ යුතු ආකාරය. ඒ වගේම සමෘද්ධි භාරව සිටින පී. හැරිසන් මහතා සමඟ මා සදහන් කළා විශේෂයෙන් සමෘද්ධිය වගේ දීමනා ලබා දීමේදි සමහර අවස්ථාවලදි ලබා දිය යුතු අයට ලැබී නෑ. ඒ නිසා එතුමා පොරොන්දු වුණා, ඒ පිළිබදව විශාල අවධානයක් යොමු කරලා එසේ නොලැබුණ අය සිටිනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න.

සෝභිත ස්වාමීන් වහන්සේ සමඟ අපි මේ ගමට එද්දි දැක්කා මේ මිනිසුන් ජිවත්වු ණේ බොහොම අමාරුවෙන්. නමුත් මේ අවුරුදු දෙක තුළ අපට විශාල වෙනසක් ඇති කරන්න පුළුවන් වුණා. අද මේ මුහුණු දකිනකොට, හිනා වෙනකොට මේ දරුවො පාසල්වලට යද්දි, මේ දරුවො සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වෙන කොට, ජීවන තත්වය උසස් වෙනකොට අපි විශාල තෘප්තියක් ලබනවා. පසුගියදා සාමාන්‍ය පෙළ විභාගයෙන් ළමයි දෙන්නෙකුට සාමාර්ථ ලබා ගන්න හැකි වුණා. ඒ අයගේ ඉදිරි අධ්‍යාපනික කටයුතුවලට අප උදව් කරනවා. අපි කැමතියි මේ ප්‍රදේශවලින් වෛද්‍යවරු, ඉංජිනේරුවරු බිහිවනවා දකින්න. ඒ සදහා මේ පාසල් දියුණු කරන්න කටයුතු කරනවා. අද ඔබට ඔප්පුවක් ලැබෙනවා. ඒ වගේම අනෙකුත් සියලු පහසුකම් ලැබෙනවා. මේ නිවාස ලබන බොහෝ දෙනෙකුට ගෙවල් දෙකක් ලැබෙනවා. අලුත් නිවස හා දැනට තමන් පදිංචිව සිටින නිවස. එය තමන්ගේ දරුවන්ට ලබා දෙන්නට පුළුවන්. මේවා අමතරව ලැබෙන ආදායම්. ඒ නිසා මේ ජීවත්වන සියලු දෙනා වාසනාවන්ත පුද්ගලයින්. දේශපාලන බේදයක් නොවී අප මේ කරන්නේ ජනතා සේවයක්. මේ ඉඩම්වලින් ප්‍රයෝජනයක් ගන්න වගා කටයුතු සිදුකරන්න. මෙය රටටම ආදර්ශමත් ගම්මානයක් බවට පත් කර ගත යුතුයි. ඒ නිසා සතුටින් ජීවත් වෙන්න, සමගියෙන් ජීවත් වෙන්න. ඔබට ඔබේ දරුවන්ට යහපත් අනාගතයක් හදාගන්න මෙයින් ප්‍රයෝජනය ලබාගන්නා ලෙසද කථානායකවරයා එහිදී වැඩි දුරටත් පැවසුවේය.

මාතෘකා