රියැලිටිත් බලු ගණං මචං

 ඡායාරූපය:

රියැලිටිත් බලු ගණං මචං

රියැලිටි වැඩසටහන් යනු වචනයේ පරිසමාප්ත අරුතින්ම කලින් සකසන ලද පිටපතක් රහිතව, වෘත්තීයමය නළුවන් වෙනුවට සාමාන්‍ය මිනිසුන් පෙනී සිටින, නාට්‍යමය හෝ විනෝදජනක වාර්තා, සත්‍ය සිදුවීම් සහ විශේෂාංග වැනි දේ ඇතුළත් වැඩසටහන්ය.

රූපවාහිනිය ආරම්භයේ සිටම මීට සමාන වැඩසටහන් විකාශය වුවද, “ රියැලිටි ටෙලිවිෂන් ” යන සංකල්පය භාවිත වන්නට පටන් ගන්නේ වසර 2000 පමණ සිටය. වාර්තාමය වැඩසටහන්, ප්‍රවෘත්ති හා ක්‍රීඩා වැඩසටහන් වැනි ප්‍රබන්ධ නොවන වැඩසටහන් සාමාන්‍යයෙන් රියැලිටි වැඩසටහන් ලෙස වර්ගීකරණය නොවීය.

බොහෝ දෙනාගේ විශ්වාසයට අනුව ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් මුලින්ම විකාශය වූයේ බ්‍රිතාන්‍ය ITV නාලිකාවෙන් POP IDOL යන ගායන කුසලතා මණින වැඩසටහනක් ලෙස 2001 වසරේදීය. අනතුරුව එයට සමාන වැඩසටහනක් 2002වසරේදී AMERICAN IDOL යන නමින් ඇමරිකාවේදීද, 2004 වසරේදී අසල්වැසි ඉන්දියාවෙන් INDIAN IDOL යන නමින්ද ආරම්භ විය. එහි බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වන්නේ 2005 වසරේදී ප්‍රථම ලාංකික රියැලිටි වැඩසටහන වූ සිරස SUPER STAR වැඩසටහන ආරම්භ වීමත් සමඟය. එය ලාංකේය ප්‍රේරක්ෂකයන්ට ඉතා ආකර්ෂණීය වැඩසටහනක් වූ අතර එහි උත්කර්ෂය අනෙක් නාලිකා වන්ටද දැඩි බලපෑමක් එල්ල කළේය. එහිදී අනෙක් නාලිකාද රියැලිටි වැඩසටහන් අනුකරණය හෙවත් කොපි කිරීම ආරම්භ විය.

ඒ කොපි කිරීමේ කලාව තවත් ඉදිරියට යමින් මෙරට සෑම රූපවාහිනී නාලිකාවක්ම පාහේ මේ රියැලිටි වැඩසටහන් ආරම්භ කරන්නට විය. ඉන් පසුව රියැලිටි කලාවත් ලංකාව බලුවන්නට පටන් ගත්තා යැයි කීවොත් නිවැරදිය.

ඇතැම් රියැලිට් වැඩසටහන් මෙහෙයවන නිවේදක නිවේදිකාවන් තරඟකරුවන්ට වේදිකාව මත අපහසුවට පත්කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. එසේ අපසුතාවතාවට පත්කිරීම රියැලිට් කලාව යැයි සිතා සිටින මේ නිවේදක නිවේදිකාවන් තරඟකරුවන් අපහසුතාවට පත්කරන්නට ගොස් ඇණගත් අවස්ථාද නැතුවා නොවේ.

අද වන විට රියැලිටි තරග පවත්වන්නේ රූපවාහිනී ආයතන තමන්ගේ අභිමතාර්ථ ඉටුකර ගැනීම වෙනුවෙනි. මේ රියැලිටි තරග සඳහා ඉදිරිපත්වන ගායකයන්ගෙන් එදා දවසට මාකට් කරන්න පුළුවන් සුදුසුම කෙනා තෝරාගෙන ඔහුව අලෙවි කර මාධ්‍ය ආයතන විසින් උපයා ගන්නා ලාභය අති විශාලය. තම අරමුණ ඉටුකරගත් පසු අදාළ ගායකයා හෝ ගායිකාවට පයින් ගසා එළවා දමන මේ මාධ්‍ය ආයතන අලෙවි කරගත හැකි තවත් චරිතයක් සොයාගනී. කිසිදු අවබෝධයක් තොරව ලැබුණු ජනප්‍රියත්වය හා ලැබෙන මුදල් සමඟ ගනුදෙනු කළ නවකයින් නන්නත්තාර වීමෙන් පසු ඔවුන් සූප්පු කර විසිකර දැමූ උක් දඬු තත්ත්වයට පත්ව සිටිනු නිරතුරුවම දක්නට ලැබේ. මේ හතු පිපෙන්නා වාගේ බිහි වූ ස්ටාර්ලා බහුතරයක් දැන් කොහේ දැයි හොයාගන්නවත් නැත. ඉඳ හිට එහෙන් මෙහෙන් කෙඳිරි ගානවා ඇසුනත් ඉන් මත්තට වැඩි සද්දයක් ඇහෙන්නේ ද නැත.

දැන් ෙවනවිට මේ රියැලිටි වැඩසටහන්වල නිවේදනක නිවේදකයින් තෝරන්නේ කොහොමදැයි ගැටලු මතුව තිබේ. සියල්ල දකිමින් සියල්ලට ඉහළින් සිටින බව කියන නාලිකාවක එක් රියැලිටි වැඩසටහනක් මෙහෙයවන නළුවන් යැයි කියාගන්නා දෙදෙනෙකුගේ හැසිරීම නම් ඉතා අප්‍රසන්නය. මේ දෙදෙනාගේ හැසිරීම පිළිබඳ පසුගිය දිනෙක දිනපතා පුවත්පතකින් යම් විවේචනයක් ඉදිරිපත් කර තිබුණි. ඉන් පසුව තමන් විදග්ධයින් යැයි සිතා සිටින මේ නළු බට්ටන් දෙදෙනා අදාළ මාධ්‍යවේදීයාව එම වැඩසටහනේ දී විවේවනය කරනු දක්නට ලැබුණි.

එසේම පසුගිය දිනෙක තවත් නාලිකාවක එක් වැඩසටහනකදී එම වැඩසටහන විකාශය වන නාලිකාව විසින් පැවැත්වූ සිඟිති අවුරුදු කුමරා තරඟයෙන් ජයග්‍රහණය කළ දරුවා මෙලෙස මඬවන්නට ගොස් විධග්ධ නිවේදකයෙක් යැයි සිතා සිටින තවත් අයෙක් ඇණ ගත්තේය.

මේ අපේ රටේ රියැලිටි කලාවයි. සැබැවින්ම කියනවා නම් මා පෙර කීවා සේම අපේ රටේ රියැලිටි කලාව දැන් බලු ගානට වැටිලා යැයි කීවොත් නිවැරදිය.

ලංකාවේ දී නම් හොඳින් වාචාල කතා කියන්නට, අඟපසඟ හොඳින් සොලවන්නට හැකිවීම රියැලිටි වැඩසටහන් මෙහෙයවන්නට හොඳම සුදුසුකමයි. සැමට අමතක වන කාරණය නම් වැඩසටහනක සුවිසල් කාර්යයක් සිදුවන්නේ වැඩසටහන මෙහෙයවන්නාගෙනි. ඔහු හෝ ඇයගේ හැකියාව සහ ප්‍රතිභාව වැඩසටහනේ ප්‍රමිතිය තීරණය කරන වැදගත්ම සාධකය බව මේ සැවොම අවබෝධ කර ගත යුතුය.

කොටට කොටේ, හිරට හිරේ, රතට රතේ ගවුම් කොටේකුත් ඇදගත්ත නිවේදිකාවක් තමන්ගේ වැඩසටහන ඉදිරිපත් කිරීමට මුවාවී තමාගේ කාමුකත්වය අමු අමුවේ මිනිසුන් ඉදිරියේ විකුණනවා නොවේද?

වෘත්තීය මට්ටමේ නිවේදකයන් නම් සිය වෘත්තියේ වගකීම් හරිහැටි හඳුනාගෙන සිය වෘත්තියේ නිරත වෙති. ටෙලි නාට්‍ය හෝ සිනමාව තුළ සිටින ජනප්‍රිය ලේබලය අලවාගත්තවුන් නිවේදකයන් වෙසින් සිටිමින් සිදුකරන අකටයුතුකම්වලට සමස්ත නිවේදක ප්‍රජාවම වගකිව යුත්තේ ද නැත.

[දිලංක ගුණතිලක]

මාතෘකා